150 සැමරුමට සූදානම් වන මොරටුව වේල්ස් කුමර විදුහල | Page 3 | සිළුමිණ

150 සැමරුමට සූදානම් වන මොරටුව වේල්ස් කුමර විදුහල

2021 සාමාන්‍ය පෙළ හොඳම ප්‍රති­ඵල ලැබූ සිසු­න්ගෙන් කොට­සක්

- 2025දී සෑම අතින්ම විශිෂ්ට දරුවන් සිටින පාසල බවට පත්කිරීමට විශේෂ සැලසුම් රැසක්
- A9 සාමාර්ථ 34ක් A8 සාමාර්ථ 32ක්
- සා පෙළ සමත් වීමේ ප්‍රතිශතය 91% ක්

අධිරාජ්‍යවාදී පාලනය තුළ එක්තරා පෙළැන්තියකට සීමා වී තිබූ අධ්‍යාපනය මොරටු පුරවරයේ සමස්ත දරුවන්ට ලබාදීමේ අරමුණින් එකල මොරටුවේ මහා දානපතියකු වූ ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා විසින් විදුහල් ද්විත්වයක් ආරම්භ කළේය. වසර 1875දී මෙරටට පැමිණි එවකට වේල්සයේ කුමරු (VII එඩ්වඩ්) සිහිවීම සඳහා එම විදුහල්වලට වේල්ස් කුමර සහ වේල්ස් කුමරි ලෙස නම් තැබුණු අතර, වේල්ස් කුමර විද්‍යාලය ආරම්භ වන්නේ 1876 සැප්තැම්බර් 14 වැනිදාය. ලුනාව කළපුවට මායිම්ව ගාලු පාරට මුහුණලා අක්කර 16ක මනරම් භූමියක වේල්ස් කුමර විද්‍යාලය සහ වේල්ස් කුමරි විද්‍යාලය ස්ථාපිත කර ඇත. 

වේල්ස් කුමර විද්‍යාලයේ මුල්ම ගොඩනැඟිල්ල එදා මෙදාතුර මෙරට පාසල් ගොඩනැඟිලි අතරෙන් ඉතා අලංකාර ගොඩනැඟිල්ලක් ලෙස විරාජමාන වන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ද සහිතවය. ඩබ්ලිව්.එස්. ගුණවර්ධන විදුහලේ පළමු විදුහල්පතිවරයා වූ අතර, ආරම්භයේදී අධ්‍යාපන ආයතනයක් ලෙස පැවති මෙම විද්‍යාලය පසුව උසස් විද්‍යාලයක් බවට පත් විය. භෞතික සහ ගුණාත්මකව දියුණු වෙමින් ඉදිරියට ආ විද්‍යාලයට විවිධ අංශ ඇතුළත් විය. 1882දී පාසල් නේවාසිකාගාරය ආරම්භ කළ අතර, ක්‍රිකට් ක්‍රීඩාව ද හඳුන්වා දෙනු ලැබිණි. 1890 සැප්තැම්බර් 29 වැනිදා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා අභාවප්‍රාප්ත වුවද සිය බූදලයෙන් රුපියල් තුන් දහසක මුදලක් වාර්ෂිකව විදුහලේ වියදම සඳහා ලබා දිය යුතු බව සිය අන්තිම කැමැති පත්‍රයෙන් පවසා ඇත. එවැනි ගුණවත් මිනිසකුගේ ආශිර්වාදයෙන් වසර 147ක දිගු ගමනක් පැමිණ ඇති වර්තමානයේදී ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන් ද ජයකෙහෙළි නංවන වේල්ස් කුමර විද්‍යාලයේ මේ වන විට සිසුහු 4,000ට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. 1ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර, 6 ශ්‍රේණියේ සිට සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම අධ්‍යාපන කටයුතු සිදු කෙරේ. 175ක් දෙනකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය සමඟ 50කට අධික පුහුණුකරුවන් සහ 48ක් වන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිසු උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අතර, වේල්ස් කුමරුවන්ට පරිපාලනමය නායකත්වය ලබා දෙන්නේ විදුහල්පති හසිත කේසර වෙත්තිමුණි ය. ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2 වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.

