ග්‍රහයන්ගෙන් හෙළි වන පුද්ගල චරිත ලක්ෂණ | සිළුමිණ

ග්‍රහයන්ගෙන් හෙළි වන පුද්ගල චරිත ලක්ෂණ

ග්‍රහයන්ගෙන් හෙළි වන චරිත ලක්ෂණ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමු. විශේෂයෙන් ග්‍රහයන්ට අදාළ චරිත ලක්ෂණ වඩාත් හොඳින් ඉස්මතු වන්නේ කිසියම් උප්පත්ති කේන්දර සටහනක එම ග්‍රහයන් ලග්න භාවය තුළ තැන්පත්ව ඇත්තේනම්ය. නමුත් උප්පත්ති කේන්දර සටහනක ග්‍රහයන් ලග්න භාවය තුළ තැන්පත්ව නොමැති අවස්ථාවලදී ද එම ග්‍රහයන් තැන්පත්ව ඇති රාශිය ප්‍රමුඛ වෙමින් යම් යම් විශේෂිත චරිත ලක්ෂණ ඇති කරන බව පෙනේ.

චන්ද්‍ර ග්‍රහයා කිසියම් උප්පත්ති කේන්දර සටහනක ලග්න භාවය තුළ තැන්පත්ව ඇති විට චංචල සිතුවිලි සහිත චරිත ලක්ෂණ ඇති වනු ඇත. නමුත් චන්ද්‍ර ග්‍රහයා වෙනත් ග්‍රහයන් සමඟ සංයෝගව ලග්න භාවය තුළ ඇත්නම් එවැනි චරිත ලක්ෂණ ඇති නොවන්නට ද ඉඩ ඇත. මීට අමතර ලෙස චන්ද්‍ර ග්‍රහයා 7 වන භාවය තුළ තැන්පත්ව ඇති අයට චංචල සිතුවිලි සහිත චරිත ලක්ෂණ ඇති වනු ඇත. තවද ඔවුන් අන් අයට පහසුවෙන් හසු වේ. එයට හේතුව චන්ද්‍රයාගේ සප්තම දෘෂ්ටිය ලග්නයට එල්ල වීමය.

චන්ද්‍ර ග්‍රහයා ශනි ග්‍රහයා සමඟ එක්ව ඇති විට බොහෝ විට ප්‍රතිපත්ති ගරුක චරිත ලක්ෂණ ඇති අය බිහි වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ කුඩා කාලය තුළ බොහෝ විට තදබල අපල ඇති වන්නට ඉඩ ඇති අතර මවට ද යම් යම් අසනීප ඇති වන්නට ඉඩ ඇත. නමුත් අවසානයේදී මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අයට දීර්ඝායුෂ හිමි වන බව පෙනුණද මෙය ඇතැම් අවස්ථාවලදී සත්‍ය නොවන බව පෙනේ.

කුජ ග්‍රහයා කිසියම් උප්පත්ති කේන්දර සටහනක මේෂ, වෘශ්චික, මකර යන රාශියක තැන්පත්ව ඇති නම් එවැනි අයට ඉතා අධිෂ්ඨානශීලී චරිත ලක්ෂණ ඇති වන අතර එවැනි අය බොහෝ විට නිර්භය අය වනු ඇත. කුජ ග්‍රහයා 1, 4, 7, 10 වැනි කේන්ද්‍රස්ථානයක තැන්පත්ව ඇති නම් එවැනි අයට හොඳ පිරිස් බලයක් ලැබෙනු ඇත. විශේෂයෙන් කුජ වැනි ග්‍රහයෙකු 4 වන භාවය තුළ ප්‍රබලව තැන්පත්ව ඇති විට එවැනි අයට තද හිතක් ඇති වනු ඇත. කුජ ග්‍රහයා 10 වන භාවය තුළ ප්‍රබලව තැන්පත්ව ඇති විට එවැනි අයට නායකත්ව කුසලතා ඇති වේ.

