මවට බිලිඳියට දිවි අහිමි කළ අඟුරුවාතොට ඛේදවාචකයේ සුල මුල | Page 2 | සිළුමිණ

මවට බිලිඳියට දිවි අහිමි කළ අඟුරුවාතොට ඛේදවාචකයේ සුල මුල

පේ රටේ දිනකට අඩුම තරමින් පුද්ගල අතුරුදන්වීම් හය හතක්වත් වාර්තා වන බව පොලිස් සංඛ්‍යා දත්ත පරිශීලනයේදී පෙනී යන කරුණකි. ඒ ගොන්නට අගුරුවාතොටින් පසුගිය 18 වෙනිදා මහා රෑ එක්වන්නේ තරුණ මවක් සිය බිලිඳිය සමඟ අතුරුදන්වීමකි. මහා රෑ අඟුරුවාතොට පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල කරනුයේ තරුණ සැමියකු විසිනි. ඔහු නමින් තිමීර නිරෝෂන්ය. 29 හැවිරිදි වියේ පසුවන නිරෝෂන්ගේ බිරිය වාසනා කුමාරිය. ඇය රූමත් තැනැත්තියකි. ඇය පසුවූයේ 24 හැවිරිදි වියේය. මේ යුවළට දාව සිටි බිලිඳිය ටශ්මි දිලන්‍යයාය. ඇය මාස 11ක කිරිකැටියෙකි. ඔවුන් ජීවත් වූයේ අඟුරුවාතොට ඌරුතුඩාවේ පිහිටි නිවසකය.

තිමීර පොලිසියට පැමිණ කියන්නට වූයේ තමා රැකියාවට ගොස් නිවෙසට එන විට බිරිය සහ දියණිය නිවසේ නොසිටි බවය. සොයා බැලිය හැකි හැම තැනකම ඒ අයව සොයා බැලුවත් කිසිදු තොරතුරක් නොමැති වූ තැන පොලිසියට ආ බව ද ඔහු පොලිස් නිලධාරීන් හමුවේ කීවේය.

තිමීරගේ බිරිය ඇහැට කනට පෙනෙන තැනැත්තියක් වූවාය. කොටින්ම කීවොත් ඇය රූමතියකි. තිමීර සිය බිරියට කිසිදු අඩුපාඩුවක් දැනෙන්නට ඉඩ දුන්නේ නැත. වෘත්තියෙන් පෙදරේරුවෙක් වූ ඔහු දුක් මහන්සියෙන් හරි හම්බ කළ හැම දෙයක්ම වැය කරන්නට වූයේ සිය බිරිය හා දියණියගේ සුඛ විහරණය සඳහාය. ඒ අයට ඔහු දැක්වූයේ අසීමිත ආදරයකි. ‍ඒ තිමීර පවසන ආකාරයට අනුවය.

තිමීරගේ සහෝදරිය විවාහ වී සිටියේ හමුදාවේ හිටපු සාමාජිකයකු සමඟිනි. ඔහු 32 හැවිරිදි වියේ පසු වූ ප්‍රියාත් ය. ඔහු පදිංචිව සිටියේ වරකාගොඩ තල්ගස් මාවතේය. තිමීර පදිංචිව සිටි නිවෙසේ සිට ප්‍රියාත් සිය නැඟණිය සමඟ පදිංචිව සිටි නිවෙසට ඇති දුර කිලෝ මීටර් 10කට වැඩිය. හමුදා සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහු වඩු වැඩ ඇතුළු කොන්ත්‍රාත් වැඩවල නිරත වන්නට වූයේ ත්‍රීරෝදයක්ද පදවමිනි. ඇතැම් වැඩවලට ඔහු තිමීරවත් හවුල් කර ගත්තේය.

තිමීරගේ බිරිය ඇහැට කනට පෙනෙන තරුණියක් වූ බැවින් ඔහු ඇයට බැල්ම හෙළා තිබුණේ කාලයක සිටය. ඒ නිසාම තිමීර නිවෙසේ නොසිටි අවස්ථාවලදී ඔහු තිමීරගේ ගෙවල් පැත්තේ පවා කරක් ගසන්නට පුරුදුව සිටියේය. ප්‍රියාන් තමාට බැල්ම හෙළන බව ඇය වරක් දෙවරක්ම තිමීරට කියා තිබුණාය. එහෙත් තිමීර ඒ ගැන එතරම් තැකීමක් කර තිබුණේ නැත.

මෑත දිනකදී තිමීරට සිය බිරිය කියන්නට වූයේ ප්‍රියාත් තමාට අයුතු යෝජනාවක් කරමින් කරදර කරන්නට සූදානම් වූ බවය. එවරත් ඒ ගැන තිමීර එතරම් සැලකිල්ලක් දැක්වූ බවක් නම් පෙනෙන්නට නොවීය.

අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හමුවේ නිවෙසේ තැන තැන ලේ පැල්ලම් කිහිපයක් ඇති බැවින් බිරියගේ අතුරුදන් වීම හා ඒ ගැන යම් සැකයක් ඇතැයි තිමීර කියා තිබුණේය. එම ලේ පැල්ලම් පවා ඔහුට හමුවී ඇත්තේ ශීතකරණයේ සහ නිවෙසේ තවත් ස්ථාන කිහිපයක ගෑවී තිබියදීය. ඒ තැන් පවා සෝදා පිරිසිදු කර ඇති බව පවා තිමීර පොලිස් නිලධාරීන් හමුවේ කීවේය. සිය බිරියට මස්සිනාගෙන් ආ බව කියන අයුතු යෝජනා ගැන මෙන්ම එදින සවස් කාලයේදී පවා මස්සිනා සිය නිවසේ රැඳී ඇති බව පවා තිමිර පොලිස් නිලධාරීන් හමුවේ කීවේය.

“එදා හවස මස්සිනා මට කොල් එකක් දාල ඇහුවා දැන්මම ගෙදර එනවද කියලා. මම කිව්වා ටිකක් රෑ වෙනවා, වැඩ ගොඩක් තියෙනවා කියලා. ඒ වෙලාවේ එයා කිව්වා වැඩක් භාරගත්තා, සිවිලිමක් ගහන්න. ඒ ගැන කතා කරගන්න ආවා කියලා“ සිය නිවෙසට පැමිණි මස්සිනා නිවෙසේ සිට තමාට ගත් දුරකතන ඇමතුම ගැන තිමීර පොලිස් නිලධාරීන් හමුවේ කීවේ එසේය. තිමීරගේ මස්සිනා එදා තමීරගේ නිවෙස පැත්තේ කරක් ගසන්නට මාතෘකාවක් සොයාගෙන තිබුණේ එසේය.

තිමීර විශ්වාස කරනට වූයේ සිය බිරිය සහ දියණිය අතුරුදන් වෙන්නේ මස්සිනාගේ එම පැමිණිමත් සමඟ බවය. ඔවුන්ට යම් අනතුරක් මස්සිනාගෙන් සිදුවී තිබේදැයි කියා සැකයක් ද තිමීරට ඒ වන විටත් ඇති වී තිබුණේය. ඒ යැයි කියා තිමීරගේ එම සැකය පොලිස් නිලධාරීන් හිස් මුදුනින් පිළිගත්තේ නැත.

මේ තත්ත්වය මත තිමිරගේ බිරිය වාසනා සහ බිලිඳියගේ අතුරුදන් වීම හුදෙක් සාමාන්‍ය අතුරුදන්වීමකට එහා ගිය සිදුවීමක් බව පෙනී යන්නට වූ නිසාම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා තීරණය කරනුයේ මෙම අතුරුදන්වීම ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමටය. ඊට පෙර ඔහු මේ ගැන සිය උසස් නිලධාරීන් වූ කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි. බී. ටී. සුගතපාල, කළුතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර දැනුවත් කරනු ලැබීය. ඒ අයගේ උපදෙස් ද ඇතිව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යොදවා විමර්ශනවලට ආරම්භයක් තබන්නේ 19 වෙනිදා උදෑසනය. එහිදී විශේෂ අවධානයක් යොමු කරනුයේ නිවෙසේ තැන තැන විසිරී තිබුණු ලේ පැල්ලම් කෙරෙහිය. පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පවා එහි ගෙන්වා එම ලේ පැල්ලම්වල සාම්පල් පවා ලබා ගනිමින් සියුම් විමර්ශනයක් සිදු කරන්ට වූයේ සැකකටයුතු හෝඩුවාවල් හා තොරතුරු විද්‍යාත්මක විමර්ශන සඳහා ලබා ගනිමිනි.

මේ අතර පොලිස් නිල සුනඛ අංශය ද කැඳවා පොලිස් නිල සුනඛ බෘනෝ යොදවා තවත් විමර්ශනයක් සිදු කරන්නට වූයේ තිමීරගේ බිරියගේ පාවහන් යුවළක ඉව බෘනෝට ලබා දෙමිනි. ඒ තුළින් සාර්ථක හෝඩුවාවක් නොවූවත් මස්සිනා ගැන වැඩියෙන් තොරතුරු සොයන්නට වූයේ වටේ පිටේ අයගෙන් ද තොරතුරු විමසමිනි. තිමීරගේ බිරිය හා දියණිය අතුරුදන් වූ දින සවස තිමීරගේ මස්සිනා ඒ පැත්තේ කරක් ගැසූ බව තවදුරටත් තහවුරු කර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබු‍ණේය.

මේ හැම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කළ අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන් තිමීර රැකියාවට ගිය වේලාවන් සහ නැවත පැමිණි වේලාවන් ගැන පවා තොරතුරු සොයා බැලුවේය. උදේ රැකියාවට නිවෙසින් පිටත්ව ගිය තිමීර නැවත රැකියාව කළ ස්ථානයෙන් පිටත්ව එන්නේ රෑ බෝ වීමත් සමඟ බව ඒ අය තහවුරු කර ගත්තේය. ඒ අනුව පැහැදිලි වූයේ මෙම අතුරුදන්වීමට බොහෝ විට වගකිය යුතු වන්නේ තිමීරගේ මස්සිනා බවය. ඒ යැයි කියා ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට තරම් ප්‍රබල සාක්ෂියක් පොලිස් නිලධාරීන් සතුව නොවීය. එබැවින් තවදුරටත් තිමීරගේ බිරිය හා දියණිය ගැන හැම පැත්තකින්ම සොයා බැලුවේය. අවසානයේදී තීරණය කරනු ලබන්නේ තිමීරගේ මස්සිනාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නටය.

