වාද්දූවේ තල්පිටිය දළදා පෙරහැරට පණදෙන අරුම පුදුම තොරන් රාජයෝ දුටුවෙමි | Page 3 | සිළුමිණ

වාද්දූවේ තල්පිටිය දළදා පෙරහැරට පණදෙන අරුම පුදුම තොරන් රාජයෝ දුටුවෙමි

ගාලුපාරේ බෙර තොරණ

වාද්දුවේ උන්දලා දළදාව වඳින්න නුවර ගියා වගේ' යයි සාමාන්‍ය ජනවහරේ කියමනක් ඇත. එහි සරල අර්ථය වන්නේ දළදා වහන්සේ කිරිඇල්ලෙන් හැරී යන දෙල්ගමුව විහාරයට වැඩමවන තෙක් රහසිගතව වැඩ හිඳුවන ලද්දේ වාද්දුව ප්‍රදේශයේ පින් බිමක නිසාය. ඒ පින් බිමේ පසුකලෙක විහාරයක් ගොඩනැඟුනි. ඒ දළදාවත්ත මහා විහාරයයි.

දළදාවත්ත මහා විහාරයේ ලිඛිත මෑත ඉතිහාසය වසර 200කට එහා දිව යන්නකි. මේ දළදා මහා විහාරයේ දළදා මහා පෙරහැර අනූවසරක් තිස්සේ පවත්වාගෙන යන පෙරහැරකි. පසුගියදාක අප මේ පින්බිමට පිවිසියේ එම දළදා පෙරහැර වෙනුවෙන් නිමවන ලද අපූරු තොරන් අටක් තිබෙන බව දැන ගැනීමෙන් පසුවය. 

අප මෙතෙක් කල් පන්සලක ඇති ඓතිහාසික තොරණක් ගැන අසා තිබුණේ අම්බලන්ගොඩ මහ පන්සලේ හෙවත් සුනන්දාරාමයේ ඝණ්ඨාර තොරණය. ප්‍රධාන වශයෙන්ම මෙම ඝණ්ඨාර තොරණ සුවිශේෂි නිර්මාණයක් වන්නේ එහි ප්‍රමාණය හේතුවෙනි. මහල් 4කින් යුත් මෙම ඝණ්ඨාර තොරණ උසින් අඩි 75කුත්, පළලින් අඩි 40 කිනුත් යුක්ත වේ. එහි සවිකර ඇති ඝණ්ඨාරය හොන්ඩර 5 ක බරකින් යුක්ත වේ. වාද්දුව දළදාවත්ත විහාරයට ලේක්හවුසියේ සිට ගාලුපාර ඔස්සේ යන විට අපේ මතකයේ තිබුණේ 1916 දී පමණ ගොඩනැඟූ දැවැන්ත තොරණය.

අපට දළදාවත්ත මහා විහාරයට ගාලු පාර දිගේ තල්පිටිය පාලම පසුකොට වාද්දුව පැත්තට යන විට ගාලුපාර හරහා ඉදිකොට තිබුණේ දැවැන්ත තොරණකි. එම තොරණ මුළුමනින්ම ගොඩනඟා තිබුණේ බෙර වර්ගවලින් වීම විශේෂත්වයකි.

අප දැක ඇති තොරන් සංස්කෘතිය තුළ මෙය විශේෂ තොරණකි. තොරණ මුදුනේ හරි මැද ඇත්තේ දන්ත ධාතුව වැඩමවන්නට ඇතු මත තබන කොතකි. සුපරික්ෂාකාරීව බැලූ විට පෙනී ගියේ එම කොත සෙමින් සෙමින් භ්‍රමණය වන බවකි. තොරණ මුදුනේ බෙර ගහන නැට්ටුවන් දෙදෙනෙකි. තොරණ පහළ දෙපස ද බෙර ගහන නැට්ටුවන් දෙදෙනෙකි. මේවා රූකඩ ලෙස සාදා ඇත. ඒත් එහි විශ්වකර්මය වන්නේ බෙර ගහන ඒ රූකඩ නැට්ටුවන්ගේ අත් බෙරගසන ලෙස යාන්ත්‍රිකව ක්‍රියාත්මක වීමය. මේ තොරනේ පහතරට යක් බෙරය, උඩරට මඟුල් බෙරය මෙන්ම රබන් ද නිර්මාණය කොට ඇත්තේ වියළි පොල්කොළවලින් වීම විශේෂත්වයකි. මෙම ප්‍රධාන තොරණ අඩි 50 ක පළලකින් යුතු අතර, එහි ෆේම් එක සාදා ඇත්තේ යකඩ බාර්වලිනි. මෙම ප්‍රධාන තෙරණ යටින් අඩි 25 උස ක්‍රේන් එකක් වුවද ගමන් කළ හැකිය.

