
හදිසි ධන යෝග ඇත්දැයි බලාගත හැකි කැඩපත කේන්දරයයි
තත්කාල කේන්දරේ 2 අධිපති සහ ලග්නාධිපති අතර පරිවර්තන යෝගයක් තිබීමද ධනවත් වීමේ ලක්ෂණයක්
අද සමාජයේ දුප්පත් පොහොසත් බව දකින හැම දෙසින්ම දක්නට ලැබේ. සමාජයේ ඉතා සුළු පිරිසක් සුපිරි ධනවතුන් වී සිටියදී තවත් අතිවිශාල පිරිසක් දුගී දුප්පත්කමින් මිරිකී සිටිති. මෙයට ප්‍රධානම හේතුව ගිය ආත්මයේ අප විසින් කරන ලද කුසල් අකුසල් බව අවිවාදයෙන් පිළිගත යුතුය. මේ දුප්පත් පොහොසත්කම අප උපතින්ම ගෙන එන දෙයකි. එය බලාගත හැකි ‘හොඳම හොඳ‘ කැඩපත අපේ කේන්දරයයි. ග්‍රහ බලයයි. මා මේ ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරන්නේ ඔබටම බලාගත හැකි පරිදි සුපිරි ධනයෝග කීපයක් පිළිබඳවයි.
1. අපේ කේන්දරයේ රාශි 12කි. ධනය ගැන පෙන්නුම් කරන්නේ 2 - 11 යන රාශියි. කේන්දරයේ දෙවැන්නාධිපති සහ එකොළොස්වැන්නාධිපති තම ස්ථාන මාරු කරගෙන සිටීම සුවිශේෂ ධන යෝගයකි. මේෂ ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ 2 අධිපති සිකුරුය. 11 අධිපති සෙනසුරුය. මේ ග්‍රහයන් දෙදෙනා 2 වැන්නේ සෙනසුරුත් 11 වැන්නේ සිකුරුත් සිටීම සුපිරි ධන යෝගයක් වේ. මේ අයට නොසිතු අයුරින් ලොතරැයි වාසනා හිමි වේ.
2. එපමණක් නොව මෙම ස්ථානාධිපතින් බලවත් ශුභ දෘෂ්ටි සහිතව සිටීමත් ධනවත් වීමේ ග්‍රහ පිහිටීමකි. තත්කාල කේන්දරයේ 2 අධිපති සහ ලග්නාධිපති අතර පරිවර්තන යෝගයක් තිබීම ද ධනවත් වීමේ ලක්ෂණයකි. හදිසි වාසනාව පෑදේ.
3. සඳු බලවත් වීම ද ධනවත් වීමට හේතු වේ. සඳු බලවත් වීම යනු සඳු ස්වක්ෂේත්‍රව කටක රාශියේ සිටීම හෝ සඳු උච්චව වෘෂභ රාශියේ සිටීමයි. එපමණක් නොව සඳු ශුභ සංයෝග ඇතුළු ශුභ දෘෂ්ටි ලබා සිටීමත් ධනවත් වීමට හේතු වේ. සඳු ශුභ සංයෝග යනු ගුරු / සිකුරු / බුධ සමඟ සිටීමයි. මෙසේ කේන්දරයේ තිබියදී ත්‍රිකෝණ ශුභ දෘෂ්ටියක් වැටේනම් සුපිරි ධන යෝගයකි. හදිසි ලොතරැයි වාසනාව තිබේ.
4. තක්කාල කේන්දරයේ රවි /රාහු/ /ගුරු බලවත් වැන්නේ සිටීම ද සූදුවෙන් ජය ලබන පිහිටීමකි. ලොතරැයි වාසනා හිමි වේ.
5. හදිසි වාසනාව ගෙන දෙන තවත් පිහිටීමක් නම් ලග්නාධිපති දෙවැන්නාධිපතින් ගුරු ග්‍රහයා සමඟ සංයෝගව තක්කාල කේන්දරයේ 2 වැන්නේ / ලග්නයේ / දසවැන්නේ / හතර වැන්නේ / 7 වැන්නේ / එකොළොස් වැන්නේ පිහිටීමයි.
