රැකියාවක් කරමින් මුදල් ඉපැයීමට බොහෝ දෙනෙක් කැමැතිය. එහෙත් තමා සතු බුද්ධිය, දක්ෂතා හා සම්පත් යෙදවීමෙන් මුදල් උපයන අතර අන් අයට රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සිතන අය ඇත්තේ අතළොස්සකි. නමුත් රටකට වඩාත් අවශ්‍ය වන්නේ රැකියා උත්පාදකයන් හෙවත් ව්‍යවසායකයින් ය. ව්‍යවසායකයකු වීම පහසුවෙන් සිදු කළ හැක්කක් නොවේ. ඒ සඳහා යම් කැප කිරීමක් මෙන්ම තම ව්‍යාපාරය අසාර්ථක වීමේ අවධානමට පවා මුහුණ දිය යුතුය. බොහෝ දෙනෙක් ව්‍යවසායකයකු වීමට උනන්දු නොවීමට මේ හේතු කාරණා ද අඩු වැඩි වශයෙන් බලපානු ලබයි.නමුත් මේ අභියෝග සඳහා නොබියව මුහුණ දෙන අයකුට සාර්ථක ව්‍යවසායකයකු වීමට හැකියාව ඇත. මේ වෙනුවෙන් ව්‍යවසායකයන්ට සහාය වීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම උදෙසා අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති ලසන්ත කාරියප්පෙරුම මහතා හමුවුණෙමු. මේ එම කතා බහයි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ලෙස හඳුන්වන්නේ කුමනාකාරයේ ආයතනයක් ද?
ජාතික ව්‍යවසාය අධිකාරිය 2006 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කරලා තියෙනවා. මේ රටේ ආදායම් උපයන මාර්ග උත්පාදනය කළ යුතු බව ඒ වන විට රජය දැනගෙන තිබුණා. මොකද අපේ රටේ වැඩියෙන් සිටින්නේ රැකියා සොයන මානසිකත්වයෙන් යුතු පිරිසක්. නමුත් අපේ අධ්‍යාපනය මඟින් ව්‍යාපාර කිරීමෙන් ලාභ උපයන පිරිසක් නිර්මාණය කිරීමට උත්සාහ කළේ නෑ. මේ නිසා රජය තීරණය කළා රටේ ව්‍යවසායන් දිරි ගැන්වීම උදෙසා ව්‍යවසාය සංවර්ධන මහගෙදර ලෙස නැතිනම් මේ රටේ ව්‍යවසාය ගොඩනැගීමට තිබෙන ප්‍රධාන ආයතනය ලෙසින් මෙය ස්ථාපනය කිරීමට. ප්‍රධාන කාර්යාලයක් වගේම ලංකාවේ සියලුම පළාත් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි නිලධාරීන් 300කගෙන් පමණ සැදුම්ලත් විශාල නිලධාරී ආකෘතියක්, රට පුරාම ක්‍රියාත්මක වෙනවා. අපේ ආයතනයෙන් ප්‍රධාන වශයෙන් ම සිදු කරන්නේ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සහ ඊට අදාළ, කාලීනව ඇතිවන අවශ්‍යතාවන් අධ්‍යයනය කිරීම මඟින් කුමනාකාරයේ සහයක් ලබා දිය යුතුද යන්න සොයා බැලීමයි. එමෙන්ම නීතිමය අංශයෙන් කුමනාකාර වෙනස්කම් සිදු විය යුතුද යන්න, අනෙක් අංශවල වෙනස්කම් විය යුතු ආකාර සොයා බලා ව්‍යවසායකයා හා රාජ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම ව්‍යවසායකයාට ඍජුවම විවිධාකාරයෙන් උපකාර කරන ආයතනයක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා.
ව්‍යවසායකයන්ට ලබා දෙන මූලික සේවාවන් ගැන සඳහන් කරනවා නම්...
