මාත් එක්ක ගීතය ගායනා කරන්න කලින් වික්ටර් රත්නායක මගෙ කටහඬ පරීක්ෂා කළා | සිළුමිණ

මාත් එක්ක ගීතය ගායනා කරන්න කලින් වික්ටර් රත්නායක මගෙ කටහඬ පරීක්ෂා කළා

- ශාස්ත්‍රීය සංගීතය හදාරන්න පටන් ගත්තේ මට අවුරුදු හයේදී
- උතුරු අමෙරිකාවල විශාරද විභාගය සමත්වුණු ළාබාලතම ශ්‍රී ලාංකේය විශාරදවරිය මම

ඇය උපන් බිම කැනඩාවයි. මවුපිය උරුමයෙන් ලාංකේය සම්භවයකට හිමිකම් කියන ඇය අධ්‍යාපනයට මෙන්ම සංගීත විෂය කෙරෙහි ද විශේෂ දක්ෂතාවක් දක්වන්නීය. තවමත් 14 වැනි වියේ පසුවන ඔවිනි තිලකරත්න මේ වනවිටත් ලාංකේය සම්භවයේ ආඩම්බරය තම උපන් බිම වන කැනඩා වාර්තා පොතට එක්කර අවසන්ය. ඒ උතුරු අමෙරිකාවේ වෙසෙන ළාබාලතම ශ්‍රී ලාංකේය සංගීත විශාරදවරිය ලෙසයි. කැනඩාවේ ඉපිද, එහි අධ්‍යාපනය ලබන අතරේ සිංහල භාෂාව හා සිංහල ශාස්ත්‍රීය සංගීතය මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රගුණ කරමින් මෙවන් ජයක් අත්කර ගැනීම ද ලෙහෙසු පහසු කටයුත්තක් නොවේ. ඇය දැන් ඒ සුවිශේෂී කඩඉම පසුකර අවසන්ය. ඒ ගැන කතා කිරීමේ අදහසින් පසුගියදා ඇය අප හා එක්වුණා.

“මං ඉපදුණේ හැදුණෙ වැඩුණෙ කැනඩාවෙ. පුංචි කාලෙ සිටම සංගීතයට ගොඩක් ආසයි. අවුරුදු 6දී විතර ඉඳන් මං ශාස්ත්‍රීය සංගීතය හදාරන්න පටන් ගත්තේ. මගේ මුල්ම ගුරුවරිය වුණේ මායා දමයන්ති මහත්මිය. නිතර නිතර එතුමියට කැනඩාවට එන්න බැරි නිසා ඉගෙන ගන්න සිද්ධ වුණේ මාර්ගගත ක්‍රමයට. ඒක ටිකක් දුෂ්කරයි. ඒත් මං හරි කැමැත්තෙන් ඉගෙන ගත්තා. කුෂානි සඳරේඛා මිස් කැනඩාවට ආවම මට ඉගැන්නුවා. 

ඊට පස්සෙ ඒ කියන්නේ කොවිඩ් කාලෙ මං සමන්ත පෙරේරා මහත්මයාගෙන් වෝකල් මියුසික් ඉගෙන ගත්තා. විශාරදවලට පළවෙනි, දෙවැනි දෙකම සමත් වෙන්න ඕන. ගිය අවුරුද්දෙ මං විශාරද දෙවැනි විභාගයට මුහුණ දීල විශාරදවරියක් බවට පත්වුණා. ඒක මට විශේෂ අත්දැකීමක් වුණේ උතුරු අමෙරිකාවල විශාරද විභාගය සමත්වුණු ළාබාලතම ශ්‍රී ලාංකේය විශාරදවරිය මම වීම නිසා. උතුරු අමෙරිකාව කිවුවම කැනඩාව, අමෙරිකාව කොටස් දෙකම අයිතියි. මාර්ගගත විදිහට එහේ ඉඳන් ඉගෙනගෙන විභාගවලට මුහුණ දෙන්න මං ලංකාවට ආවා. ඒ ආපු වෙලාවලදී ගීත නිර්මාණ කිහිපයක් කළා. මේ වනවිට ගීත 5ක් කරලා තියෙනවා. පළවෙනි සින්දුව මායා දමයන්ති මහත්මිය එක්ක යුග ගීතයක් විදිහට කළේ. පද රචනය කළේ කැලුම් ශ්‍රීමාල් මහත්මයා. කසුන් කල්හාර මහත්මයා තමයි සංගීතය නිර්මාණය කළේ. ඒක කරලා දැනට අවුරුදු 3ක් වෙනවා.

