- හිතට අදහස ආව මං ලිව්වා ඊට එහා ඒක ගැන හිතුවෙ නෑ
- මුනින්ද්‍රයාණෙනි ගීතය ජනප්‍රිය වෙන්න බලාගෙන හදපු එකක් නෙවෙයි
- හතර පෝයට සිල් ගන්න ඇල්වතුරත් නිවල බොන කෙනෙකුත් නෙවෙයි මම
- මං මහා ගීත රචකයෙක්වත් සංගීතඥයෙක්වත් නෙවෙයි සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්
නිල් කටරොළු මලින් උපන් මුනින්ද්‍රයාණෙනි ගීතය මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු සමාජ මාධ්‍ය පවා කලඹන්නට සමත් වුණු ගීතයකි. එය බොහෝ දෙනාගේ මුවේ නිතර රැව්දෙන ගීතයක් බවටත් පත්වෙලා. මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වුණු හැමෝම කතාබහ කරන මුනින්ද්‍රයාණෙනි ගීතයේ සැබෑ හිමිකරුවා සොයා යන්නට සිතුණේත් ඒ නිසයි. කුමාර ඒකනායක යැයි නම කී පමණින් ඔබ මතකයට නාවත් ලතා ලතා, බොනව වැඩියි ඇතුළු ගීත රැසක් ගී ලොවට තිළිණ කළ එකල ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ ගායකයෙකි. මේ දිනවල ප්‍රේක්ෂක මනාපයේ ඉහළින්ම රැඳෙන ඔහු අද අපේ කතාබහට එක්කර ගත්තේ රටක් කලඹන මුනින්ද්‍රයාණෙනි ගීතය ගැන කතා කිරීමේ අදහසින්.
මුනින්ද්‍රයාණෙනි ගීතය මේ දිනවල සමාජ මාධ්‍ය කලඹන බොහෝ ප්‍රේක්ෂක මනාපය දිනූ ගීතයක් බවට පත්වෙලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මුලින් නම් ඍණාත්මක ප්‍රතිචාර තමයි ලැබුණේ. ඒත් මේ වෙද්දි නම් ධනාත්මක පැත්තට බර වෙලා. දෙපැත්තටම ප්‍රතිචාර ලැබෙනවා. මේකෙ පසුබිම දන්නෙ නැතුව ගොඩක් අය හිතුවෙ මේක කවුරුහරි විහිළුවට කියපු එකක් කියලා. දැන්නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මුනින්ද්‍රයාණෙනි ගීතය ඔබ ගායනා කරන්න විශේෂ හේතුවක් තිබුණ ද?
මං ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ. සැරින් සැරේ ලංකාවට එනවා යනවා. ගිය පාර ආපු වෙලාවෙ මං කුරුණෑගල ගිය ගමන් උමන්දාවටත් ගියා. වෙනදත් මුණගැහුණම ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රශ්න ගැන, හිත ගැන කතා කරනවා. ඒ වගේම මං හදන සින්දු ගැනත් කියනවා. එදාත් උන්වහන්සේ මයික් එක මගේ අතට දීල එහෙනම් ඔය හදපු සින්දුවක් දෙකක් කියන්නකො කියල කිව්වා. මං මුලින් කිව්වෙ බොහොම සීරියස් සින්දු දෙක තුනක්. එවෙලෙ උන්වහන්සේ වැඩ කරන විදිහ ඒ ක්‍රියාශීලිත්වය, තේජස දැකල මට මේ සින්දුවත් කියන්නම හිතුණා. ඊට පස්සෙ මං කිව්ව මට මේකත් කියන්නම ඕන කියලා. මම ගීතය ගයලා ආවා. ඉන් පස්සේ තමයි ගිනි ගත්තේ. මං හිතුවෙත් නෑ මේතරම් වයිරල් වේවි කියලා. එහෙම වුණා කියල ප්‍රශ්නෙකුත් නෑ. මේකෙන් මට ඕන පණිවුඩය මං යවනවා. මුනින්ද්‍රයාණෙනි ගීතය ජනප්‍රිය වෙන්න බලාගෙන හදපු එකක් නෙවෙයි. ගීතය අවුරුදු 10කට විතර කලින් නිර්මාණය වුණු එකක්. ඒත් මේක බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණේ පහුගිය දවස්වල.