වේල්ස් කුමර විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රගතිය විමසීමේදී 2021(2022) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති බව පෙනේ. එම විභාගයට සිසුන් 350ක් පෙනී සිටි අතර, එයින් සිසුන් 318ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූහ. A සාමාර්ථ 9ක් ලැබූ සිසුන් සංඛ්‍යාව 34ක් සහ A සාමාර්ථ 8ක් ලැබූ සිසුන් සංඛ්‍යාව 32කි. ඉස්ලාම් ධර්මය, භූගෝලය, සංගීතය (පෙරදිග හා අපරදිග) තොරතුරු තාක්ෂණය සහ නාට්‍ය සහ රංග කලාව විෂයයන් සමත් වීමේ ප්‍රතිශතය 100% කි. ඉතිහාසය සමත් වීමේ ප්‍රතිශතය 97% ක් වන අතර, බුද්ධ ධර්මය, විද්‍යාව සහ සිංහල විෂයයන්ගේ ප්‍රතිශතය 95% කි. ඉංග්‍රීසි සමත් වීමේ ප්‍රතිශතය 96% කි. ගණිතය 92% කි. 2020 වසරේදී සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතිශතය 86.5%ක් වූ අතර, මෙවර එම ප්‍රතිශතය 91% දක්වා ඉහළට පැමිණ ඇත.

කොවිඩ් වසංගත සමයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉගෙනගත් දරුවන් යළි පාසලට පැමිණීමෙන් පසු පන්ති කාමරයේ අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරු කරගැනීම සහ ඔන්ලයින් ඉගැන්වීම්වලදී මඟහැරුණු විෂයය කොටස් ආවරණය කරගැනීම වෙනුවෙන් වේල්ස් කුමර විද්‍යාලය තුළ විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණ. ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් ඉකුත් සා. පෙළ සාධන මට්ටමේදී හඳුනාගත් ගැටලු සහිත දරුවන් සති අන්තයේ විදුහලේ (විද්‍යාලයීය නේවාසිනාගාරයේ) නේවාසික කරගනිමින් විශේෂ උපකාරක වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයන් සහ ආසන්නම වර්ෂවල විශ්වවිද්‍යාල වරම් ලැබූ දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුහු එම ඉගැන්වීම් කටයුතුවල නිරත වෙති. උසස් පෙළ විද්‍යා, ගණිත අංශයේ දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පුනරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එක් වාරයකදී සිදු කරන ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම දින දෙක තුනක වැඩමුළුවක් මඟින් යළි සිසුන්ට ප්‍රායෝගිකව හුරුවන්නට අවස්ථාව සලසා දෙයි. ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් විශේෂ උපකාරක වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක වුවද ඒවා සිදු කරන්නේ දරුවන්ට පීඩනයක් නොවන ආකාරයට ක්‍රීඩා සහ සෞන්දර්ය ක්‍රියාකාරකම් අතරේය.

රතු පලස ව්‍යාපෘතියේදී ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගත් වේල්ස් කුමරුන්ට ක්‍රීඩාංගණය මැද අතුරන ලද රතු පලස මතදී සමස්ත සිසුන් ඉදිරියේ එම ජයග්‍රහණ වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීමට අවස්ථාව සලසා ඇති අතර, විභාග ජයග්‍රහණ වෙනුවෙන් විදුහල්පතිවරයා අතින් ප්‍රගති වාර්තා ලබා ගැනීමේ අවස්ථාව වැඩිම ලකුණු ගත් 1,2 සහ 3 ස්ථානවලට පමණක් නොව හොඳම ප්‍රගතිය හිමිකරගත් දරුවන්ට ද හිමි කර දී ඇත. එමෙන්ම සාමාන්‍ය පෙළ A සාමාර්ථ 9ක් ගත් සිසුන්ට, උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ගත් සිසුන්ට මෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන්ට විද්‍යාලයේ 'කේම්බ්‍රියන්ස් රන් පොත' තුළ තමාගේ නම රන් අකුරෙන් ලියවා ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

