සර්ප බිය නසන උතුම් කඳ පිරිත | සිළුමිණ

සර්ප බිය නසන උතුම් කඳ පිරිත

සර්පයන් අල්ලා මුදාහරින අයටද පිරිත  භාවිතය වැදගත්

පිරිසුදු පැන්වලට 108 වාරයක් පිරිත් කර නිවස ඇතු‍ළේ සහ පිටත ඉසින්න

නිතර භාවිත කිරීමෙන් විෂකුරු සර්පයන්ගෙන් හානි සිදු නොවේ

 

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් පින්වතියන් වෙත අප විසින් ඉදිරිපත් කරන අනන්ත ගුණසම්පන්න පුද සිරිත් සහ වතාවත් ඉටුකර ගැනීමෙන් ලැබෙන අපමණ රැකවරණය සහ ශාන්තිය පිළිබඳව මේ වන විට පාඨක පින්වතුන්ගෙන් ලැබෙන අදහස් පිළිබඳව අප නිහතමානීව සතුටු වන බව සිහිපත් කරනු කැමැත්තෙමි.

පින්වත් ඔබ වෙත අද අප විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ආනුභාව සම්පන්න "ඛන්ද සූත්‍රය හෙවත් කඳ පිරිත" එදිනෙදා ජීවිතය තුළ ඔබට අපමණ ගුණදායක පිරිතකි. ජීවත්වීම සඳහා අපමණ දුක් ගැහැට විඳින අපේ රටේ අසරණ මිනිසුන් ගොවිතැනින් සහ වෙනත් කර්මාන්තයන්ගෙන් අතමිට සරුකර ගැනීමට නොවිඳිනා දුකක් නැති තරම්ය. එලෙස දුක් විඳින මිනිසුන් බාහිර පරිසර⁣යෙන් සිදුවන ගැහැට කරදරයන්ට ද මුහුණ දීමට සිදුව තිබේ. විශේෂයෙන් විෂඝෝර සර්පයන් සහ වෙනත් විෂ සහිත සතුන්ගේ දෂ්ට කිරීම නිසා බොහෝ දෙනා සදාකාලික රෝගීන් බවට පත් වීම හෝ මරණයට පත් වීම සිදුවේ. දිනපතා එවැනි වාර්තා දකින්න සහ අසන්නට ලැබේ. එලෙසම විශාල වශයෙන් සර්පයන් සහ වෙනත් සතුන් මරා දමන සහ පුලුස්සා දැමීම ද පුරුද්දක් ලෙස පවතී.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමයේ එක්තරා අප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් සර්පයෙකු දෂ්ට කිරීම නිසා අපවත් වූහ. උන්වහන්සේගේ අවසන් කටයුතු නිම කළ භිකෂූන් වහන්සේ මෙම අවාසනාවන්ත සිදුවීම බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කළේ එම භික්ෂුව සර්ව රාජ කුල සතරට කිසිදා මෛත්‍රිය නොකළ බැවින් මෙම අනතුර සිදූ වූ බවය.

පින්වත් මහණෙනි, මෙම සූත්‍රය පුරුදු පුහුණු කර සර්ප රාජ කුලයන්ට මෙත් වැඩීම සිදු කළ යුතු බවත් ඉන් පසු කිසි කලෙක සර්පයන් දෂ්ට කිරීමකින් කිසිදු අනතුරක් හෝ විපතක් සිදු නොවන බවය. ගොවිපොළේ, කුඹුරේ, ගමන් ගන්නා මාර්ගයේ, නිවසේ හෝ කුමන ස්ථානයකදීවත් සර්පයන් සහ විෂ සහිත සතුන්ගෙන් විපතක් නොවී ආරක්ෂා වීමටත්, සර්පයින්ගේ පැමිණිම නතර කර ගැනීමටත් මෙම උතුම් ‘කඳ පිරිත‘ මෛත්‍රී සහගත සිතින් උදේ සවස භාවිත කරන්න.

