ලොතරැයි දිනුම් හිමි වන ග්‍රහ පිහිටීම් මෙන්න! | Page 2 | සිළුමිණ

ලොතරැයි දිනුම් හිමි වන ග්‍රහ පිහිටීම් මෙන්න!

 

 

ලොතරැයි පතකට සුළු මුදලක් වැය කර ලොකු මුදලක් අතට ලැබෙන්නේ නම් මොන තරම් වාසනාවක්දැයි කියා නිම කළ නොහැක.

කෝටිපති දිනුමක් තමන්ට තිබේදැයි දැනගත හැකි එකම මාර්ගය නම් ඔබේ උපන් වේලාවට සෑදු දල කේන්දරයයි. ඈත අතීතයේ පටන් දල කේන්දරයෙන් දක්ෂ ලෙස අනාවැකි පැවසුවත් තම තමන්ගේ දැනුම් මට්ටම අනුව නිවැරදිව පලාපල පැවසීමට අද අපොහොසත් වී තිබේ. ඒ නිසා ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට ජන්ම පත්‍රය සාදා ඉතා නිවැරදිව පලාපල කීමේ ක්‍රමයක් ද වර්තමානයේ ජනප්‍රිය වී ඇත.

අප බොහෝ දෙනෙකුට ඇත්තේ සාමාන්‍ය දල කේන්දරය පමණි. දල කේන්දර බලා ඉලක්කයට අනාවැකි කියන අය සිටියි. දළ කේන්දරයෙන් තමන්ට ලොතරැයි දිනුමක් හිමි ද යන්න බැලීම මෙම ලිපියේ අරමුණයි. දැනට තිබෙන දල කේන්දරය සියයට සීයයක්ම නිවැරදි නොවේ. ඒ නිසා පළමුව දල කේන්දරයෙන් පලාපල බලන විට අදාළ උපන් වර්ෂයේ පංචාංග ලිතක් සොයාගෙන නිවැරදි හඳහනක් සම්පුර්ණයෙන්ම සාදා ගත යුතුය. නිවැරදිව සාදන දල කේන්දරයෙන් කියවෙන පලාපල විස්තරය ඉතා නිවැරදිය.

දල කේන්දරයෙන් තමන්ට ලොතරැයි වාසනාවක් තිබේදැයි බැලීමේදී 2 වැන්න, 5 වැන්න, 8 වැන්න, 9 වැන්න හා 11 වැන්න අධිපති ග්‍රහයින්ගේ බල දුබලතා බැලිය යුතුය. ලොතරැයි දිනුමක් ලැබීමට නම් පෙර ආත්මයේ තමන් කළ කුසල් 5 වැනි භාවයෙන් බලාගත හැක. 9 වැන්නෙන් මෙම ආත්මයේ ලොතරැයි ජයග්‍රහණය සඳහා වාසනාව තිබේදැයි දැන ගැනීමට පුළුවන. 11 වැන්නේ මිල මුදල් ලැබීම, 8 වැන්නේ ගුප්ත සහ හදිසි ධන ලාභ, 2 වැන්නෙන් ධනය ඉතිරි කිරීමට බලය යන අංශ පැහැදිලි නිරීක්ෂණයක් කළ යුතුය. ලග්න 12ට මෙම භාව 5 අධිපතියන් පෙන්වන වගුවක් පහත දැක්වේ. මෙම වගුවේ සිටින ග්‍රහයන් ලොතරැයි පත් ජයග්‍රහණය සඳහා බලපෑමක් කරයි.

ලොතරැයි පතක් මිලට ගෙන පළමු දිනුම හිමි වන්නේ නම් එම පුද්ගලයා ඉතා වාසනාවන්ත අයෙකි. එම වාසනාව දල කේන්දරයේ පෙන්නුම් කරන්නේ 5 හෝ 9 වැනි භාවවලිනි. 5 වැන්න පූර්ව පුණ්‍ය ස්ථානය ලෙස සැලකේ. 9 වැන්න භාග්‍ය ස්ථානය වේ. තමන්ට මේ ආත්මයේදී එම වාසනාව තිබේදැයි දැනගත හැක්කේ 9 වැනි භාවයෙනි. දල කේන්දරයේ 9 හා 5 වැන්නේ සුබ ග්‍රහයන් සිටීනම් එම වාසනාව හිමිකර දෙයි.