අපේ ආයතනය මඟින් බොහෝ සේවාවන් ප්‍රමාණයක් ව්‍යවසායකයන්ට ලබා දෙනවා. මෙහිදී ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායන් අපේ ප්‍රධාන ඉලක්කය බවට පත්වෙනවා. ප්‍රධාන වැඩසටහන් ඉදිරිපත් කළොත් පොකුරු සංවර්ධන ව්‍යාපෘති(Cluster Development) ඒ අතරින් ප්‍රධානයි. මධ්‍යම රජයේ ප්‍රතිපත්තිවල ඇති දිළිඳුකම තුරන් කිරීමට විසඳුමක් ලෙස මිනිසුන්ට රැකියා හෝ සමෘද්ධි සහනාධාර ලබා ගැනීමේ මානසිකත්වයට එහා ගොස් අවශ්‍ය අයට ව්‍යවසායකයන් වීමේ අවස්ථාව ලබා දෙනවා. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ලෙස අපි විශ්වාස කරන්නේ සෑම මනුෂ්‍යයකු තුළම ව්‍යවසායකයකු ද ජීවත් වන බවයි. අපේ කාර්යභාරය වන්නේ මේ ව්‍යවසායකයා එළියට ගැනීමයි. ජපානය වැනි රටවල පාසල් අධ්‍යාපනයේදී ම ළමයා තුළ සිටින ව්‍යවසායකයා එළියට ගන්නවා. ජපානයේ ජනගහනයෙන් 38%ක් පමණ ව්‍යවසායකයින්. ඉන්දියාවේ මෙය 11%ක ප්‍රමාණයක්. බංගලාදේශයේ මෙය 7.5% ක පමණ ප්‍රතිශතයක්. නමුත් අපේ රටේ එය 2.8 ක ප්‍රමාණයක්. මේ අනුව පෙනී යන්නේ අපේ රටේ අධ්‍යාපනය අසමත් වෙලා තියෙනවා දරුවන් තුළ සිටින ව්‍යවසායකයන් එළියට ගැනීමට. එය රටක් ලෙස අප කරගත් ලොකු වරදක්. අපේ රටේ එක් එක් පළාත්වල විවිධ ව්‍යාපාර කරන ව්‍යවසායකයන් සිටිනවා. අපි එම ප්‍රදේශයේ සිටින ව්‍යවසායකයන් එකතු කරලා සාමාජිකයන් 20දෙනෙක් එකතු කරලා පොකුරු ව්‍යාපෘතියක් (cluster program) ලෙසින් ගොඩනගනවා. එම පොකුර සමිතියක් ලෙසින් එකතුකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හැටියට අපි ඒකට මූල්‍ය දායකත්වයක් ලබා දෙනවා. මෙය දෙන්නේ ණයක් හැටියට නෙවෙයි, මූල්‍ය ප්‍රදානයක් ආකාරයටයි. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධනයට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට උදවු කරනවා. ඒවා ලබාදීමෙන් නොනැවතී අපේ පුහුණු නිලධාරීන් හරහා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඉන්පසුව නිෂ්පාදනයේ ගුණාත්මක බව රඳවා ගන්නා ආකාරය, වෙළෙඳපොළ සොයා ගන්නා ආකාරය සංවිධානය කරලා දෙනවා. ව්‍යාපාරික අදහස සමඟ අප වෙතට ඇවිත් පොකුරු කණ්ඩායමක් ලෙස එකතු වූ දිනයේ සිට එම පුද්ගලයා සාර්ථක ව්‍යවසායකයෙක් වෙන තෙක් ම අපි ඔහුත් සමඟ බැඳී සිටිනවා. මෙවැනි පොකුරු කණ්ඩායම් ව්‍යාපෘති ලංකාවේ සෑම පළාතකම ක්‍රියාත්මක වෙනවා. ගමේ මිනිසුන් ම එකතු වී ගමේ ම නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුකර කණ්ඩායමක් ලෙසින් සාර්ථක වීම මේ පොකුරුසංවර්ධන ව්‍යාපෘති මඟින් සිදු වෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් (regional development program) ද අපි ක්‍රියාත්මක කරනවා. සෑම දිස්ත්‍රික්කයකම සිටින දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම අපේ ව්‍යවසාය සංවර්ධන නිලධාරියෙක් සිටිනවා. එම පළාතේ තොරතුරු, ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා ආදිය ගැන ඔවුන් අපිව දැනුවත් කරනවා. ඒ අනුව අපේ පුහුණු නිලධාරීන් අපි ව්‍යවසායකයා වෙතට යවනවා. ඉන්පසු ඔවුන් එම ව්‍යවසායකයන්ට අවශ්‍ය පුහුණුව, වෙළෙඳපොළ සොයා දීම, ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා යාමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරනවා. පසුගිය වසර කිහිපය පුරා අපි හඳුනා ගත් දෙයක් තමයි රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ ගැටලුව. ඇත්තටම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගන්නා බොහෝ උපාධිධාරීන් සිතන්නේ අනිවාර්යයෙන් ම රැකියාවක් කළ යුතු බවයි. නමුත් අපි ඔවුන්ගේ මනස වෙනස්කර රටට උදවු කිරීමට ‘උපාධිධාරී ව්‍යාවසායකත්ව උදානය‘ ලෙසින් වැඩසටහනක් ආරම්භ කළා. මෙය අපි බොහොම සතුටින් කරන වැඩසටහනක්. මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන්නේ 2023 - උපාධිධාරී ව්‍යවසායකත්ව උදානය. අපි ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ලබන වසරේ සිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ජර්මානු කාර්මික පුහුණු ආයතන, තරුණ සේවා සභාවේ පුහුණු ඒකක ආදියේත් මේ ව්‍යවසායකත්ව පුහුණු ව්‍යාපෘති සිදු කරනවා. උදාහරණයක් විදියට ජර්මන් ටෙක් එකෙන් යම් කිසි වෘත්තීය පුහුණුවක් ලබාගෙන එළියට එන ශිෂ්‍යයන්ට අපි ව්‍යවසායකයෙක් ලෙසින් තමා ලබාගත් දැනුමෙන් දියුණු වෙන ආකාරය ගැන අදහස්, දැනුම ආදිය ලබා දෙනවා.
