වැඩිවෙන ජනගහනය මතුකරන අර්බුද | Page 2 | සිළුමිණ

වැඩිවෙන ජනගහනය මතුකරන අර්බුද

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ  සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා

 

වන විට ලෝක ජනගහනය බිලියන 8කි. සෑම වසරකදීම ජූලි 11 වැනිදා ලෝක ජනගහන දිනය සැමරෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජනගහනයේ වර්තමාන සහ අනාගත වර්ධනය, එම වර්ධනය සමඟ ලෝකයට මුහුණ පෑමට සිදු වන විවිධ ගැටලු අභියෝග සහ අවස්ථා පිළිබඳ සෑම රටකම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කරවයි.

 

2011දී ලෝක ජනගහනය බිලියන 7ක් විය. සමස්තයක් ලෙස ලෝක ජනගහනයේ වර්ධනය ක්‍රි.ව 1 සිය ක්‍රි.ව 1650 දක්වා වර්ධනය ඉතා සෙමින් සිදුවී ඇති අතර, ක්‍රි.ව 1650න් පසු ජනගහන වර්ධනය තරමක් ශීඝ්‍රයෙන් සිදු විය. එක්සත් ජාතීන්ගේ පුරෝකතන අනුව 2030දී එය බිලියන 8.6ක්, 2050දී බිලියන 9.8කට ආසන්න වනු ඇත.

මේ අනුව මෑත අතීතයේදී ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. මෑත කාලයේ ලෝක ජනගහනයට ප්‍රබලම දායකත්වය දක්වන රටවල් දෙකක් ලෙස ඉන්දියාව සහ චීනය හැඳින්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි.

2023 දී ඉන්දියාවේ සහ චීනයේ ජනගහනය සම අගයක් ගත්ත ද 2023 අප්‍රේල් වන විට චීනයේ ජනගහනය මිලියන 1,400ක් වූ අතර ඉන්දියාවේ ජනගහනය මිලියන 1,430කි. ප්‍රක්ෂේපන තොරතුරු අනුව 2050 වන විට ඉන්දියාවේ ජනගහනය මිලියන 1,600ක් පමණ විය හැකි බවත් ඒ වන විට චීනයේ ජනගහනය තවත් අඩුවී මිලියන 1,200ක් පමණ විය හැකි බවත් පැවසේ.

චීනය පරදමින් ඉන්දියාවේ ජනගහනය වැඩි වීමට ප්‍රධාන හේතුව සඵලතාව වේ. එහිදී චීනයේ හා ඉන්දියාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනස්කම් පවතියි. චීනය 1970 දශකයේදී එක පවුලකට එක දරුවෙක් යන ප්‍රතිපත්තිය පැන වූ අතර, දැඩිව එය ක්‍රියාත්මක කළේය. එහෙත් ඉන්දියාව එවැනි තදබල උපත් පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකළ අතර, වර්තමානයේදී ඉන්දීය කාන්තාවක් දරුවන් දෙදෙනකු පමණ බිහි කරයි. එම ප්‍රධාන හේතුව සහ තවත් හේතු කිහිපයක් නිසා මේ රටවල් දෙකේ ජනගහනයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. මේ වන විට ලෝක ජනගහනයෙන් සියයට 18ක් ඉන්දියාවේත් තවත් සියයට 17ක් චීනයේත් වන අතර, ලොව සමස්ත ජනගහනයෙන් සියයට 35ක් මෙම රටවල් දෙකේ වාසය කරයි.

ජනගහනය වැඩි වීමත් සමඟ ලොව පුරා හැම රටකම පාහේ විවිධ සමාජ, ආර්ථික, පාරිසරික ගැටලු ඇතිවෙමින් තිබෙන අතර, 2019-2022 දක්වා පැවති කොවිඩ් වංසගතයත් සමඟ අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු ද මතුවෙමින් ඇත. ලෝක උෂ්ණත්වය ඉහළ යෑම, මුහුදු මට්ටම ඉහළ යෑම, වනාන්තර විනාශ වීම, පානීය ජලය හිඟ වීම සහ වාතය අපිරිසුදු වීම ආදී පාරිසරික ගැටලු මෙන්ම විවිධ සමාජ කොටස්වල පුද්ගලයන් අතර, රාජ්‍ය අතර විවිධ ගැටුම් ද සිදු වෙමින් පවතියි. විශේෂයෙන් ලෝකයේ ජනගහන වර්ධනය වන ස්වාභාවය අනුව ලොව බොහෝ රටවලට තිරසර සංවර්ධනය අභියෝගාත්මක කටයුත්තක් බවට පත්වී ඇත. එවැනි පසුබිමක් තුළ ජනගහන වර්ධනය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මොනවාදැයි අප මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වාගෙන් විමසීමක් කළෙමු.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සංගනනය 1871දී පවත්වද්දී ජනගහනය මිලියන 2.4ක් වූ අතර ප්‍රක්ෂේපිත තොරතුරු අනුව 2023දී ලංකාවේ ජනගහනය මිලියන 22.4ක් පමණ වේ. ලංකාවේ ජනගහන වර්ධනයට හේතු ලෙස මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසන්නේ සඵලතාව සහ ආයු අපේක්ෂාව වැඩි වීමයි. 1950-60 දශකයේදී මෙරට කාන්තාවක දරුවන් පස්දෙනකු පමණ බිහිකළ අතර, 1990 ගණන්වලදී එය දෙක දක්වා අඩු විය. 2012 වසරේදී කාන්තාවක් දරුවන් 2-3 අතර සංඛ්‍යාවක් බිහි කළ අතර, 2000-2014 දක්වා සඵලතාවයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී ඇති වීම මෙරට ජනසංඛ්‍යාවේ අනාගත වර්ධනයට ප්‍රබල හේතුවක් විය.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව එනම්, උපතේ සිට කොපමණ කාලයක් ජීවත් වෙනවා ද යන්න 1960දී ස්ත්‍රී , පුරුෂ දෙකොටසටම වයස අවුරුදු 63ක් වුවත් ක්‍රමිකව එය ඉහළ ගියේය. 2022 පුරෝකතන දත්ත අනුව පිරිමින්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 76ක්, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80.4ක් ලෙසත් ඉහළ ගොස් ඇත. ආයු අපේක්ෂාව ඉහළ යෑම ජන සංඛ්‍යාවේ ප්‍රමාණයට සහ සංයුතියට බලපාන බව ද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වාගේ අදහසයි.