සිසුන්ගේ පෞරුෂ වර්ධනය සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා සහ විෂයය සමගාමී ක්‍රියාකාරකම් විශාල පිටිවහලක් සපයන අතර, විදුහල තුළ ක්‍රීඩා 22ක් ක්‍රියාත්මක වේ. ක්‍රිකට් සහ රග්බි ප්‍රමුඛ අතර, කරාතේ, ජූඩෝ, මල්ලව පොර, වූෂෝ, බාස්කට් බෝල්, හොකී සහ වොලිබෝල් යන ක්‍රීඩාවලින් වේල්ස් කුමරුවෝ සුවිශේෂී ජයග්‍රහණ වාර්තා කර ඇත. තායිලන්තයේ පැවති බැඩ්මින්ටන් ආසියානු තරගාවලියට විදුහල නියෝජනය කරමින් අචින්ත ඉමෙෂ්ක, පසිඳු පීරිස්, හිරුක සහන්මිත්, රෙෂාන් හරිත් සිසුන් සිවු දෙනා සහභාගි වීම, ජෝර්දානයේ පැවැත්වෙන වයස 20න් පහළ ආසියානු කනිෂ්ඨ මල්ලවපොර ශුරතාවලියේ කිලෝග්‍රෑම් 92 බර පන්තියේ තරගය සඳහා සිතුෂ සේනානායක සහ කිලෝග්‍රෑම් 66 බර පන්තියේ තරගය සඳහා නිම්ෂාන් සමරක්කොඩි සහභාගි වීම, වයස 19න් පහළ 2023 ලීග් රගර් තරගාවලියේ තරග 5න් තරග 4ක් වේල්ස් කුමරුවන් විසින් ජයගැනීම, දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී දෙනක ප්‍රනාන්දු රන් පදක්කමක් දිනා ගැනීම, 2022/23 වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී තරිදු අමරසිංහ ලකුණු 1008 ක් ලබා ගැනීම, ගයාන් ඉඳුවර ජාත්‍යන්තර කනිෂ්ඨ ජූඩෝ තරගාවලියේ අවසන් තරගකරුවන් 8 දෙනා අතරට පැමිණීම සහ චීනයේ පැවැත්වෙන 2023 ආසියාතික කනිෂ්ඨ වූෂු තරගාවලියට විදල් දුල්මික සහ සස්නිත සෙන්හස් පෙරේරා සුදුසුකම් ලැබීම වේල්ස් කුමර විද්‍යාලය මෑතකදී ලබා ගත් ක්‍රීඩා ජයග්‍රහණ අතර වේ.

බාලදක්ෂ, ශාන්ත ජෝන්, පරිසර නියමු, කථික සහ විවාද, මාධ්‍ය ඒකකය ඇතුළු විෂය සමගාමී ක්‍රියාකාරකම් 48ක් විදුහල තුළ ක්‍රියාත්මක වන අතර, අපරදිග තූර්යවාද කණ්ඩායම මෙරට විශිෂ්ටතම තූර්යවාදක කණ්ඩායම ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරයි. ප්‍රාථමික අංශයේ ද තූර්යවාදක කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන අතර, පරිසර නියමුවන් විසින් විදුහල කසළවලින් තොර හරිත පාසලක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටී.2017දී පිහිනුම් තටාකයක් ද පාසලේ භෞතික අංග අතරට එක්වූ අතර, මේ වන විට 1 -4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෑම සිසුවකුටම සතියකට එක් කාල පරිච්ඡේදයක් පිහිනීම සඳහා වෙන් කර ඇත්තේ එය ජීවන කුසලතාවක් ලෙස මෙන්ම වසර කිහිපයකින් ජාතික මට්ටමේ පිහිනුම් ශූරයන් වේල්ස් කුමරුන් අතරෙන් බිහි කිරීමේ අරමුණෙනි.