ඔබේ ආයතනය මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දෙන සේවාවවන් පිළිබඳ දීර්ඝව පැහැදිලි කරනවා නම්...
SME Connect නමින්, ජාත්‍යන්තරව අපිට සහාය දෙන ආයතන එකතු කරලා සිදු කරන ව්‍යාපෘතියක් තියෙනවා.විශේෂයෙන් කාන්තා ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙනයි මෙය සිදු කරන්නේ. අපේ රටේ ජනගහනයෙන් 52%ක පමණ ප්‍රමාණයක් කාන්තාවන්. සාමාන්‍යයෙන් පිරිමියා පමණක් රැකියාවක් සිදු කරනවා නම් එවැනි පවුල්වල කාන්තාවන් කැමැතියි පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යමක් කරන්න. මේ වැඩසටහන අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වෙන්නක්. ඕනෑම අයකුට අන්තර්ජාලය හරහා මේ සමඟ එක්වීමට පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට, ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය ආයතන හා සම්බන්ධ වීමට වැනි බොහෝ කටයුතු මේ හරහා සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා. ලංකාවේ මෙවැනි වැඩසටහනක් සිදු කරන්නේත් අපේ ආයතනයෙන් පමණයි. අපි ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ සොයා දෙන්නත් වැඩපිළිවෙළක් පවත්වාගෙන යනවා. ඒ වෙනුවෙන් කරන වැඩසටහන් වලදී අපි හඳුන්වා දුන් තවත් සංකල්පයක් තමයි 'Made in Sri Lanka e trade portal‘. මේ වෙනුවෙන් අන්තර්ජාල අලෙවිකරණ ජාලයක් පවතිනවා. එය සැලකිය යුතු මුදලක් වියදම් කිරීමෙන් සිදු කළ කාර්යයක්. මෙහි අන්තර්ජාලය මඟින් අලෙවි කිරීමට නැතිනම් online marketing සඳහා පහසුකම් සපයලා තියෙනවා. ‘Made in Sri Lanka‘ වෙළෙඳ සල්පිල් ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් ලංකාව පුරාම පවත්වනවා. එහෙම දෙයක් කරන්නේ අපි ගොඩනගපු එම පළාත්වල සිටින ව්‍යවසායකයන්ට තමාගේ නිෂ්පාදන ජනතාව අතරට ගෙනයාමට පහසු වීමටයි. ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපේ නිලධාරීන් වෙනම පොළවල් සංවිධානය කරනවා. එමෙන්ම මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ආයතන සමඟ අපි පුද්ගලික මට්ටමෙන් සාකච්ඡා කරලා වෙළෙඳපොළවල් සකසා දෙන අවස්ථා තියෙනවා. මේ අනුව වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා අපේ වෙනම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා.ඊට අමතරව අපි කරන තවත් ප්‍රධාන වැඩසටහනක් වන්නේ පෙර වැඩුම් මධ්‍යස්ථාන (Incubation Center) ඇති කිරීමයි. වයඹ විශ්වවිද්‍යාලය සමඟ එකතු වෙලා තමයි මේක කළේ. මෙය අපිට අලුත් අදහසක් වුණා. විශ්ව විද්‍යාලයක් මේ සඳහාදායක කළේ, එහි විශාල දරුවන් ප්‍රමාණයක් සිටීම, නවෝත්පාදන අදහස් තිබීම හා විශ්ව විද්‍යාලයකට හොඳ පිළිගැනීමක් තිබීම හේතුවෙන්. එම පළාත සමඟ සම්බන්ධතා පැවතීමත් උගත්, බුද්ධියේ දැනුමේ එකතුවක් වීමත් මේ සඳහා තවත් වාසිදායක තත්ත්වයක්. වාර්ෂිකව මේ සිසුන් පර්යේෂණ සිදු කරනවා. ඒත් එම පර්යේෂණ වාර්තා බොහෝ විට තිබෙන්නේ කබඩ් ඇතුළේ විතරයි. මේවායෙන් සොයා ගන්නා දේවල් ප්‍රායෝගිකව