"සඵලතාව අඩු වීම සහ ආයු අපේක්ෂාව වැඩි වීමත් සමඟ අපේ රට මුහුණ දෙන ප්‍රබල ගැටලුව වියපත් ජනගහනය වැඩි වීමයි. 1981දී අපේ ජනගහනයෙන් සියයට 7ක් වූ අපේ වියපත් ජනගහනය 2012දී සියයට 12.4 දක්වා ඉහළ ගියා. 2022දී වයස 60ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 3.6ක් පමණ වනවා. පුරෝකතන අනුව තවත් වසර 9කින් පමණ වියපත් වූවන්ගේ සංඛ්‍යාව සමස්ත ජනසංඛ්‍යාවෙන් හතරෙන් එකකට ආසන්න විය හැකියි. මෙය බරපතළ සමාජ, ආර්ථික ගැටලු මතුකරන කරුණක්. ළමුන් සහ තරුණ ජනගහනය සම්බන්ධයෙන්ද අපේ රටට ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදු වන බව පෙනී යනවා.

2015දී රටේ සඵලතාව පහළ බැසීමත් සමඟ ළමා ජනගහනය, එනම් වයස අවුරුදු 15ට අඩු ජනගහනය පහළ බැසීමක් වාර්තා වෙනවා. එහෙත් ළමා ජනගහනය අඩු වුණාට වයස 15-29 තරුණ කණ්ඩායමේ ක්‍රමික වර්ධනයක් වාර්තා වෙනවා. 2012දී තරුණ ජනගහනය මිලියන 4.7ක්, 2022 මිලියන 4.9ක් සහ 2032දී මිලියන 5.1ක් බවට පුරෝකතනය කර තිබෙනවා."

මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසන්නේ තරුණ ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් පුළුල් වීමත් සමඟ අර්බුද ගණනාවක් මතුවෙමින් තිබෙන බවයි. ඊට අමතරව ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂික (Demographic Dividend) ඉඩ ප්‍රස්ථා කවුළුව එනම්, රටේ ජනගහනය තුළ වැඩ කළ හැකි විශාල ජන ප්‍රතිශතයක් සිටි කාලය පිළිබඳ ද මහාචාර්යවරයා වැදගත් කරුණු කිහිපයක් හෙළි කළේය.

" ඕනෑම රටකට එවැනි ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂික ඉඩ ප්‍රස්ථා කවුළුවක් විවෘත වෙනවා. මගේ අදහස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට ලැබී තිබූ එම ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂික කවුළුව දැන් අවසන් වෙලා. ඒ කියන්නේ රටේ ජනගහනය තුළ වැඩ කළ හැකි විශාලම ජන ප්‍රතිශතය හිටියෙ, ඒ පාරිතෝෂික ඉඩ ප්‍රස්ථා කවුළුව ආරම්භ වුණේ 1991දී. මගේ ගණනය කිරීම් අනුව 2019 වන විට ඒ කවුළුව වැසී ගියා. එක්සත් ජාතීන්ගේ තවත් නිර්දේශයකට අනුව මේ අවස්ථා කවුළුව 2034 පමණ තෙක් විවෘතව තිබිය හැකියි.

නමුත් අපි සිටින්නේ එහි අවසන් භාගයේ. ඕනෑම දේක අවසන් භාගය එතරම් සක්‍රිය නැති නිසා සංවර්ධනය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට මේ වන විට ඉතා අසීරු වී තිබෙනවා. එසේ මෙම අවස්ථා කවුළුව සුළු වශයෙන් හෝ ප්‍රයෝජනයට ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සාර්ථකව සම්පාදන කළ යුතු අංශ ගණනාවක් තිබෙනවා. ඒ සඳහා හොඳ විද්‍යාත්මක පසුබිමක් තුළින් අවස්ථා කවුළුව පාවිච්චි කළ යුතුයි.

රටේ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම, යහපත් විදේශ සබඳතා වර්ධනය කරගැනීම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉතිරුම් වැඩි කර ගැනීම, යහපත් දේශීය සහ විදේශීය ආයෝජන අවස්ථා අත්පත් කර ගැනීම, ශ්‍රම හමුදාවේ ඵලදායීත්වය වැඩිකර ගැනීම ආදිය මෙන්ම දැනුම මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කැපවීම සහ උනන්දුව තිබෙනවා නම් අපිට ඉතිරි වෙලා ඇති අවස්ථා කවුළුව (last stage) තුළින් රට සංවර්ධනය කරා මෙහෙය වීමට උත්සාහ දැරීමට ඉඩ ප්‍රස්ථා තිබෙනවා. ඒ පිළිබඳ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවීම කාලෝචිත අවශ්‍යතාවක් බව අවධාරණය කළ යුතුයි. එසේ නොවුණහොත් ප්‍රජා විද්‍යාත්මකව ව්‍යවසනයට ගමන් කිරීමට ඉඩ කඩ ඇත.

 

lසුරේකා නිල්මිණි ඉලංකෝන්

Comments