රූප සටහනෙන් පෙන්වන්නේ මේෂ ලග්නයෙන් උපන් අයකුගේ මේ හඳහනේ 5 වැන්නාධිපති රවි උච්ච වී සිටියි. 9 වැන්න ධනු රාශීය වේ. එහි අධිපති ගුරු වේ. රවිගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ගුරුට ලැබේ. පෙර ආත්මයේ කුසල් පල දී තිබේ. ඒ නිසා මෙම ලග්න හිමියාට බලවත් වාසනාවක් හෝ ධන ලාභයක් හිමි වෙයි.

ලොතරැයි වාසනාව යනු ලැබෙන මුදල වත්මනෙහි කෝටියකට වඩා වැඩි විය යුතුය. එසේ මුදලක් ලැබීමට නම් ධනස්ථානය සහ අයස්ථානය බලවත් විය යුතුය. දල කේන්දරයේ 2 වැන්න ධනස්ථානය වේ. 11 වැන්න අය ස්ථානය වේ. 2 වැන්න සහ 11 වැන්න බලවත්නම් ලොතරැයි දිනුමකට මඟ පෑදේ. 11 වැන්න අධිපතියා 2 වැන්නෙත්, 2 වැන්න අධිපතියා 11 වැන්නෙත් සිටී නම් අනිවාර්යයෙන් ම කෝටියකට වඩා වැඩි මුදලක ලොතරැයි දිනුමකින් හිමි වේ. තවද 2 වැන්න අධිපති ග්‍රහයා 5වැන්නේද, 5 වැන්න අධිපති ග්‍රහයා 2 වැන්නේ ද 5 වැන්න අධිපති ග්‍රහයා 11 වැන්නේ ද සිටී නම් නොසිතූ ධනයක් ලැබීමේ වාසනාව ගෙන දෙයි. ලොතරැයි වාසනාවට උදව් දෙන සඳු හා සිකුරු යෝගය 4 වැන්නේ බලවත් නම් වාසනා චක්‍රය තමන්ට හිමි වේ. සිකුරු වාසනාව ලබා දෙයි. සඳු වාසනා ගුණය වේගවත් කරයි. සඳු හා සිකුරු 4 වැන්නට දිග්බල නිසා වාසනාව තව තවත් වැඩි කරයි.

ලොතරැයි දිනුමකට නම් මෙම වාසනාව අනිවාර්යයෙන් ම තිබිය යුතුය. 4 වැන්නේ දේපොළ, වතුපිටි හා වාහන ආදියට නියෝජනය වේ. 4 වැන්න සම්බන්ධ වුවහොත් ලොතරැයි දිනුමකින් පසු යානවාහන හා දේපොළ ගැනීමට ලැබෙන මුදලින් වැය කරයි.

මෙවැනි දිනුමක් සඳහා ග්‍රහයින්ගේ සංයෝගය ද බලවත් විය යුතුය. කේන්දරයේ 5 වැන්න හා 9 වැන්න අධිපති දෙදෙනා සංයෝග වී 11 වැන්නේ හෝ 2 වැන්නේ සිටී නම් ප්‍රබල ධන කාරක යෝගයක් වේ. 5 වැන්නට හෝ 9 වැන්නට ගුරු හා සිකුරු යන ග්‍රහයින්ගේ දෘෂ්ටිය වැටීම ද වාසනාව ලබා දෙයි. 5 වැන්න හා 9 වැන්න අධිපතියා 1 - 4 - 7 - 10 යන කේන්ද්‍රස්ථානයක තැන්පත් වී සිටී නම් ලොතරැයි දිනුමකට හිමිකම ලබා දෙයි.