දෙවැනි ගීතය විදිහට කළේ “මට ඉගිල්ළෙන්න“ කියන ගීතය. ඒකෙ පද රචනය වසන්ත කුමාර කොබවක මහත්මයගෙ. සංගීතවත් කළේ සමන්ත පෙරේරා මහත්මයා. අසංක රුවන් සාගර මහත්මයා රචනා කළ සමන්ත පෙරේරා මහත්මයාගේම සංගීතයෙන් නිර්මාණය වුණු “රන් තෙළඹුව” කියන ගීතය වගේම එතුමාම සංගීතවත් කර මාත් එක්ක ගායනා කළ “හිතක තරම” කියන ගීතයත් මං ලංකාවට ආපු වෙලාවක නිර්මාණය වුණු ගීත. පද රචනය කළේ ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මදුරංග විජේසේකර මහත්මයා. අන්තිමට එළිදැක් වූ ගීතය තමයි “සඳ යානයේ නැඟී” කියන ගීතය. ඒක සංගීතවත් කරමින් ගායනයෙන් එක්වුණේ ලසිත් ඉරන්ත මහත්මයා. පද රචනය කළේ චාමින්ද රත්නසූරිය මහත්මයා.

ගිය පාර නිවාඩුවට ආව වෙලාවෙ විශාරද වික්ටර් රත්නායක මහත්මයා එක්ක ගීතයක් කළා. ඒක පද රචනය කරල දුන්නේ රඹුකන සිද්ධාර්ථ හිමියන්. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. අපි එතුමට ආරාධනා කළා ගීතයක් කරන්න කියලා. වික්ටර් රත්නායකයන් මං වගේ පුංචි කෙනෙක් එක්ක ගීතයක් ගායනා කරන්න කැමැති වුණ එකම ලොකු සතුටක්. ගීතයක් කරන්න කලින් එතුමා මගේ කටහඬ පරීක්ෂා කරන්න ගීත කිහිපයක් ගායනා කරවලා බැලුවා. ගොඩක් හොඳයි කිවුවා. මේ වෙද්දි ඒ ගීතය කරලා ඉවරයි. ඒකෙ විෂුවල් එක කරලා රිලීස් කරන්න තමයි තියෙන්නේ. මේ පාර ආවෙ ඒකටත් එක්කමයි. තවත් අලුත් නිර්මාණයක් කරන්නත් සූදානමින් ඉන්නවා. මේ වෙද්දිත් ඒ ගීතයේ පද රචනය කරලා ඉවරයි. ඒක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ. මං කරපු හැම නිර්මාණයක්ම ක්ෂේත්‍රයේ හොඳම තලයේ ඉන්න ප්‍රවීණයන්ගේ ඒවා. ඒක මට ලොකු ගෞරවයක් වගේම සතුටක්.

මට පියානෝව, ගිටාර්, ඩ්‍රම්ස් වගේ සංගීත භාණ්ඩ වාදනයේත් හැකියාවක් තියෙනවා. මට ඕන ලංකාවෙ නම ලෝකෙට ගෙනියන්න. ඒ වෙනුවෙන් මං ඉදිරියේදී අමෙරිකන් රියැලිටි වැඩසටහනට අයැදුම් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ නර්තනය සහ ඩ්‍රාමාත් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ඒ රටවල අය ගොඩක් කැමැතියි උඩරට නැටුම්වලට. භරත නාට්‍යත් කරනවා. ළඟදීම අරංගේත්‍රම් එකක් කරන්න සූදානමින් ඉන්නේ. අධ්‍යාපන කටයුතු කරන ගමන් ඉඩ ලැබෙන විදිහට ඉදිරියේදි සංගීත් නිපුන් විභාගය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.“

ඡායා­රූප - ශාන් රූපස්සර

Comments