
ඉතිහාසය වෙනස් කරන්නට, කවුරුත් නොකරන අපූරු අපූරු හැකියාවන් මවන්නට අපේ දරුවන්ට ඇත්තේ හසළ හැකියාවකි. අසීමිත උනන්දුවකි. සමහරු නව නිපැයුම් හරහා ගිනස් වාර්තාවලට හිමිකම් පාති. තවත් පිරිසක් ළදරු වියේදීම ගැඹුරු දාර්ශනික කරුණු හරහා අපූරු පුවත් මවන්නට දස්කම් දක්වති. බහ තෝරන වියේදී ග්‍රහ ලොවේ කවුරුත් නොදන්නා තතු කීවේද අපේ රටේ පුංචි පුතෙකි. පාසල් යන්නටත් පෙර ආවර්තිතා වගුව හෝ එසේත් නැතිනම් ලොව රටවල් එක හුස්මට කියාගෙන යන්නට අපූරු හැකියා ඇති දරුවන් අප රටේ ඕනෑ තරම්ය. පාසල් පෙළ පොතින් එහා ගිය දැනුම් සම්භාරය තමන් විසින්ම උකහා ගනිමින් ජාත්‍යන්තරය ඉහළින්ම තරණය කළ අපේ දරුවෝ ඕනෑ තරම්ය. සමහරක් පාසල් ජාතික විභාග කඩඉම පනින්නට පෙර තමන් විසින්ම විෂයමාලා ස්ව අධ්‍යයනය කරමින් අපූරු හැකියා මැව්වේ නිසි කලටත් පෙර සිය විභාග කඩඉම් ජය ගෙන පාසල් නිම කරන්නටත් පෙර සරසවි කඩඉම් ද ජය ගනිමිනි.
මේ අපේ ඉතිහාසය තවත් පැත්තකින් වෙනස් කරන්නට උරදුන් තවත් අපූරු හැකියා ඇති පුතෙකි. ඔහු බිහි වන්නේ මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වූ කොළඹ ආනන්දයෙනි. ඔහු රත්නායක මුදියාන්සේලාගේ මෙත්සර දිල්ෂාන්ය. මේ වන විට කොළඹ ආනන්ද විදුහලේ වාණිජ අංශයේ උසස් පෙළට මුහුණ දෙන දිරිමත් සිසුවෙකි. මෙත්සර සිය අපූරු හැකියාව බොහෝ දෙනෙකුගේ මානයට හසු නොවූ සිය අනාගත අභිලාෂ වෙනුවෙන් වූ ගමනකින් ආරම්භ කරන්නේ එතෙක් මෙතෙක් වරලත් ගණකාධිකරණ ඉතිහාසයටත් නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමිනි. වරලත් ගණකාධිකරණ ඉතිහාසය ප්‍රථම වතාවට වෙනස් කරමින් මෙත්සර දිල්ෂාන් උසස් පෙළ විභාගය නිම කිරීමටත් පෙර වරලත් ගණකාධිකරණයේ කළමනාකරණ ගිණුම්කරණ විෂයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වූයේ පසුගියදාය. ඒ ලංකාවේ පළමු වතාවට එවන් සමත්කමක් දැක්වූවකු වශයෙන් ඉතිහාසගත වෙමිනි.
සාමාන්‍යයෙන් වරලත් ගණකාධිකරණ ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට මෙය අතිශයින්ම බැරෑරුම් අභියෝගයකි. එතෙක් උසස්පෙළට හෝ මුහුණ නොදුන් මෙත්සරට එය මහ මෙරක් වැනි වූ අභියෝගයකි. උසස් පෙළ වාණිජ විද්‍යා විෂය ධාරාවන්ටත් මුහුණ නොදී තම ස්ව උත්සාහයෙන් මාර්ගගත ඉගෙනුම් ක්‍රම හරහා මේ කඩඉම ජය ගන්නට යමකුට හැකියාව තිබේ නම් එය අසමසම හැකියාවකි. කොළඹ ආනන්ද විදුහලේ මෙත්සර දිල්ෂාන් මේ අභියෝගය ජය ගන්නේ ඒ අභියෝගයට අභියෝග කරමිනි. එපමණක් නොව ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ දැනුම් පවා පරදවමින් වරලත් ගණකාධිකරණයේ කළමනාකරණ ගිණුම්කරණ විෂයයේ දිවයිනේ ප්‍රථමයා වූයේ ඉතිහාසය ද මොහොතකට වෙනස් කරමිනි.