සිදු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර, උපකරණ, ආම්පන්න අවශ්‍ය වෙනවා. අපි කළේ මේ පළාතේ මිනිස්සුන්ට ව්‍යාපාරික අදහසක් තිබෙනවා නම් ඒ පළාතේ පවතින සම්පත් අනුව කළ හැකි කර්මාන්ත තිබෙනවා නම්, එම කර්මාන්තවලට අදාළ යන්ත්‍ර සූත්‍ර මේ පෙර වැඩුම් මධ්‍යස්ථානයේ ස්ථාපනය කරනවා. මෙය විශ්ව විද්‍යාලයේ අධීක්ෂණය යටතේ හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෑතක දී අපි එයට පොඩි වෙනසක් කරමින් උපරිම ඵලයක් ගන්න අවශ්‍ය නිසා එතැනට කළමනාකරුවෙක්, ඒ කියන්නේ බාහිර තුන්වෙනි පාර්ශ්වයක් ලෙස කළමනාකරණ දක්ෂතා ඇති ආයතනයකුත් එතැනට සම්බන්ධ කළා. යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම අවශ්‍ය වන නිසා මෙය, අධික මුදලක් වැය වන කාර්යයක් වුවත් අපි උත්සාහ කරනවා අනෙකුත් පළාත් වලටත් එය ව්‍යාප්ත කිරීමට. මේ රටේ විවිධ වූ ප්‍රමිති සහතික, තත්ත්ව සහතික තියෙනවා. නමුත් රට තුළ නිපදවූ නිෂ්පාදනයකට වටිනාකමක් දෙන්න සම්මාන ක්‍රමයක් තිබුණේ නෑ. මේ නිසා අපි Made in Sri Lanka Logo කියලා සංකල්පයක් ආරම්භ කළා. මේ සඳහා ඕනෑම නිෂ්පාදකයකුට අයදුම් කළ හැකියි. මෙහි ඇති මූලිකම සුදුසුකම වන්නේ රටේ ඇති අමුද්‍රව්‍ය වලින්70%ක ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබීමයි. සරලව කියනවා නම් එය අපේ දෙයක් විය යුතුයි. මේවන විට අපෙන් ඒ ලෝගෝ එක ගැනීමට විශාල නිෂ්පාදකයන් ප්‍රමාණයක් අයැදුම් කරලා තියෙනවා. අපේ අනන්‍යතාවන් රැක ගනිමින්, අපේ රටේ ඇති සම්පත්වලට අගයක් එකතුකර දේශීය හා විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට උත්සාහ කරන ව්‍යවසායකයන්ට අපි මේ හරහා සහයෝගය දක්වනවා. ප්‍රාදේශීය ව්‍යවසාය සංසද මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී ඇතිවන ගැටලු හඳුනාගෙන සාකච්ඡා කිරීමට වේදිකාවක් නිර්මාණය කරලා තිබෙනවා. ව්‍යවසායකයන්ට තමාට ආවේණික ගැටලු ඇතිවෙනවා. තම තමාට ඇතිවන ගැටලු සාමූහිකව එකතු වී සාකච්ඡා කිරීමෙන් විසඳා ගැනීමට හැකි ආකෘතියක් ලෙස මෙය හඳුන්වා දී තිබෙනවා. මෙයත් දැනට හොඳින් ක්‍රියාත්මක වෙමින් යන ව්‍යාපෘතියක්. ව්‍යවසායකයෙක් කියන්නේ රැකියා කරන්නෙක් නෙවෙයි, රැකියා දෙන්නෙක්. ව්‍යවසායකයකුගේ භූමිකාව හරි කටුකයි. මේ නිසා හැම කෙනකුට ම ව්‍යවසායකයෙක් වීමට අපහසුයි. ව්‍යවසායකයෙක් වෙනවා නම් කැපකිරීම්, ඉවසීම, ධෛර්ය, දරාගැනීම, ව්‍යාපාරය අසාර්ථක වීමේ අවදානම් ගැනීම ආදිය පුරුදු පුහුණු විය යුතුයි. මේ දේවල් දරාගෙන සාර්ථකත්වය කරා ගිය බොහෝ ව්‍යවසායකයන් අපේ රටේ සිටිනවා. එම පුද්ගලයා සාර්ථකත්වය කරා පැමිණි එම දුෂ්කර මාර්ගය අපට රටක් හැටියට එකට අගය කිරීමට හැකි නම්, පිරිසක් ඉදිරියට ගෙනත් මොහු සාර්ථක ව්‍යවසායකයෙක් වුණා කියන එක කියන්න පුළුවන් නම්, එම පුද්ගලයාට වගේම අනෙකුත් ව්‍යවසායකයන් වීමට සිටින අයටත් හොඳ ධනාත්මක උත්තේජනයක් ඉන් සැපයෙනවා. මේ අරමුණෙන් අපි පළාත් අනුව සාර්ථක ව්‍යවසායකයන් ඇගයීමේ සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වනවා. එම පළාත්වල තියෙන වාණිජ මණ්ඩල සමඟ එකතුවෙලා තමයි මේ ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු සම්මාන උළෙල පවත්වන්නේ.. මේ අවුරුද්දේ පළාත් 5ක් මූලික කරගෙන මේ සම්මාන උත්සව පවත්වනවා.. මෙම සම්මාන උළෙල නිසා ව්‍යවසායකයන්ට උත්තේජනයක් ඇති වෙන අතරම තමා කරන නිෂ්පාදන ඉතාමත් පිළිවෙළට, ගුණාත්මකව අපේ නිර්ණායකයන්ට අනුකූල වන ලෙස කිරීමට උත්සාහ කිරීම මින් ලැබෙන ප්‍රධාන ම වාසි ලෙස දක්වන්න පුළුවන්.
