
නිදන කාමරය දකුණට සුබයි
මුළුතැන්ගෙය බස්නාහිරට
කෑම කාමරය බස්නාහිරට
ආගමික වතාවත්වලට වඩාත් සුදුසු ඊශානයයි
උතුරු දිශාවට ගබඩා කාමරය
විවාහය ප්‍රමාද දූ දරුවන්ගේ නිදන කාමරය සඳහා වයඹ සුදුසුයි
නිවසක් සැලසුම් කිරීමේදී කාමර දිශාගත කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. එය නිසි ලෙස සිදු නොවීමෙන් නිවැසියන්ට විවිධ කරදර, බාධා, උවදුරුවලට මුහුණ පෑමට සිදු විය හැකිය. එබැවින් බොහෝ දෝෂ මඟහරවා ගැනීම සඳහා වාස්තු විද්‍යානුකූලව කාමර දිශාගත කිරීම ඉතා වැදගත්ය.
ඊශාන්‍යං දේවතාගේහං
පූර්වස්‍යං ස්නාන මන්දිරම්
ආග්නෙය්‍යාං පාක්‍යදනං
භාණ්ඩාගාර මුත්තරෙ
යන්නෙන් ඊසාන දිශාවේ දේවතා ගෙයද, ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙයද, උතුරු දිශාවේ බඩු තබන ගෙයද සෑදිය යුතු යැයි විශ්වකර්ම පඬිවරයා සිය ගෙබිම් ශාස්ත්‍රය නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
ඵෙන්ද්‍ර්‍යාං ස්නාන ගෘහං කාර්යමාග්නෙය්‍යාං පංචනාලයක්
යාම්‍යායං ශයනං වෙශ්ම නෛර්යාත්‍යාං ශාස්ත්‍ර මන්දිරම්
වාරුණ්‍යාං භෝජන ගෘහං වායව්‍යාං ධ්‍යාන මන්දිරම්
උදිච්‍යාං නාටකං සද්ම ඵෙශාන්‍යාං දේව මන්දිරම්
යන ශ්ලෝකයෙන් පූර්වාචාරීන් විසින් පෙන්වා දී ඇත්තේ නැගෙනහිර ස්නාන ගෙයද, ගිනිකොන මුළුතැන්ගෙයද, දකුණේ නිදන ගෙයද, නිරිත ආයුධ ගබඩාවද, බටහිර භෝජන ගෙයද, වයඹ ධාන්‍ය ගබඩාවද, උතුරු දිශාවේ රන්, රිදී ආදී වස්තු තබන ගෙයද, ඊසානේ දේව මන්දිරයද ඉදි කළ යුතු බවයි.
බස්නාහිර දිශාවට කෑම කාමරය වඩාත් සුදුසු වේ. එයට හේතුව ඉඳුල් ආදී අපවිත්‍ර දෑ බැස යන හිරු එළියෙන් මර්දනය වීමයි. ඉඳුල් ආදී අපවිත්‍ර දෑ බැහැර කිරීමටද මෙම දිශාව සුදුසුය. වායෝ ධාතුවට අයත් සෞම්‍ය ගුණ සහිත අවකාශයක පිහිටි දකුණු දිශාව නිදන කාමර සඳහා ඉතා සුබදායකය. විවාහක යුවළක් දකුණු දිශාවේ කාමරයක නිදා ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීම් ඉක්මන් වේ.
උතුරු දිශාව නිවසක ප්‍රධාන ද්වාරය තැබීමට සුදුසු නොවන අතර එය ළිඳ කැපීමට ගන්නා ප්‍රධාන දිශාව වේ. ජලය ඇති සිසිල රැඳි සෞම්‍ය ගුණයෙන් පිරි මෙම දිශාවද නිදන කාමර සඳහාත්, ගබඩා කාමර සඳහාත් සුදුසුය. නිවසේ නිරිත දිශාව යෝග්‍ය වන්නේ ආයුධ, උපකරණ, ආම්පන්න ආදිය තැන්පත් කිරීම සඳහාය. නිවසේ ඊසාන දිශාව ඉතා පිරිසුදුවත්, පූජනීය ලෙසත් තබා ගත යුතුය. විශ්වයේ දේව තල හා බ්‍රහ්ම තලවලට අබිමුඛව පිහිටා ඇති මෙම දිශාවෙන් විශ්ව ශක්තිය ඉතා ප්‍රබලව ලැබෙන අතර, සියලු වාස්තු දෝෂද දුරලනු ලබයි. මෙම ශුද්ධ ශක්තීන්ට හානි නොවන ලෙස මේ දිශාව භාවිත කළ යුතුය. ඒ අනුව ඊසාන දිශාව වඩාත් සුදුසු වන්නේ ආගමික වතාවත් කරන ස්ථානය ලෙස භාවිත කිරීමටයි. ඉගෙන ගන්නා දරුවන්ටද ඊසාන දිසාවේ කාමරය සුදුසුය.
වයඹ දිශාව අයත් වන්නේ වායෝ ධාතුවටයි. වායෝ යන්නෙහි වාතය, වායුව මෙන්ම චලනය, ඉවත් වීම, සෙලවීම යන අර්ථද ඇත. ඒ අර්ථයෙන් ගත් කළද වයඹ දිසාවේ කාමර වඩාත් උචිත වන්නේ අමුත්තන් හට දීමටයි. ඔවුන් දීර්ඝ කාලීනව රැඳී නොසිට ඉක්මනින් නික්ම යන බැවිනි. එමෙන්ම වයඹ දිශාවේ ඇති කාමරය විවාහ ප්‍රමාද වූ දූ දරුවන්ට නිදන කාමරය ලෙස යොදා ගැනීමටද සුදුසුය. ඉන් විවාහය ඉක්මන් වන බව පිළිගැනේ. එමෙන්ම විකිණීමට ඇති භාණ්ඩ වයඹ දිශාවේ කාමරවල තැබීමෙන් එම භාණ්ඩ ඉක්මනින් අලෙවි කර ගැනීමටද හැකියාව ලැබෙයි.
සැප සම්පත් ලැබීමට හේතු වන දිශාව වන ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවිය යුතුය. මෙහිදී පිසගන්නා ආහාර පවා රසවත් බවින් යුක්ත වේ. ඔබේ නිවසේ කාමර මේ ආකාරයට නිවැරදිව දිශාගත කර ඇත්නම් එය නිවසට වාසනාව ගෙන ඒමට හේතු වේ.
ජ්‍යොතිර්වේදී
වාස්තු විද්‍යා උපදේශක
විදුහල්පති
කපිල ඉන්ද්‍රික ගුණදාස