එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද RRR නම් වූ ඉන්දියානු තෙලිඟු චිත්‍රපටය පසුගිය වසරේ ඉන්දියාවේ පමණක් නොව ලොව බොහෝ රටවල සිනමාලෝලීන් වසඟයට ගත් දැවැන්ත සිනමා නිර්මාණයක් විය. 2022 වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු සිනමාපටය ලෙස ද එය වාර්තාවක් පිහිටුවන්නට සමත් විය. මේ දිනවල RRR ට අදාළව අලුත්ම පුවතක් ඉන්දීය මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. එනම් මෙම අපූරු සිනමාපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට යන බවයි. මේ ගැන මෙයට සති කිහිපයකට කලින් ද යම් යම් ආරංචි පැතිරෙමින් තිබුණත් දැන් එය ස්ථිර වශයෙන්ම තහවුරු කර තිබේ.
දෙවැනි කොටස පිළිබඳව තහවුරු කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කර තිබූ RRR හි කතා රචක විජයේන්ද්‍ර ප්‍රසාද් සඳහන් කර තිබුණේ පළමු කොටසේ රඟ පෑ එන්.ටී. රාම රාඕ සහ රාම් චරන් යන දෙදෙනාම දෙවැනි කොටසේ ද ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇති බවය. නමුත් එහි කතා පුවත පළමු කොටසේ කතා පුවතට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි. විජයේන්ද්‍ර ප්‍රසාද් යනු RRR අධ්‍යක්ෂණය කළ රාජමෞලිගේ පියා ය.
RRR දෙවැනි කොටස වෙනුවෙන් ප්‍රබල කතාවක් නිර්මාණය කර ගැනීම සඳහා පසුගිය කාලයේ රාජමෞලි සහ ප්‍රසාද් ඇතුළු කණ්ඩායම දැඩි වෙහෙසක් ගෙන තිබිණි. මේ බව වරක් රාජමෞලි ද මාධ්‍ය සමඟ පවසා තිබුණේය. කෙසේ හෝ වේවා, දැඩි පරිශ්‍රමයකින් පසු ඉතා අපූරු කතා පුවතක් ගොඩ නඟා ගැනීමට හැකි වූ බව ඔහු පසුව සඳහන් කර තිබිණි.
RRR පළමු කොටසට ඇතුළත් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාව පාලනය කළ කාලය පසුබිම් කරගත් කතාවකි. ඉන්දියාවේ ගැමි පෙදෙසක ජීවත්වන ආදිවාසි ජන කොට්ඨාසයකට අයත් කුඩා දැරියක පැහැරගෙන ගොස් සිරකර ගෙන සිටින ක්‍රෑර බ්‍රිතාන්‍ය පාලකයකුට එරෙහිව සටන් කරන භීම් සහ රාජු නමැති වීරයන් දෙදෙනෙකුගේ වික්‍රමයන් ඊට ඇතුළත් විය. රාජුගේ පියා ලෙස අජේ දේව්ගන් ද, රාජුගේ පෙම්වතිය ලෙස ආලියා භාත් ද RRR හි චරිත නිරූපණය කළහ.
දෙවැනි කොටසේ රූපගත කිරීම් ආරම්භ කරන දිනයක් ගැන තවම නිශ්චිතව සඳහන් නොවේ. පළමු කොටස අධ්‍යක්ෂණය කළ රාජමෞලි මේ වනවිට වෙනත් සිනමාපටයක වැඩ කටයුතු නිසා කාර්ය බහුලව සිටියි. ඒ චිත්‍රපටය ජනප්‍රිය නළු මහේෂ් බාබු රඟපාන සිනමාපටයකි. ඊට අමතරව ඔහු ‘මහාභාරතය’ ඇසුරෙන් ද දැවැන්ත චිත්‍රපට මාලාවක් නිර්මාණය කිරීමට අදහස් කරගෙන සිටින බවක් ද පැවසේ. සමහර විට එය චිත්‍රපට 10කින් පමණ සමන්විත චිත්‍රපට මාලාවක් විය හැකි බවට ද කතාවක් තිබේ. මෙම කටයුතු නිසා රාජමෞලි RRR දෙවැනි කොටස අධ්‍යක්ෂණය නොකිරීමට ඉඩ ඇති බව ද ඔහුගේ පියා විජයේන්ද්‍ර ප්‍රසාද් ප්‍රකාශ කර තිබිණි. එසේ වුවහොත් රාජමෞලිගේ අධීක්ෂණය යටතේ වෙනත් අධ්යක්ෂවරයකු මෙම දෙවැනි කොටස අධ්‍යක්ෂණය කරනු ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. කෙසේ වුවත්, RRR දෙවැනි කොටසක් නිර්මාණය වන බවට පළවන වාර්තා එහි පළමු කොටස නැරඹූ ප්‍රේක්ෂකයන් තුළ මහත් උද්යා්ගයක් ජනිත කර ඇති අයුරු දැකිය හැකි වේ.
RRR ප්‍රදර්ශනය ආරම්භ කළේ 2022 මාර්තු මාසයේ යි. ලොව පුරා රටවල් රැසක අති සාර්ථක අයුරින් තිරගත වූ එය උපයා ඇති සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 1,300කට වැඩි ය. ඇතැම් වාර්තාවලට අනුව ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර එය තුන්වැනි ස්ථානය හිමි කරගෙන සිටියි. පළමු තැන සිටින්නේ ආමීර් ඛාන් රඟ පෑ ‘දන්ගල්’ චිත්‍රපටය යි. Baahubali 2: The Conclusion චිත්‍රපටය දෙවැනි තැන හිමි කරගෙන සිටින අතර එය ද රාජමෞලිගේම අධ්‍යක්ෂණයකි.
RRRහි ‘නාටු නාටු’ නමැති අපූරු ගීතය ද චිත්‍රපටයේ ජනප්‍රියත්වයට අතිශයින් දායක වූවක් ලෙස සැලකිය හැකිය. එම්. එම්. කීරවානි විසින් සංගීතවත් කරන ලද එය මේ වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම ගීතය ලෙස සම්මාන දිනාගන්නට ද සමත් විය. එය එම සම්මානය දිනාගත්තේ බටහිර සංගීත ලෝකයේ දැවැන්තයන් වන ලේඩි ගාගා, රියානා වැනි අයගේ ගීත ද පරදවමිනි. RRR තවත් ප්‍රධාන පෙෙළ් සම්මාන උලෙළ කිහිපයක දී ම සම්මාන සඳහා නිර්දේශ වූ අතර ඉන්දියානු සිනමාව වෙත විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා දීමට ඊට හැකි විය.