රජය මඟින් දේශීය ව්‍යවසායකයාට ලබා දෙන දිරි බලය පිළිබඳ කතා කළොත්...
නිදහසින් පසුව පැවැති හැම රජයක්ම මේ රටේ නව ව්‍යවසායකයන් බිහි කිරිමට අඩු වැඩි වශයෙන් උත්සාහ කරලාතියෙනවා. නමුත් මෙතෙක් රජයන් ඒ සඳහා උත්සාහ කළේ රැකියා විරහිත පුද්ගලයන්ට යන්ත්‍ර සූත්‍ර බෙදාදීමෙන්. උදාහරණයක් විදියට ගමක සිටින දිළිඳු කාන්තාවන් පිරිසකට මහන මැෂින් බෙදා දෙනවා යැයි සිතුවොත්, මෙහිදී එම ප්‍රදේශයේ කොතරම් ඉල්ලුමක් එවැනි ව්‍යාපාරයකට තියෙනවාද?, කුමනාකාර භාණ්ඩවලට ඉල්ලුමක් තිබෙනවාද? අමුද්‍රව්‍ය සම්පාදනය කරගන්නේ කොහොමද? වැනි දේවල් ගැන විධිමත් අධ්‍යයනයක් සිදු කරලා නෑ. නමුත් දැන් අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හැටියට මේ කාර්යයන් සාර්ථකව කිරීමට රජය උදවු කරනවා. මේ සඳහා විවිධ වැඩසටහන් සකසලා තියෙනවා. අපි මෙහිදී විද්‍යාත්මක ප්‍රවේශයකට යනවා. කිසිම දෙයක් නොකරන අයෙක් ව්‍යවසායකයෙක් කිරීම අමාරු වුණත්, යම් දෙයක් කරන කෙනෙක් ව්‍යවසායකයෙක් කිරීම අපහසු දෙයක් නෙවෙයි. මේ නිසා අපේ ශක්තිය අපතේ නොයවා, අප සතු සම්පත් ප්‍රමාණය අපතේ නොයවා මේ දේවල් ලබා දිය යුතු නියම සුදුස්සාට ම ලබා දීමට කටයුතු කරනවා. ව්‍යාපාර නොකර රස්සාවල් කරන හෝ නොකරන ප්‍රජාව අපි ව්‍යවසායකත්ව දැනුමින් පෝෂණය කළ යුතුයි. අපි ඔවුන් තුළ ව්‍යසායකත්ව ආකල්පය හැදීමට කටයුතු කරනවා. නමුත් අපි පහසුකම් ලබා දීමේ දී ව්‍යවසායකයකු ලෙස යම් ගමනක් යන පුද්ගලයාට උදවු කිරීමයි කළ යුත්තේ. සරලව පවසනවා නම් යම් ගමනක් යාමට සිතමින් සිටින පුද්ගලයාට වඩා එම ගමන යාමට පළමු පියවර හෝ තැබූ පුද්ගලයාට පහසුකම් සැලසීමයි. මිනිසුන්ගේ අදහසක් තිබෙනවා රජය කිසිම දෙයක් මේ වෙනුවෙන් කරන්නේ නෑ කියලා. නමුත් රජය මඟින් ව්‍යවසායකයන්ට උදවු කිරීම සඳහා ම පිහිට වූ ආයතන 81ක් අපේ රට තුළ ක්‍රියාත්මකයි. අපේ ආයතනයේ පවා මේ වෙනුවෙන් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මකයි. අපේ වෙබ් අඩවිවලට ගියොත් බලාගන්න පුළුවන් අපි හැම දිනකම පාහේ වැඩසටහන් සිදු කරනවා. මිනිසුන් කියනවා රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් අපේ නිලධාරීන් හැම වෙලාවකම රාජකාරි කටයුතුවල නිරතවෙලා ඉන්නේ. ඔවුන් තමන් ගන්නා පඩියට සාධාරණයක් ඉටුකරන පිරිසක්. මමත් මේ ආයතනයේ සභාපති හැටියට පුටුවටම වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. ආයතනයේ කටයුතු වෙනුවෙන් දිවයින පුරාම යන කෙනෙක්. මට මේ තනතුර ආභරණයක් යැයි මම හිතන්නේ නැහැ. මට මේ තනතුර රටට, මිනිස්සුන්ට සේවය කරන්න ලැබුණ හොඳ අවස්ථාවක් ලෙසයි හිතන්නේ.