කුජ ග්‍රහයා 2 වන භාවය තුළ ඇති විට එවැනි අය වචන පිට කිරීමේදී අන් අයට වඩා පරීක්ෂාකාරී විය යුතුය. තවද එවැනි අය නිර්භීත චරිත ලක්ෂණ ඇති අය වේ. කුජ ග්‍රහයා 7 වන භාවය තුළ ඇති අයට හවුලේ කරන කටයුතු නොගැළපෙයි. එනම් ඔවුන්ට හවුලේ කරන කටයුතුවලින් පාඩු සිදු වෙයි. කිසියම් උප්පත්ති කේන්දර සටහනක කුමන හෝ භාවයක ගුරු, චන්ද්‍ර සංයෝගයක් ඇති නම් හෝ ගුරුගෙන් 4, 7, 10 යන ස්ථානයක චන්ද්‍ර ග්‍රහයා තැන්පත්ව ඇති නම් එවැනි පිහිටීම් ඇති අය ඉතා ධෛර්යවන්ත චරිත වනු ඇත. එනම් එවැනි පිහිටීම් ඇති අය පරාජය විශ්වාස නොකරන අතර ජය ලැබෙන තුරුම සටන් කරයි. එමෙන්ම කිසියම් උප්පත්ති කේන්දර සටහනක ගුරු, කුජ යන ග්‍රහයන් එකම රාශියක් තුළ තැන්පත්ව ඇති නම් එවැනි අය තර්ක කිරීමට දක්ෂ වේ. එසේම එවැනි අය සමඟ වාද කර ජය ගැනීමද ඉතාම අපහසුය.

යම් අයෙකුගේ උප්පත්ති කේන්දර සටහනක රවි ග්‍රහයා ලග්න භාවය තුළ තැන්පත්ව ඇති නම් එවැනි අයට හොඳින් තීරණ ගැනීමේ හැකියාවන් ඇති වන අතර නායකත්ව ගුණාංග ද පිහිටා ඇත. කෙසේ වෙතත් එවැනි පිහිටීම් ඇති පුරුෂ පක්ෂයේ අයට තට්ටය පෑදීමේ අවදානමක් ඇති වන බව අප අත්දැක ඇත. ඒ අතර එවැනි පිහිටීම් ඇති ස්ත්‍රී පක්ෂයේ අයට ද දිග කොණ්ඩක් තිබුණ ද එය බොහෝ විට කොටට කපා දැමීමට තීරණය කරනු ඇත.

කිසියම් අයෙකුගේ උප්පත්ති කේන්දර සටහනක් තුළ කේතු ග්‍රහයා ලග්න භාවය තුළ තැන්පත්ව ඇති නම් එවැනි අය බොහෝ විට උපායශීලී නිශ්ශබ්ද චරිත වේ. නමුත් ඔවුන් තම උපායශීලී බව අන් අයගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම වෙනුවෙන් භාවිත නොකරන බව පෙනේ. එමෙන්ම ඉහත කී ආකාරයට කේතු ග්‍රහයා තැන්පත්ව ඇති පුද්ගලයන් රහස් රැකීමට දක්ෂ වන අතර කේලාම් කීම බොහෝ විට සිදු කරන්නේම නැති තරම්ය. කෙසේ වෙතත් ඒ ආකාරයට කේතු ග්‍රහයා තැන්පත්ව ඇති අයට ද හවුලේ කරන කටයුතු නොගැළපෙන අතර හවුලේ කරන කටයුතුවලින් හවුල්කරුවන්ට වැඩි වාසි අත් වනු ඇත. යම් අයෙකුගේ උප්පත්ති කේන්දර සටහනක රාහු ග්‍රහයා ලග්න භාවය තුළ තැන්පත්ව ඇති නම් ඔවුන්ට කලබලකාරී මානසික තත්ත්වයක් ඇති අතර ඇතැම් අවස්ථාවලදී ආවේගශීලී ගති ලක්ෂණ ද ඇති වන බව පෙනේ. එමෙන්ම ඔවුන්ට බොහෝ විට පිටරට යාමට සහ ප්‍රසිද්ධ වීමට භාග්‍යය උදාවනු ඇත. අද දිනයේදී අප විසින් හෙළි කරන ලද්දේ ග්‍රහයන්ගෙන් හෙළි වන චරිත ලක්ෂණවලින් කිහිපයක් පමණි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී  පාරින්ද්‍ර සුගතදාස

Comments