“ දරුවකුට මෙවැනි හැකියාවක් පෙන්වීමට හසළ දැනුමක් තිබිය යුතු බව අපි විශ්වාස කරනවා. මේ දරුවා AAT විභාගයට මුහුණ දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ. එය වෙනස්ම වූ කෙනකුට නොපිහිටන දක්ෂතාවක්. ඒ සඳහා ඔහුට දරා ගැනීමේ හැකියාව මෙන්ම තමන් ගැනම වූ විශ්වාසය තිබිය යුතුයි. ඒ වගේම මේ දරුවා කොළඹ ආනන්දයට ඇතුළු වන්නේ උසස් පෙළ හදාරන්න. නමුත් උසස්පෙළ මීට ආදළ විෂය කොටස් කිසිවක් තවමත් උගන්වා නැති අවස්ථාවක වරලත් ගණකාධිකරණයේ කළමනාකරණ ගිණුම්කරණ විෂය සමත්වීම පමණක් නොව එහි දිවයිනෙන්ම ප්‍රථමයා වීම අසහාය දක්ෂතාවක්.“ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්යවරු පවසන්නේ මෙත්සරගේ මේ අපූරු දක්ෂතාවට අර්ථකථනයක් එක් කරමිනි.
මෙත්සර දිල්ෂාන් උපන්නේ 2004 වසරේ ඔක්තෝබර් 7 වැනිදාය. හෝකන්දර නැගෙනහිර පස්වැනි පටුමගේ පදිංචි මෙත්සරගේ මව වන කේ. ඒ නිලූකාටත්, පියා වන ආර්.එම්.එල්.ඩී. එස්. කුමාරටත් සිටින්නේ මෙත්සර හා සිය නැඟණිය වන සෙතුකි දම්සරාය. මෙත්සර ප්‍රාථමිකයට ඇතුළත් වූයේ කොට්ටාව උතුර ධර්මපාලයටය. නැඟණිය සෙතුකි කොළඹ ශාන්ත පාවුළු බාලිකාවේය. මෙත්සර ශිෂ්‍යත්ව විභාගයටත්, සාමාන්‍ය පෙළ විභාගයටත් මුහුණ දුන්නේ කොට්ටාව උතුර ධර්මපාල විදුහලෙනි. ශිෂ්‍යත්වයෙන් ලකුණු 140ක් ගෙන තිබුණ ද ඔහුට හොඳ පාසලකට යාමේ අවස්ථාව අහිමි විය. එහෙත් ඔහුගේ එකම අරමුණ වූයේ කෙදිනක හෝ කොළඹ ආනන්ද විදුහලට පරිපූර්ණ සිසුවකු ලෙස ඇතුළත් වීමය. ඒ අදිටනින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මෙත්සර ඒ සාමර්ථය 8ක් හා බී සාමර්ථය 1ක් ලබා ගනිමින් කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේය. සාමාන්‍ය පෙළ ජයග්‍රහණය හා ඒ සමඟ පැමිණ කොවිඩ් වසංගතය මෙත්සරගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් කරන්නට විය.
“ කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වෙලා වාණිජ අංශයෙන් උසස් පෙළ විෂය හදාරන්න මට ඕන වුණා. මේ නිසා මට හිතුණා උසස් පෙළටත් පහසුවක් වන නිසා AAT හදාරන්න. AAT හදාරන්න ගත්තේ කොළඹ ආනන්දයට යාමටත් පෙර සිටයි. මේ සඳහා ආදී ආනන්දියෙකු වූ හෂාන් වඩුගේ සර් මට ගොඩාක් උදවු කළා. උසස් පෙළට ආනන්දයට ඇතුළු වන විට මම ඔන්ලයින් හරහා මාස 6න් AAT ලෙවල් 1 ඉවර කළා. ප්‍රතිඵල ලෙස A සාමර්ථය 4ක් ගත්තා. AAT ලෙවල් 2/3 පටන් ගත්තේ උසස් පෙළ කරන අවදියේමයි. සියල්ලටම A සාමර්ථය 11 යි සාමර්ථය 1ක් ලැබුණා. මේක කරන අතර ආචාර්ය සඳරුවන් සර් ඇතුළු මගේ ගුරුවරු මට කිව්වා වරලත් ගණකාධිකරණ ලෙවල් 2 සම්පූර්ණ කරන්න කියා. නමුත් ඒ වන විට උසස් පෙළ කරමින් සිටින නිසා මේ කඩඉම ජයගන්න අමාරු වෙයි කියලා පොඩි සැකයකුත් මට ඇති වුණා. මාස 8 ක කාලයක් පමණයි මේ සියල්ලට තිබුණේ. මේ අතර මම ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය හා ගණකාධිකරණ විෂය උසස් පෙළට කරන්නත්, අමතර පන්ති කරන්නත් පටන් ගත්තා. ඒත් උසස් පෙළ අමතර පන්ති කළේ මාර්ගගත ක්‍රමයට. අදටත් එහෙමමයි. මේ නිසා අමතර දෙයක් සඳහා යම් කාලයක් මට ඉතුරුව තිබුණා. මේ අතර මම අමතර ඔන්ලයින් පන්ති ගිය සක්‍යා ආයතනයෙන් විභාගයක් කළා, අපේ දැනුම මැන ගැනීමට. ' Sakya advanced level preparatory examination නමින්. සිසුන් 3000ක් අතුරින් මම පළමුවැනියා වුණා. සක්‍යා අධිපති බණ්ඩාර දිසානායක ගුරුතුමාම මේ සහතිකය මට ලබා දෙද්දි හිතට ඇතිවුණේ පුදුමාකාර ආඩම්බරයක්. මේ ගමන යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට ඇති වුණා. එය මට ගමන ඉදිරි ගමනට ශක්තියක් වුණා. මේ අතර මුළු රාත්‍රියම රෑ ඇහැරීගෙන වරලත් ගණකාධිකරණ පාඨමාලාවේ පාඩම් වීඩියෝ ගෙන්වා ගෙන බැලුවා. මම මාස තුනෙන් කොහොම හරි විභාගයට සූදානම් වුණා.“ මෙත්සර මේ අසීරු අභියෝගට මුහුණ දුන්නේ ඒ ආකාරයෙනි.
සෑම මාසකටම වරක් වරලත් ගණකාධිකරණ ආයතනය මඟින් මෙවැනි විභාග පැවැත්වුවද ඒ කිසිදු අවස්ථාවක පාසල් සිසුවකු උසස් පෙළටත් පෙර විභාගය අවසන් කර ලංකාවේ පළමුවැනියා වී නැත. එසේ සමත්වීම ද විශාල අභියෝගයකි. පාසල් වැඩ ද අතපසු නොකර සමත් වීම අසහාය දක්ෂතාවකි. මෙත්සර සමඟ මේ අසීරු අභියෝගයට ඔහුගේ මිතුරකු වන තවත් ආනන්දියකු වූ අශේර දිලිප් ද එක්විය.
“ මට අවශ්‍ය වුණා උසස් පෙළ හොඳින්ම සමත් වෙලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගණකාධිකරණය හොඳින්ම හදාරන්න. ඊට පෙර මේ විභාග උසස් පෙළ සමත්වීමට පෙර සිට සමත්වීම කර ගැනීමට අවශ්‍ය වුණා. මෙය මට විශාල වෘත්තීය සුදුසුකමක් මෙන්ම කාලය ඉතිරි කර ගැනීමක්. ගොඩාක් දෙනෙක් කිව්වා ඔයාට මේ දේ කරන්න අමාරුයි කියලා. ඒ වුණත් දැඩි අධිෂ්ඨානයෙන් සිටි නිසා මම පාසල් වැඩත් මේ වරලත් ගණකාධිකරණ පාඨමාලාවේ කටයුතු කළේ කාලය බෙදාගෙන. රෑ නිදි මරාගෙන පාඩම් කරනවා. පාඨමාලාවේ වීඩියෝ සියල්ල ගෙන්වා ගෙන එකවර බලනවා. ගොඩාක් විභාග ඔන්ලයින් කරලා අවසන් විභාග හෞතිකව මුහුණ දුන්නා. මගේ යාළුවෙක් වන අශේර දිලිප් ද මේ විභාගය කළා. එයත් සමත්. නමුත් ලංකාවේ පළමුවැනියා වෙන්න මට හැකිවුණා“ මෙත්සර මේ හැකියාවන් දක්වන්නේ පාසල් වැඩ ද අකුරට ඉටු කරමිනි.