මේ තනතුරට එනතෙක් ඔබේ ගමන් මඟ ගැනත් සඳහනක් කරමුද?
අපි කුඩා කාලෙම මගේ තාත්තා නැති වුණා. මගේ අම්මා පහේ පන්තියට ඉගෙන ගත් කාන්තාවක්. ඒත් අපේ අම්මා අපි පස්දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. අපි හතර දෙනෙක් සරසවි වරම් ලබලා මේ වෙනකොට ආචාර්ය, මහාචාර්යවරු බවට පත්වෙලා ඉන්නවා. අපිට සමාජයේ අද ඉන්න තැන හදාගන්න උදවු කළේ නිදහස් අධ්‍යාපනය. මගේ මූලික අධ්‍යාපනය කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් ලබාගෙන ඉන්පස්සෙ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිය ලබා ගත්තා. උපාධිය සම්පූර්ණ කළ හැටියේ ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය කළා. මම ඵලදායීතා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටිය කාලයේ මගේ දැනුම, අත්දැකීම් පුළුල් වුණා. විශේෂයෙන් ම ජාත්‍යන්තර දැනුම, විවිධ රටවලට යාමට අවස්ථාව ලැබුණා. මම රට ගිය හැම වාරයකදී ම, ඵලදායිතා විෂයක් සම්බන්ධයෙන් ගියා නම් ඒ අත්දැකීම්, ලබා ගත් දැනුම එකතු කරලා පොතක් එළිදැක්වුවා. විශ්ව විද්‍යාලයෙන් පිටවුණාට පසුව මම අද වෙනතෙක් ව්‍යවසායකයන් සමඟ තමයි හිටියේ. ඒ නිසා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති වීම මඟින් තව දුරටත් ඔවුන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ඔබතුමාගේ රාජකාරි ජීවිතය ගැන තෘප්තිමත්ද?
මම කොහොමත් තෘප්තිමත් මනුස්සයෙක්. මම මෙය තෘප්තිමත් කියනවාට වඩා මේ තත්ත්වයෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න ලැබීම ගැන සතුටකින් තමයි ඉන්නේ. යම් මනුස්සයෙක් තනතුරකට ආවම තෘප්තිමත් වෙන්නේ මම මේ තනතුරට ආවා කියලා. නමුත් මම තෘප්තිමත් වෙන්නේ සතුටු වෙන්නේ ව්‍යවසායකයකුගේ ගැටලුවක් විසඳනකොට, ඔවුන්ගේ ගුණාත්මක භාවය ඉහළ යන විට, අපේ ව්‍යවසායකයන් අපේ රටට ඩොලර් ගෙනත් දෙනකොට, ගම්වල මිනිස්සුන්ට රැකියා ලැබෙන විට ඇති වෙන්නේ පුදුම සතුටක්. මගේ වෘත්තිය ගැන තෘප්තියක්. අපේ ව්‍යවසායකයෙක් යාපනයේ කෝපායි වල ඉන්නවා තම්බිරාසා සුරේෂ්කුමාර් කියලා. ඔහු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙක්. ආබාධිත තත්ත්වයෙන් පසුවන ඔහු පුනරුත්ථාපනය වීමෙන් පසුව ව්‍යාපාරයක් පටන් අරන්, මේ වන විට සාර්ථක ව්‍යවසායකයෙක්. ඔහුගේ ව්‍යාපාරයේ නම Crafttary. ඔහුට ජාතික ශිල්ප සභාව උදවු කරලා තිබුණා. මේ වෙනකොට ඔහු රැකියා උත්පාදනය කරන, රටට ඩොලර් ගේන සාර්ථක ව්‍යවසායකයෙක්. ඔහු කරන්නේ පොල්කටු නිර්මාණ. ඔහු සිටින යාපනයේ කෝපායිවල ඉතාමත් ආකර්ෂණීය ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. එයට අමතරව කැනඩාවේත් ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යනවා.