ඒ සඳහා පොලිසියට ඔහුව කැඳවන්නේ පසුගිය 19 වෙනිදාය. පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගන්නේ එදා 18 වෙනිදා සවස තිමීරගේ නිවෙසට ඔහු ආවේ ඇයි දැයි කියාය. එහිදී ඇතිවූයේ කුමක්දැයි දීර්ඝ ලෙස පොලිස් නිලධාරීන් තිමීරගේ මස්සිනාගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර 21 වෙනිදා උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහය ඇතිව අඟුරුවාතොට පොලිසිය මෙහෙයුමක් දියත් කරනු ලබන්නේ තිමීරගේ බිරිය හා දියණිය සොයාය. ඒ පෙර දින රාත්‍රී කාලයේ ලද යම් තොරතුරකට අනුවය. මෙම මෙහෙයුම දියත්වන්නේ අඟුරුවාතොට පොලිස් වසමේ පිහිටි රත්මල්ගොඩ පිහිටි කැළෑබද ප්‍රදේශයක් ආශ්‍රිතවය. මේ තැන පිහිටියේ ඇය පදිංචිව සිටි නිවෙසේ සිට කිලෝමීටරයක් පමණ ඈතිනි. ඊට ගම්වැසියන්ගෙන් ද ලැබෙන්නේ ලොකු සහයෝගයකි.

මෙහිදී වැඩි කාලයක් ගත කරන්නට පොලිසියට ඉඩක් නොවීය. වන රොද පීරමින් සිටි පොලිස් නිලධාරීන්ට තිමීරගේ බිරියගේ සිරුර මුලින්ම හමුවන්නේ එම කැලෑ රොදේ තිබුණු වළක තිබියදීය. ඒ වන විටත් ඇගේ මළ සිරුර තිබුණේ කබරයන් විසින් කා දමාය. ඒ මුහුණ හා උදරය කොටසය. ඇගේ දියණියගේ සිරුර හමුවන්නේ ඇගේ සිරුර හමු වූ තැනේ සිට මීටර් 15ක් පමණ දුරකිනි. එම බිලිඳියගේ සිරුර ද කබරයන් විසින් හපා කා තිබුණේ හඳුනා ගැනීමට නොහැකි වන තරමටය. ඇගේ සිරුර තිබෙන්නේ ඇතිරිල්ලක ඔතාය. බැලූ බැල්මට පොලිස් නිලධාරීන්ට පෙනී ගියේ ඇඳ ඇතිරිල්ලේ ඇගේ සිරුර සමඟ බිලිඳාගේ සිරුර ද ඔතා මෙහි දමා ඇති බවය. බිලිඳාගේ සිරුර මඳක් ඈතින් තිබෙන්නේ එය කබරයන් ඇදගෙන ගොස් තිබුණු බැවිනි.

මේ අපරාධය සිදු කළේ කවුරුන්ද? ඒ ඇයි? යන්න ගැන සැකසහිත බොහෝ තොරතුරු ඒ වන විටත් අඟුරුවාතොට පොලිසියේ විමර්ශන නිලධාරීන් සතුව තිබුණේය. ඊට අනුව මෙම මරණ ඝාතනයක්ය. ඝාතනය කරනු ලබන්නේ ගෙල සිරකිරීමකින් හෝ එවැනි ක්‍රියාවක් මඟිනි. ඇයට පහරදීමක් ද සිදු වී ඇත. මේ ලද තොරතුරු නිශ්චිත ලෙස තහවුරු වන්නේ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් මෙම මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුවය. මෙම ඝාතන සිදු වී ඇත්තේ කෙසේදැයි එහිදී පැහැදිලිවම හෙළිවනු ඇත. එහිදී ඇයට යම් අතවරයක් සිදුව තිබේ ද? නැතිද? යන්න පිළිබඳව ද පැහැදිලිවම කරුණු අනාවරණය වනු ඇත.

මෙසේ අතුරුදන්වූ බිරිඳගේත් දියණියගේත් සිරුරු පොලිසිය විසින් සොයා ගන්නා විට තිමීරගේ මස්සිනා ද අතුරුදන් විය. පොලිසිය පවසන්නේ 19 වෙනිදා ඔහුගෙන් ප්‍රශ්න කර මුදා හැරිය බවය. අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බව ද පොලිසිය පැත්තෙන් කියැවෙන කරුණකි. පොලිසිය කියන හැටියට ඔහු අතුරුදන් වන්නේ මළ සිරුරු දෙක හමුවීමත් සමඟිනි.

ඡායාරූප - බණ්ඩාරගම බිමල් ජයසිංහ / හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

Comments