ආනන්දු විදුහලේ වාණිජ අංශයේ ඉහළම දස්කම් දක්වන්නටද පන්ති සාමාර්ථ්‍ය දක්වන්නට ද මෙත්සර සමත්ව ඇත. ඔහු බෞද්ධ සංගමයේ, ලියෝ සංගමයේ සහ වාණිජ සංගමයේ සාමාජිකයෙකි. ඔහු ඒ සියල්ලටම සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇත්තේය.
“ මේ පුතා දක්ෂ දරුවෙක්. උසස් පෙළට තවමත් මුහුණ නොදී මෙවන් ජයග්‍රහණයක් ලැබීම පාසල විසින් නිසි ඇගැයීමකට ලක් කරන්න අපි සූදානම්. මේ දරුවා පාසල් වැඩටත් එකසේ දක්ෂයි. මේ දරුවා උසස් පෙළ ඉහළින්ම සමත් වන බව අපිට විශ්වාසයි. ඒ සඳහා ඔහුව ඉහළට ගැනීම අපේ පාසල විසින් සිදු කරනවා. මෙත්සරගේ මේ ජයග්‍රහණය අනිකුත් දරුවන්ටත් විශාල ශක්තියක්.“ ඒ ආනන්ද විදුහලේ වත්මන් විදුහල්පති ලාල් දිසානායකය.
වරලත් ගණකාධිකරණ විභාගයන්ට පෙනී සිටි මෙත්සර පාසල් පන්ති කාමරයේදීද පළමුවැනියා නැතිනම් දෙවැනියාය. මෙවර පාසල් වාර පරීක්ෂණයෙන් ඔහු ගණකාධිකරණ විෂයට ලකුණු 90ක්, ව්‍යාපාර අධ්‍යයනයට ලකුණු 90 ක් හා ආර්ථික විද්‍යාවට ලකුණු 80ක් ලබා ගෙන ඇත්තේ මේ මහා වෙහෙසකර ගමනේදී ය.
මෙත්සර හා සිය නැඟණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පියා අසීමිත කැප කිරීමක් සිදු කරන්නේය. කලින් හමුදාවේ රැකියාවක් කළ ද පසුව ආබාධමය තත්ත්වයක් නිසාවෙන් විශ්‍රාම ගිය ඔහු මේ වන විට ගෙවතු නිර්මාණකරණයේ නියැළෙමින් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් සොයන්නේය.
“ මේ දරුවගෙන් කිසිම කරදරයක් නැහැ. එයාට ඕන ගමන එයා යනවා. ඒ ගමනේදී පන්ති ගාස්තු කිසිම අඩුවක් නැතිව මම සොයා දෙනවා. කවදත් ලොකු දේවල් බලාපොරොත්තු වන දරුවෙක් නෙමෙයි. එයාගේ පාඩුවේ කාමරයට වෙලා පාඩම් කරලා එයාගේ ගමන යන දරුවෙක්......“ තාත්තා ආර්. එම්. එල්. ඩී. එස්. කුමාර පවසන්නේය.
මෙත්සරගේ ගමනට යෝධ ශක්තියක් ලබා දෙන්නේ ඔහුගේ මව කේ. ඒ. නිලූකාය. සිය දරුවාට මීට ආරම්භය සැපයීමට ඇයට තිබී ඇත්තේ විශාල උනන්දුවකි.