මේ දේවල් දැක්කම අපිට දැනෙන්නේ පුදුම සතුටක්. දකුණේ පොල්කටු ව්‍යාපාර කරන ව්‍යවසායකයන් 25 දෙනෙක් ජාතික ශිල්ප සභාව සමඟ එකතුවෙලා අපි මෙම ව්‍යවසායකයාගේ ව්‍යාපාරික ස්ථානය පෙන්වීමට හා දැනුම ලබා දීමට එහි ගෙන යනවා. මෙවැනි දේවල් කිරීමෙන් රටට මෙන්ම මිනිස්සුන්ට සේවය කරන්න ලැබීම සතුටක්.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට පවතින තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද?
අපි කවුරුත් දන්නවා පසුගිය කාලයේ අපි හැමදෙනාම ඉතාම දුෂ්කර කාලයක් ගත කළා. ඒක තුවාලයක් වගේ පෑරුවාට වැඩක් වෙන්නේ නෑ. නමුත් මේ අර්බුදය ඇතුළේ අපි නොහිතන පුදුමාකාර අවස්ථා තියෙනවා. අපේ රට මේ තත්ත්වයේ තිබීම සම්බන්ධයෙන් දේශපාලකයන් වගකිවයුතු බව බොහෝ දෙනාගේ අදහස. නමුත් ඇත්තම කියනවා නම් මේ සඳහා දේශපාලකයාට වඩා වගකිවයුතු වන්නේ රාජ්‍ය නිලධාරීන්. එකට වැඩ කිරීමේ දී අපට තේරෙන දෙයක් තමයි සමහර වෙලාවට ව්‍යවසායකයෙක් තමාගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට ආවම ඒ පුද්ගලයා යන්නේ දේශපාලකයා ළඟට නෙවෙයි, නිලධාරියා ළඟට. ඒත් ඒ පුද්ගලයා කොයිතරම් කාලයක් රස්තියාදු කරනවද? එහෙම වුණාම අපේ රට ගොඩනැගෙන්නේ කොහොමද? අඳුර තියෙනවා නම් ආලෝකයත් තියෙනවා. කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා. දුක තියෙනවා නම් සැපත් තියෙනවා. පොළොව තියෙනවා නම් අහසත් තියෙනවා. මේ ලෝකය දෙපැත්තට දෝලනය වෙනවා. අපි රටක් විදියට වසර 74ක් පමණ කළ වැරැදි, අතපසුවීම්වල ප්‍රතිඵලය භුක්තිවින්දා. ඒත් දැන් සංඛ්‍යාලේඛන දෙස බලනවිට පේනවා තිබුණු නරකම තත්ත්වයෙන් ටික ටික හොඳ තත්ත්වයට එන බව. විනාශය නැවතිලා අඩියෙන් අඩිය ඉදිරියට එනබව. අපේ බඩුවලට ආයෙත් ජාත්‍යන්තර ඉල්ලුම ඇතිවෙලා, රටේ කීර්තිනාමය ආයෙත් වැඩි වෙනවා, සංචාරකයන් නැවතත් එනවා. මම ධනාත්මකව හිතන කෙනෙක් නිසා මට නම් හිතෙන්නේ අපේ රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ එන බවයි. පුරවැසියා ලෙස අපෙන් විය යුතු යුතුකම් කොටස අපි කරනවා නම්, රට ගොඩනැගෙන එක අරුමයක් නෙවෙයි.
ගරු ඇමතිතුමා විසින් ඔබ ආයතනයේ කාර්යයන්ට දෙන සහයෝගය රටේ ව්‍යවසායකයන් නගා සිටුවීමට දක්වන නායකත්වය කුමනාකාරද?