දළදාවත්ත මහා විහාරය ආරම්භයේ ඇත්තේ ද දර්ශනීය ලෙස නිමවූ තොරණකි. එහෙත් එය ස්ථිර ලෙස කොන්ක්‍රීට් සහ සිමෙන්ති යොදා කැටයම් කරන ලද්දකි. 

දළදාවත්ත මහා විහාරයට ඇතුළුවීමට පෙර අපට පෙනී ගියේ බැතිමතුන් දළදා පෙරහරට කඩිගුලක් මෙන් ඇවිස්සී වැඩ කරන අයුරුය. එම විහාරය මෙරට වෙනත් විහාරස්ථාන ද ආදර්ශයට ගත යුත්තකි. එම පන්සල ඉතා පිරිසිදුව, පිළිවෙළට තිබූ බව නම් කිව යුතුය. ඊටත් වඩා ඇතැම් පන්සල්වල මෙන් එකකට එකක් හේත්තු කොට ගොඩනඟන ලද අක්‍රමවත් ධාතු මන්දිර, බුදු මැදුරු, දේවාල කිසිවක් එම පන්සලේ දැක ගන්නට තිබුණේ නැත. අප මුලින්ම ඇතුළු වූයේ දැවැන්ත ආවාස ගෙයටය. එය ඉතාම සැලසුම්සහගත ලෙස පෙළගස්වා තිබුණි. දළදාවත්ත විහාරයේ විහාරාධිපති හිමියන් වන්නේ තල්පිටියේ චන්ද්‍රරතන හිමියෝය.

"මම මේ පන්සලට වැඩම කරල වසර 43ක්. මේ දළදා පෙරහැර අනූවැනි වතාවට පවත්වන්නේ. හැත්තෑඑක කැරැල්ල අවස්ථාවෙයි 88 - 89 භීෂණ කාලේ පොඩි කඩා වැටීමක් ඇතිවුණා. එතකොට අපිට දවල් පෙරහැර කරන්න සිද්ධ වුණා. තල්වත්තේ ඉන්ද්‍රජෝති මගේ ගුරු හාමුදුරුවෝ නවසිය අසූ දෙකේදී විතර නායක මාව පෙරහැර කමිටුවේ සභාපති කළා. ඒ වෙනකම් ගිහියෝ තමයි ඒ තනතුරු දැරුවේ."

තල්පිටියේ හිමියන් කියන පරිදි මේ දළදා පෙරහැරට තොරන් හදන්නට පටන්ගෙන ඇත්තේ අවුරුදු 25කටත් පෙර සිටය. "පෙරහැර ආගමික උත්සවයක්. දායකයින් සමූහයක් ස්වේච්ඡාවෙන් ආගමික අරමුණකින් එතැනදී කටයුතු කරනවා. ඉස්සර මේ පෙරහැර වාඩියමංකඩට ගියා. ඒ කාලේ මිනිස්සු සත ගණන්වලින් ආධාර කරපු ලේඛන තාමත් තියෙනවා. ඒ කාලේ පෙරහැරට ගිහින් තියෙන්නේ රු. 460/=යි. සම්මාදන් සල්ලිවලින් රු. 40ක් ඉතුරු වුණා කියලත් සටහන්වල තියෙනවා." මෙවර අලි ඇතුන් විස්සක් පමණ සහභාගි වන මෙම පෙරහැරට 126 ක හේවිසි කණ්ඩායමක් සහ 130ක නැට්ටුවන් ද සහභාගි වන්නේ මෙම විහාරස්ථානයෙන්. ශිල්පීන් 2000ක් පමණ සහභාගි වන මෙම පෙරහරේ ගමේ නැටුම් කණ්ඩායම් සහභාගි වන්නේ ස්වේච්ඡාවෙනි.