මෙවැනි වාසනාවක් ලබා ගැනීමට නම් ගුප්ත බලපෑමක් ද අවශ්‍ය වේ. 8 වැන්න ද ගුප්ත රාශීයක් ලෙස සැලැකේ. එහි තිබෙන ග්‍රහ බලය ගැන විමසා බැලිය යුතුය. 8 වැන්නාධිපති ධන ස්ථානයට හෝ අය ස්ථානයට හෝ සම්බන්ධ නම් නොසිතූ ගුප්ත ධනයක් ලැබීමට ඉඩ ඇත. එය සමහර විට ලොතරැයි දිනුමක් විය හැක. මෙම ග්‍රහ පිහිටීම නැති වුණත් ලොතරැයි පත් අරන් බලන්න. ගුප්ත බලවේගයකින් එම වාසනාව සමහර විට උදා වේ. හදිසි ධන ලාභ සඳහා රාහු ග්‍රහයා ද උදව් කරයි. 2 වැන්න, 5 වැන්න, 8 වැන්න, 9 වැන්න හා 11 වැන්න යන අධිපති ග්‍රහයා රාහු සමඟ සංයෝග නම් ලොකු ධනයක් ලැබීම ඉක්මන් කරයි. රාහු 11 වැන්නේ සිටී නම් නොසිතූ මොහොතක හදිසි ධනයක් හිමි වේ. මෙම ලිපියෙන් පෙන්වා ඇත්තේ ධන යෝග සුළු ප්‍රමාණයකි. ඒ ඒ ලග්නවලට හිමි ධන යෝග වෙන ම ඇත.

ඔබේ හඳහනේ මෙවැනි යෝග නැහැ කියා පසුතැවිලි නොවන්න. ඉඳහිට ලොතරැයි පත් ගෙන වාසනාව උරගාන්න. ජය හා දිනුම අහඹු සිදු වීමක් නිසා ඔබට එම වාසනාව භුක්ති විඳීමට අවස්ථාවක් උදා වේ.

තමන් උපන් ලග්නය අනුව විශාල ධනයක් ලැබීමේ ධන යෝග වෙනම ඇත. ලග්න අනුව එවැනි ධන යෝග පහත දැක්වේ. මේෂ ලග්නයෙන් උපන් අයගේ රවි 5 වැන්නේ සිටීම, වෘෂභ ලග්නයෙන් 11 වැන්නේ බුධ හා සිකුරු සිටීම, මිථුන ලග්නයෙන් උපන් අයගේ ලග්නාධිපති හා 11 වැන්න අධිපති සංයෝගවී 9 වැන්නේ සිටීම, කටක ලග්නයෙන් උපන් අයගේ 11 වැන්නේ කුජ හා ගුරු සිටීම, සිංහ ලග්නයෙන් උපන් අයගේ 5 වැන්නේ ගුරු හා 11 වැන්නේ බුධ සිටීම, කන්‍යා ලග්නයෙන් උපන් අයගේ 8 වැන්නේ සෙනසුරු හා 11 වැන්නේ කුජ හා බුධ සිටීම, තුලා ලග්නයෙන් උපන් අයගේ 8 වැන්නේ සිකුරු හා 11 වැන්නේ කුජ හා ශනි සිටීම, වෘශ්චික ලග්නයෙන් උපන් අයගේ 5 වැන්නේ ගුරු හා 11 වැන්නේ බුධ සිටීම, ධනු ලග්නයෙන් උපන් අයගේ 11 වැන්නේ රවි, සඳු හා සිකුරු සිටීම, මකර ලග්නයෙන් උපන් අයගේ 5 වැන්නේ සිකුරු හා 11 වැන්නේ රවි හා කුජ සිටීම, කුම්භ ලග්නයෙන් උපන් අයගේ 11 වැන්නේ ගුරු හා බුධ සිටීම, මීන ලග්නයෙන් උපන් අයගේ 11 වැන්නේ සඳු, කුජ හා සිකුරු සිටීම

මෙවැනි ග්‍රහ පිහිටීම් තිබේ නම් ඒ ඒ ලග්න හිමියන්ට විශාල ධනයක් ලැබේ. නමුත් චර රාශී වන මේෂ, කටක, තුලා, මකර යන රාශිවල 11 වැන්න බාධක රාශිය වන අතර තිර රාශි වන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි 9 වැන්න බාධක රාශීය වේ. නමුත් 5 වැන්නේ කියවෙන පෙර පින මෙම බාධා ඉවත් කර වාසනාවට ඉඩ දෙනු ඇත.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ග.මු. සුබසිංහ

Comments