වසර 2025දී වේල්ස් කුමර විද්‍යාලය ශ්‍රී ලංකාවේ සෑම අතින්ම විශිෂ්ට දරුවන් සිටින පාසල බවට පත්කිරීම විද්‍යාලයීය දැක්ම බව විදුහල්පති හසිත කේසර වෙත්තිමුණි පැවසීය. 2025 වසරේදී පාසලේ 150 වැනි සංවත්සර වර්ෂය ආරම්භ වන බැවින් මෙවර සංවත්සර දිනයේදී 150 සංවත්සරය වෙනුවෙන් වසර දෙකක සැලසුමක් එළිදැක්වීමට බලාපොරාත්තු වන බව ද ඔහු සඳහන් කළේය. හොඳම පාසල නොව හොඳම දරුවන් සිටින පාසල බවට වේල්ස් කුමර විදුහල පත්කිරීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයකදීම පාසල ක්‍රියාත්මක වන්නේ ශිෂ්‍යයන් මූලික කරගත් ප්‍රතිපත්ති තුනක් ඔස්සේය. විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසුන්, මවුපියන්, ආදි ශිෂ්‍ය සංගමය මෙන්ම පාසලට සුබ පතන්නන්ගේ ප්‍රතිපත්තිය වන්නේ ද එම ප්‍රතිපත්ති තුනයි. අ, ආ සහ ඇ යටතේ නම් කර ඇති එම ප්‍රතිපත්ති තුන වන්නේ පිළිවෙළින් අවධානය, (දරුවන් විෂයයෙහි අසීමාන්තික අවධානය), ආදරය (දරුවන් විෂයයෙහි අසීමාන්තික ආදරය) සහ ඇගයීම (දරුවන් විෂයෙහි අසීමාන්තික ඇගයීම) යි. ඒ වෙනුවෙන් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති (මූල්‍ය හා පාලන) පී.ජී.පී. කේ.කරුණාරත්න, නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) එච්.ඊ. ප්‍රියංගා, නියෝජ්‍ය විදුහල්පති (විෂයය සමගාමී හා විෂය බාහිර) රංජිත් අයිලප්පෙරුම සහ සහකාර විදුහල්පතිවරුන් වන පූජ්‍ය මාතලේ සුමංගල හිමි, ඊ.යූ.පී සිල්වා, චතුර මෙන්ඩිස්, භාග්‍යා සඳමාලි, රම්‍යා සමරසේකර, චාමර ජීවන්ත, දුමින්දා සමරජීව යන ගුරු මහත්ම මහත්මීන්, ක්‍රීඩා පරිපාලක කසුන් දේවප්‍රිය, 1-9 දක්වා ශ්‍රේණි ප්‍රධාන ආචාර්යවරු ලෙස පිළිවෙළින් , කුංචනා ප්‍රනාන්දු, සරසි ගීතධාරී, අනුරාධී තිලකරත්න, ඩිලානි පෙරේරා, එම්.ටී.සී නිල්මිණි, එච්.ජී.ටී. කාවින්ද, නීල් උදයංග, ලතිකා රත්නායක, ලලිත් ජානක, 10-11 ශ්‍රේණි ප්‍රධාන ආචාර්යවරුන් වන පූජ්‍ය මාතලේ සුමංගල හිමි සහ සන්ධ්‍යා කරුණාරත්න, උසස් පෙළ විද්‍යා, වාණිජ සහ කලා අංශභාර පිනිපා ගුණවර්ධන, දේවිකා කුලසිංහ, උපේක්ෂා ද අල්විස් යන ආචාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් කටයුතු කරති.

වත්මන් විදුහල්පතිවරයාගේ නායකත්වය යටතේ විශිෂ්ට ව්‍යවහාර කිහිපයක් පාසල තුළ ක්‍රියාත්මක වන අතර, කුමරු ගුරු සටහන් පොත ඒ අතර ප්‍රමුඛ වේ. ගුරුවරුන්ට සටහන් පිරවීම සඳහා වැය කළ යුතු කාලය ඉතිරි කරමින් පාඩම් සටහන, වාර සටහන, කාල සටහන ඇතුළු සියලු ලේඛන සහිත පොතක් වන එම ගුරු සටහන් පොත විදුහලේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයගේ අනුග්‍රහයෙන් සැකසිණි. පාසල් උදව් කාමරය, ක්‍රීඩා මණ්ඩපය, අන්තර්ජාලය ඔස්සේ දියත් කරන කුමර මතක යන වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක වේ. අධ්‍යාපනයට අමතරව සිසුන්ගේ කලා සහ සෞන්දර්ය හැකියාවන් ඔප් නැංවීමේ අරමුණින් කටයුතු කරන වේල්ස් කුමර විදුහලේ සතියකට දින 3ක් පස්වරු 2-5 දක්වා පැවැත්වෙන ගිටාර් පුහුණු පාසලක් පැවැත්වෙන අතර සිසුන් 150ක් එහි පුහුණුව ලබති.

විද්‍යාලයීය ආදි කර්තෘ ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා පාසල ආරම්භ කර ඇත්තේ ප්‍රතිපත්ති 5ක් මුල් කරගනිමිනි. එනම් පාසලට ජාතියක්, ආගමක්, කුලයක් හෝ දේශපාලන හෝ වෙනත් මතිමතාන්තර භේදයක් නොවිය යුතු බව සහ විදුහල්පතිට ඉහළින් කිසිවකු නැත යන්නයි. ඒ අනුව මෙම විද්‍යාලයේ සියලු ආගම්, ජාතින්වල දරුවන් අධ්‍යාපනය ලබති. විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ආදි ශිෂ්‍ය කමිටුවෙන් සහ ඊට අනුබද්ධිත සියලුම ආදි ශිෂ්‍ය සංගම්වලින් මෙන්ම පාසල් සංවර්ධන කමිටුවෙන් සහ සුබ පතන්නන්ගෙන් ද විශාල සහයෝගයක් හිමිවේ.




ඡායාරූප- නිශ්ශංක විජේරත්න

Comments