6. රවි / සඳු දෙදෙනා යහපත් රාශිවල සහ භාවවල සිටිමින් ඔවුනොවුන්ගේ ත්‍රිකෝණ වීම ද ධනයට පමණක් නොව ගෞරව සම්මාන ලැබීමට හා හදිසි ලොතරැයි ගෙන දීමට හේතු වේ.
7. චන්ද්‍රයා ශුභ දෘෂ්ටියකින් හෝ සංයෝගයකින් හෝ යුක්තනම් එය ධනවත් වන ලක්ෂණයකි. එමෙන්ම සඳු දෙවැන්නේ වෘෂභ හෝ කටක රාශි වීමද ධනවත් වන ග්‍රහ පිහිටීමකි.
8. සියලුම සුබ ග්‍රහයින් කේන්දරයේ කේන්ද්‍රස්ථානවල (1-4-7-10) සිටීම ද යහපත් ධන සම්පත් ලැබෙන පිහිටීමකි.
9. සිකුරු වෘෂභ රාශිගතව සිටියදී උපන් අයට විෂ්ණු යෝගය යෙදේ. මේ යෝගය හතර කේන්දරයේ යෙදුණු විට විෂ්ණු යෝගයට අමතරව මාලවි යෝගය ද යෙදේ. මෙම යෝගය යෙදීම ධනවත් වීමේ ලක්ෂණයකි. හදිසි වාසනාව පෑදෙනවාට අමතරව සුවිසල් මන්දිර යානවාහන ද ලැබේ.
10. මෙම විෂ්ණු යෝගයට සඳු / ගුරු/ බුධ/ සිකුරු යන ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටුණහොත් එය සුපිරි ධන යෝගයක් බවට පත්වේ. නමුත් මෙයට අශුභ ග්‍රහ දෘෂ්ටි වැටුණහොත් ප්‍රතිඵල අඩු වේ.
11. කේන්දරයේ ලග්නයෙන් සඳුගෙන් 3-6-10-11යන රාශිවල ගුරු /කිවි/ බුධ බලවත්ව (එනම් උච්චව ස්වක්ෂ්ත්‍රව) සිටීනම් කේන්දර හිමියාට කොයි මොහොතක හෝ හදිසි ලොතරැයි වාසනාවක් ලැබෙනවාමයි. එය සිකුරුයි. මගේ ගමේ සිටි ඉතාම දුප්පත් අයෙකුට ග්‍රහ බලපෑම් හේතුවෙන් දැනට වසර 18 කට පෙර කෝටි හතරකට ආසන්න මුදලක් ලොතරැයි වාසනාවක් මඟින් ලැබිණි. මේ අය කිසි දිනක ලොතරැයි මිලදී ගන්නෙක් නොවේ. මගේ කීමට ගත් ලොතරැයි පත් දෙකකට මෙම වාසනාව හිමිවූ බවට පාඨකයාට දැන ගැනීම සඳහා පළ කරමි. මොහුගේ කේන්දර පරීක්ෂා කිරීමෙන් මේ අනාවැකිය ප්‍රකාශ කළ බව සඳහන් කරනු කැමැත්තෙමි.
ඉහත සඳහන් ග්‍රහ පිහිටීම වාසුමතී යෝගය වශයෙන් ජ්‍යොතිෂයේ සඳහන් වේ. මා විසින් මෙතෙක් විස්තර කරන ලද ආකාරයට ඔබගේ කේන්දරය සමඟ සසඳා බලා ඒ අනුව ක්‍රියා කරනු ඇතැයි මගේ විශ්වාසයයි.
ලොතරැයි දිනුම් ලැබෙන ග්‍රහචාර ගැන තවත් විශේෂ ලිපියක් ඉසිවර ලබන කලාපයේ
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ.ඩී.ආර්.පී. රාජකරුණා