සර්පයන් අල්ලා කැලෑවන්ට මුදා හරින පින්වත් උදවිය ද මෙම කඳ පිරිත භාවිතයෙන් රැකවරණය ලබාගත යුතු අතර සර්පයන් දෂ්ට කිරීමෙන් ද රෝගී වූ අයට ප්‍රතිකාර කරන පින්වත් දේශීය වෛද්‍යවරු හට රෝගියාට කඳ පිරිත සිහිකර සත්‍යක්‍රියා කර සෙත් කිරීම අපමණ ගුණදායකය. පිරිසිදු පැන්වලට 108 වාරයක් පිරිත් කර නිවසේ ඇතුළත පිටත සහ භූමියේ ඉසීමෙන් සර්ප බය දුරු වේ. මෛත්‍රී සිතින් සිදු කර අපමණ ගුණ ලබාගන්න.

 

ආනුභාව සම්පන්න

"ඛන්ද සූත්‍රය හෙවත් කඳ පිරිත"

විරූපක්⁣ඛෙහි මෙ මෙත්තං,මෙත්තං එරාපථෙහි මෙ, ඡබ්‍යාපුත්තෙහි මෙ මෙත්තං , මෙත්තං කණ්හාගොතමකෙහි ච

"විරූ පාක්ෂ නාග කුලයට

මාගේ මෙත් සිත වේවා!

එරාපථ නාග කුලයට

මාගේ මෙත් සිත වේවා!

ඡබ්‍යාපුත්ත නාග කුලයට

මාගේ මෙත් සිත වේවා!

කණ්හාගෝතමක නාග කුලයට

මාගේ මෙත් සිත වේවා!"

අපාදකෙහි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ, චතුප්පදෙහි මෙ මෙත්තං, මෙත්තං බහුප්පදෙහි මෙ.

"පාද රහිත සතුන්ට ද

මාගේ මෛත්‍රිය වේවා!

දෙපා ඇති සතුන්ට ද

මාගේ මෛත්‍රිය වේව!

සිව්පා සතුන්ට ද මාගේ මෛත්‍රිය වේවා!

බොහෝ පා ඇති සතුන්ට ද මාගේ මෛත්‍රිය වේවා!"

මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො, මා මං චතුප්පදො හිංසි, මා මං හිංසි බහුප්පදො

"පාද රහිත සතෙක් මට හිංසා නොකෙරේවා!

දෙපා සතෙක් මට හිංසා නොකෙරේවා!

සිවුපා සත්තු ද මට ⁣හිංසා නොකෙරෙත්වා!

බොහෝ පා ඇති සත්තු ද මට හිංසා නොකෙරෙත්වා!"

සබ්බෙ සත්තා සබ්බෙ පාණා, සබ්බෙ භූතා ච කෙවලා, සබ්බෙ භද්‍රානි පස්සත්තු, මාකඤ්චි පාපමාගමා.

"සියලු සත්ත්වයෝ ද සියලු ප්‍රාණීන් ද සියලු භූතයෝ ද යහපතම දකිත්වා!

කිසිවෙකුට විපතක් නපුරක් නොපැමිණෙත්වා!"

අප්පමාණො බුද්ධො, අප්පමාණො ධ⁣ම්මො, අප්පමාණො සංඝො;

පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා සතපදී උණ්ණානාභි සරබූ මූසිකා.

කතාමෙ රක්ඛා කතා මෙ පරිත්තා, පටික්කමන්තු භූතානි, සො, හං නමො භගවතො නමො සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.

"බුදු ගුණ අපමණය. දහම් ගුණ අපමණය. සඝ ගුණ අපමණය. එහෙත් සර්පයෝ ද මීයෝ ද ආදී වශයෙන් මේ සත්ත්වයෝ (කෙලෙස් සහිත හෙයින්) ප්‍රමාණයන්ගෙන් යුතු වන්නාහු ය. මා විසින් ආරක්ෂාව කරන ලද්දේ ය. මා විසින් පිරිත් කරන ලද්දේ ය.

සියලු සත්ත්වයො මගෙන් බැහැරට වෙත්වා! ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුරජාණන් වහන්සේලාට ද නමස්කාර කරමි."

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

Comments