ඔබේ ගතිගුණ ගැන කියන ලග්න 12 | සිළුමිණ

ඔබේ ගතිගුණ ගැන කියන ලග්න 12

මේෂ ලග්න හිමියා පිරිස් බලය සහිතයි; නායකත්වයට ගිජුයි හැමදාම ඉවසන කටක ලග්න හිමියා

 

ජන්ම පත්‍රයක් සැකසීමේදී කොටු දොළහක සටහනක් භාවිතයට ගැනේ. මෙම කොටුවල මුල් කොටුව උපන් ලග්නයට වෙන් වේ. එතැන් සිට වාමාවර්තව ඉතිරි ලග්න පිළිවෙළින් කොටුවලට හිමි වේ. මෙම කොටු භාවයන් ලෙස ද ලග්න රාශි ලෙස ද හැඳින්වේ. ලග්න රාශි යනු අහසේ නම් කරන ලද තරු පොකුරු දොළහකි. මෙම භාවයක් තුළ ග්‍රහයෙකු ගමන් කරන දුර අංශක 30කි. එක් එක් ග්‍රහයා භාවයන් තුළ ගත කරන කාලයක් වේ. වක්‍ර වීම තීව්‍ර වීම අනුව මෙම කාලය වෙනස් වේ.

රවි මාසයක් ද, සඳු දින දෙක හමාරක් ද, කුජ මාස එක හමාරක් ද, බුධ මාසයක් ද, ගුරු මාස දොළහක් ද, සිකුරු මාසයක් ද, ශනි අවුරුදු දෙක හමාරක් ද, රාහු හා කේතු අවුරුදු එක හමාර බැගින් ද භාවයන්හි ගත කරයි.

රාශිවල ගුණ අනුව සංකේත යොදා ඇත. මේෂ රාශියේ ගුණ ගති ස්වභාවයක් වෙනත් රාශියක නොපවතී. ලග්න රාශි ස්ත්‍රී, පුරුෂ, චර, තිර, උභය ලෙස වර්ග කෙරෙයි. 1, 3, 5, 7, 9, 11 රාශි පුරුෂ රාශි ලෙස ද ඉතිරි රාශි ස්ත්‍රී රාශි ලෙස ද හැඳින්වේ. පුරුෂ රාශි හිමියන් දැඩි ගතිගුණ ඇත්තෝය. ස්ත්‍රී රාශි හිමියෝ මෘදු ගති ගුණවලින් හෙබිය.

චර රාශි මේෂ, කටක, තුලා, මකර වන අතර තිර රාශි වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ වේ. මිථුන, කන්‍යා, ධනු, මීන උභය රාශිය. චර්යාව වෙනස් කරන අස්ථිර ගතිගුණ චර රාශි හිමියන්ට ඇත. ස්ථිර ගතිගුණ තිර රාශි හිමියන්ට ඇති අතර උභය රාශි හිමියන්ගේ අදහස් දෙබිඩිය.

පිරිස් බලය ඇති, නායකත්වයට ගිජු සටන්කාමී නිර්භීත ගතිගුණ මේෂ ලග්න හිමියාට උරුමය. දෙවරක් සිතා බලා කටයුතු කරන උපායශීලී බුද්ධිමත් අදහස් වෘෂභ ලග්න හිමියාට ඇත. මානුෂික හැඟීම් පිරි පරාර්ථකාමී සෘජු අදහස් මිථුන ලග්න හිමියාට හිමිව ඇත. දැහැමි කටයුතුවල නිරත වන කටක ලග්න හිමියා සානුකම්පිත හදවතක් ඇති ඉවසීම අඩු අයෙකි. නායකත්වය සොයා යන ආත්ම ශක්තිය දැඩි, නීරෝගි සම්පත අගය කරන අයෙකි. සිංහ ලග්න හිමියා කාරුණික වදන් ඇති, රස මසවුළුවලට ප්‍රිය කරන, සාර්ථක යුග දිවියකට වාසනාව හිමි අයෙකි. කන්‍යා ලග්න හිමියා, තුලා ලග්න හිමියා සාමකාමී නැණවත් අයෙකි. එහෙත් සමාජශීලි අයෙක් නොවේ. විවෘත අදහස් ඇති වෘශ්චික ලග්න හිමියා ආඩම්බරකාරී අයෙකි. සාමයට ගරු කරන ධනු ලග්න හිමියා නිවැරදි තීරණ ගනියි.

මකර ලග්න හිමියා බලයට ගිජු, පරිපාලනයෙහි දක්ෂ කාර්යශූර අයෙකි. බුද්ධිමත්, දේශපාලනයට රුචිකත්වය දක්වන අනුන්ගේ සිත් කියවීමට කුම්භ ලග්න හිමියා දක්ෂය. ගුණගරුක නිහතමානී මීන ලග්න හිමියා පොදු සේවයට කැමති, මිනිස්කමට ගරු කරන ලේඛනයෙහි දක්ෂ අයෙකි.

ජන්ම පත්‍රයේ ලග්න රාශිවල ග්‍රහයන් පිහිටීම අනුව මෙන්ම තත්කාලීනව ලග්න රාශිවල ග්‍රහයින් පිහිටීම අනුව ජන්මියාට සුබ අසුබ ගෙන එයි. ඒරාෂ්ටක අපල, සුබ හෝ අසුබ යෝග උදාවීම සිදු වේ. බෝධි පූජා, ග්‍රහ පූජා පැවැත්වීම, යන්ත්‍ර පැලඳීම ආදී කටයුතුවල යෙදී අපල දුරු කර ගන්නා පිරිස් ද සමාජයේ ඇත.

 

ජ්‍යොතිර්වේදී ජේ. බී. ඒකනායක

Comments