ජාතික ව්‍යවසාය අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ වැවිලි හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. අපේ ප්‍රධාන කැබිනට් අමැතිවරයා වෛද්‍ය රමේෂ් පතිරණ ඇමැතිතුමා. එතුමා ඉතාම හොඳ නායකත්වයක් මේ අමාත්‍යාංශයට ලබා දෙනවා. මේ අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් ඉන්නවා. ඉන් එක් අයෙක් තමයි ක්ෂුද්‍ර සුළු හාමධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇමැතිතුමා. බොහෝ වෙලාවට මම වැඩකිරීමේ දී දැකලා තියෙන්නේ එතුමා බිම් මට්ටමේ පුද්ගලයෙක් බව. එතුමට මේ රටේ ව්‍යවසායකයන් ගොඩනගන්න, පුංචි මිනිස්සුන්ට උදවු කරන්න හැඟීමක් තියෙන දේශපාලකයෙක්. එතුමට නිතරම අවශ්‍ය වෙන්නේ වැඩ කිරීමයි.දැනට කරන ව්‍යාපෘති ගැන අධ්‍යයනය කරනවා වගේම අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. කලින් එතුමා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තම වගකීම් ඉටු කළා. ඒකාලේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රගතිය මැනීමේ දී එතුමාගේ අමාත්‍යාංශය තමයි ඉදිරියෙන් තිබුණේ. එතුමගෙන් අපිට තියෙන්නේ කරදරයක්. කරදරයක් කියන්නේ නිතරම වැඩ කරන්න අපිව යොමු කරනවා. නිතරම ගම්මානවලට යන්න කියනවා. ඇත්තටම අපිට වැඩ සහයෝගයෙන් වැඩ කිරීමට හැකි ඇමැතිවරයෙක් ලැබීමත් අපේ කාර්යයන්වලට ලොකු උදවුවක්. හැම මාසෙකම එතුමා ප්‍රගතිය ගැන විමසා බලනවා. ඒ අමාත්‍යවරු දෙදෙනාගේ සහාය අපිට ඉතාමත් ම වටිනවා.
රජයට බරක් නොවී මේ ආයතනය පවත්වාගෙන යාමට ඔබ ආයතන ප්‍රධානියා ලෙසින් කටයුතු කරන්නේ කොහොමද?
ඇත්තටම අපේ ආයතනයට රජයෙන් තමයි ප්‍රතිපාදන සපයන්නේ. ඒත් මම මේ තනතුරට ආවට පස්සේ මම කල්පනා කළා අපේ රටේ ගොඩක් ආයතන රාජ්‍ය භාණ්ඩාගාරයට බරක්වෙලා තියෙන නිසා අපේ ආයතනය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හැටියට රජය මුදල් ලබාදෙන තෙක් ඉන්නේ නැතිව මුදල් ඉපයීම් කළ යුතු බව. ඒ නිසා අපි කටයුතු කිහිපයක් ම ආරම්භ කළා. ඉන් එක කටයුත්තක් තමයි කෙටි කාලීන පුහුණු පාඨමාලා විශාල වශයෙන් ආරම්භ කිරීම. නමුත් අපිට එම කටයුත්ත සඳහා ශ්‍රවණාගාරයක් තිබුණේ නැහැ. මම මේ තනතුරට ඇවිත් මාස හතරෙන් ආයතනය සඳහා ශ්‍රවණාගාරයක් සැකසීමේ කටයුත්ත ආරම්භ කළා. මේ වන විට පුද්ගලයන් 75කට සම්මන්ත්‍රණ සඳහා එකවර සහභාගී විය හැකි, පුද්ගලයන් 75කට එකවර ආහාර ගැනීමට හැකි, සියලු පහසුකම් සහිත ශ්‍රවණාගාරයක් ආයතනය සතුයි. මෙය කෝටියක පමණ මුදලක් වැය වන කටයුත්තක් වුවත් රුපියල් ලක්ෂ12ක පමණ පිරිවැයකින් සිදු කිරීමට හැකි වුණා. ඒ සඳහා අපි වෙනත් ආයතනවලින් ඉවත් කරන ද්‍රව්‍ය අඩු මුදලකට ලබාගෙන මේ කටයුත්ත සිදු කළා. පුටු පවා අපි ඒ ආකාරයට ලබා ගෙන අලුත්වැඩියා කටයුතු වලින් පස්සේ අපේ ශ්‍රවණාගාරයට එකතු කරගත්තා. දැන් අපි මේ ශ්‍රවණාගාරය අනෙකුත් ආයතනවලට බදු දීමෙන් ආදායමක් උපයනවා. ඇත්තටම යමක් කිරීමට අවංක වුවමනාවක් තියෙනවා නම් එය කළ හැකියි. දූෂ්‍ය නිලධාරීන් නිසා සමහර ආයතන රජයේ මුදල් නාස්ති කරන තත්ත්වයට පත්වෙලා. ඒත් අපි රජයට බරක් නොවන ආකාරයට අපේ ආයතනය පවත්වාගෙන යමින් ජනතාවට සේවය කරන්න තමයි උත්සාහ කරන්නේ..