“ මමත් උසස් පෙළට කළේ වාණිජ විෂය ධාරාව. මගේ පන්තියේ මා ළඟ සිටි යාළුවා දිනපතා ගණකාධිකරණ විෂයයේ ගණන් කොටස් හොඳට හදනවා මම නිතරම අත්දකින දෙයක් වුණා. මම දවසක් එයාගෙන් ඇහුවා ඔයා කොහොමද මේ තරම් හොඳට ගණන් ගැටලු හදන්නේ කියලා. එතකොට එයා කිව්වා මම AAT කළා කියලා. එදා මම තේරුම් ගත්තා වරලත් ගණකාධිකරණය හැදැරුවොත් වාණිජ විෂය දහරාව පහසුවෙන් ග්‍රහණය කර ගන්න පුළුවන් වෙයි කියලා. මේ නිසා මම පුතාට කිව්වා සාමාන්‍ය පෙළ ඉවර වුණ ගමන්ම මේ සඳහා යොමු වෙන්න කියා. එයා රාත්‍රියට තේ කෝප්පයක් හෝ නොබීයි මේ ගමන ගියේ. මහත්තයාටත් තියෙන්නේ ස්ථීර ආදායමක් නෙමෙයි. කොන්ත්‍රාත් වැඩ නැති වුණොත් ගෙදර තියෙන වෑන් එක හයර් කරලා හරි පන්ති සල්ලි හොයලා දෙනවා. ඒ කොහොම හරි පුතාව මේ ගමන යවන්න. මට දැන් ඕන පුතාව කොහොම හරි වාණිජ අංශයෙන් ඉහළට යවන්න. පුතා ගොඩක් වෙහෙස මහන්සි වෙලා පාඩම් කරන දරුවකුත් නෙමෙයි. ගණිතය ගැටලු හදන්න හරිම ආසයි. පාසල් වැඩට හරිම උනන්දුයි “ඒ මෙත්සරගේ මවය.
මෙත්සරට මුලින්ම සිය ජයග්‍රහණය පවසා ඇත්තේ ඔහුට දිරි ගැන්වූ හෂාන් වඩුගේ ගුරුතුමාටය. එහෙත් මේ සියල්ලම පරයමින් මෙත්සර සිය කාලයෙන් වැඩි බරක් තබන්නේ ඔහුගේ පාසල් කටයුතු වෙනුවෙනි. දිනපතා පාසල් යන්නට මෙන්ම පාසල් වැඩ කිසිවක් අතපසු නොකර ඉදිරියට ගෙනියන්නට ඔහුට ඇවැසිය. ඒ කෙදිනක හෝ ගණකාධිකාරිවරයකු වීමේ ඔහුගේ අපේක්ෂාව මුදුන් පමුණුවන්නටය. පාසල ද බාහිර සමාජය ද ඔහුට දැඩි සේ ආදරය කරුණාව දක්වමින් අගය කරන්නේ ද හැකියාවන් වෙනුවෙනි.
මෙත්සරගේ සීයා ද වරලත් ගණකාධිකාරවයෙකි. ඩබ්ලිව්. සුනිල් පෙරේරා වන ඔහු ද මෙත්සර පිටුපස සිටි යෝධ සෙවණැල්ලකි. මුදල් අමාත්‍යාංශයේ නිලධාරිනියක වන මෙත්සරගේ මිත්තණිය වන ඩබ්ලිව්. එම්. මල්ලිකා පෙරේරා මේ ගමනේදි ඔහුට අත්වැලක් විය. කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක, වාණිජ අංශ ප්‍රධාන ගයාත් දාබරේ, පන්තිභාර ආචාරිනී සමරමාලි අකරවිට, පාසලේ ආචාර්යවරුන් වන අයේෂා ජයවර්ධන, සමන්ත කුසුම්සිරි, නිලූෂි අමරසේන, ජීවනී සරසිංහආරච්චි මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් වන හේමාල් පෙරේරා, ආචාර්ය සඳරුවන් පෙරේරා, සක්‍යා අධිපති බණ්ඩාර දිසානායක මෙන්ම වරලත් ගණකාධිකරණ විෂයට දායක වූ සමන් විතානගේ ගුරු බවතුන් ඔහු සිහිපත් කරන්නේ හද පිරි බැතියෙනි.
සේයාරු - දුෂ්මන්ත මායාදුන්න