දළදාවත්ත මහාවිහාරයේ ධර්මශාලාවට පිවිසෙන තැන තිබුණේ අමුතුම ආකාරයේ තොරණකි. එම තොරණ අලංකාරවත් වූයේ නැට්ට සහිත කොස් ගෙඩි, පුවක්වලු, තැඹිලිවලු, තල්ගෙඩි හා වැටකෙයියා ගෙඩිවලිනි.

විහාරස්ථානයෙන් එළියට පැමිණ විහාරස්ථානයට සමාන්තරව වූ මාර්ගය ආරම්භයේ තවත් දැවැන්ත තොරණකි. එම තොරණට මුළුමනින්ම යොදාගෙන තිබුණේ ගිංපොල්වලු සහ වැටකෙයියා ගෙඩිය.

"ඔය පාරේ දිගටම යන්න කොරෝනා ඉන්ජෙක්ෂන් කුප්පි තොරණක් තියෙනවා." 

අප ඊළඟට ගියේ එම 'කොරෝනා කුප්පි 'තොරණ සොයාය. එය අදහාගත නොහැකි ලෙස තනා තිබුණේ මුළුමනින්ම කොරෝනා එන්නත් ගෙනා කුප්පි ලක්ෂ එකහාමාරකට අධික ප්‍රමාණයකිනි. අප සිළුමිණෙන් ආ බව අසා තොරණේ එක් අයකු අප සමඟ කතාවට එක්වූයේ හදපිරි සතුටෙනි. "කොස්ටික් සෝඩා දාලා කුප්පිවල මුලින්ම ලේබල් අයින් කළා. මේ කුප්පි අලවන්නේ ඉබිෆික්ස් කියල ගම් එකකින්. ලීටරයක් රු. 12,000යි. දැනට ලීටර් 20කට වැඩිය ගිහින් තිබෙනවා. මල් හදල තියෙන්නේ රයිස් දැලෙන් පෙති හදල කොවිඩ් කුප්පි කටු අලවලා."

ඊටත් එහායින් තිබුණේ තවත් තොරණකි. එහි පාමුල සීගිරියේ සිංහපාද මනරම් ලෙස මූර්තියට නඟා ඇත්තේ ලනු ගෝනිවලිනි.

අපට ඊළඟට දැක ගැනීමට හැකි වූයේ අප යන විටත් ගොඩනඟමින් තිබුණු ගාලු පාරේ වාද්දුවේ ත්‍රිරෝද රියැදුරන්ගේ තොරණය. තවත් තොරණක් ගොඩනඟමින් සිටියේ ජිල්බෝල සහ ටීක්බෝලවලිනි. ඒ සඳහා කළුගල් හා තිර්වාන ගල් ද යොදාගනු දක්නට ලැබුණි. චන්ද්‍රරතන හිමියන් අපට පවසා සිටියේ අලි ඇතුන්, බෙර, හේවිසි, උඩැක්කි, පන්තේරු, ධජ පතාක පෙරහැරක ප්‍රධාන අංගයන් බවය.

"අලි ඇතුන් කඩෙන් ගන්න බෑ. දැන් බලන්න නුවර දළදා පෙරහැරේ අලි ඇත්තු බලන්න කොච්චර සංචාරකයෝ එනවද?"

චන්දරත්න හිමියන් පවසන්නේ 1960 දශකයේ කළුතර දිස්ත්‍රික්කයේ හීලෑ අලි 57ක් සිටි බවය. දළදාවත්ත මහා විහාරයේ දළදා මහා පෙරහැරට සමගාමීව ගොඩනඟා ඇති මේ තොරන් සංස්කෘතිය අපට අවසන් වශයෙන් පෙනී ගියේ වැළලී ගිය අපේ උරුමය යළි ඉස්මතු කොට ප්‍රායෝගිකව වත්මන් පරපුරටය හඳුන්වාදීමක් ලෙසය.

ඡායාරූප - සුදත් නිශාන්ත

Comments