මුනින්ද්‍රයාණෙනි ගීතයේ පද වැල ගැනත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. ඒ වගේම විවේචනත් තියෙනවා. ඇයි ඔබ ඒ වගේ පදවැලක් ලියන්න හිතුවේ?
මගේ හිතට අදහසක් ආවොත් මං ඒක සින්දුවකට ගළපනවා මිසක් වැඩිය හිතන්නෙ නෑ. මේක ලියවුණෙත් සමන්ත භද්‍ර හිමියන් ඔස්ට්‍රේලියාවට වැඩම කළ එක් අවස්ථාවක දේශනයකට සම්බන්ධ වෙලා ගිහින් රෑ ගෙදර ඉන්න වෙලාවක. එක පාරටම මගේ හිතට අදහස ආව. මං ලිව්වා. එච්චරයි. මං ඊට එහා ඒක ගැන හිතුවෙ නෑ.
නිල් කටරොළු මල සම්බන්ධ කරලා අර තරම් බර වචන දාලා පද ගළපන්න හිතුණේ ඇයි?
පහුගිය කාලෙ උන්වහන්සේ නිල් කටරොළු ගැන කියද්දි කවුරුත් මඩ ගහන්න පටන් ගත්තා. ඒකෙන් ස්වාමීන් වහන්සේ තවත් පිම්මක් පැන්න වගේ ඒකම සිම්බල් එකක් කරගෙන හැමදේටම යොදාගත්තා. ගිය අවුරුද්දෙ උන්වහන්සේ මෙල්බර්න් වැඩිය වෙලාවෙ මං ඇහුවා අර සින්දුවට නිල් කටරොළු මලින් උපන් මුනින්ද්‍රයාණෙනි කියල දාන්නද කියලා. ඔබතුමාට කැමැති විදිහක් කරන්න කිව්වා. ඒ නිසයි මං ඒක එකතු කළේ.
එක එක්කෙනා මේ ගීතයට විවිධාකාර විවේචන එල්ල කරද්දි ඔබට මොකද හිතෙන්නෙ?
මුලින්ම උමන්දාවෙ මං කියපු සින්දුව කවුරුහරි එඩිට් කරලා දාල තිබුණා. සමහර විට වචනවල තේරුම අරන් හැදුව හින්දද දන්නෙත් නැහැ පොඩි අවුට් යන ගතියක් තිබුණා. කලාකාරයෙක්, ගායකයෙක් විදිහට මට පොඩි ලැජ්ජාවක් ඇතිවුණා මුලින්ම. බණින ඒව ගැන නම් මං පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නෑ. දැන්නම් හොඳත් කියනවා. මට මේ දෙකම එකයි. මගේ හිත දැන් ගිනි ගන්නෑ. අනිත් එක මං මේ හතර පෝයට සිල් ගන්න, ඇල් වතුරත් නිවල බොන කෙනෙකුත් නෙවෙයි. මාත් කන බොන මනුස්සයෙක්. මං මේකෙන් පණිවුඩයක් යැව්වා. ඒකෙන් මගේ හිතේ නිදහස වැඩි වේගෙන යනවා. ගිනි ගන්නෑ.
ඇයි ඔබ මේ වගේ ගීතයක් නිර්මාණය කළේ. බොහෝදෙනා නොදන්න ඒ කතාවත් කියමු?
මං ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ. මීට අවුරුදු 10කට විතර කලින් රස්සාවයි, බිස්නසුයි එක්ක කාර්යබහුල වෙලා ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක අපි හොඳින්ම දන්න කිහිප දෙනෙක් නැති වුණා. සමහරු ඩිප්රෙෂන් නිසා සියදිවි හානි කරගෙන. සමහරු මත්පැන් නිසා. උදේ හවස බුදුන් වඳින, පිරිත් අහන මිනිස්සු මේ වගේ දේවල් කරද්දි මට හිතුණා ධර්මය තුළ මීට වඩා දෙයක් තියෙනව කියලා. ඒක හොයන්න ගත්තම අහම්බෙන් වගේ සමන්ත භද්‍ර හිමියන්ගේ දේශනයක් අහන්න ලැබුණා. ඒකෙන් මගේ හිත නිවුණා. හරියට හොයන් ගිය දෙයක් ලැබුණා වගේ, හිතේ තිබුණ ලොකු බරක් බිමින් තිබ්බ වගේ සැහැල්ලු ගතියක් දැනුණා. ඔය අතරේ ස්වාමීන් වහන්සේ මෙල්බර්න්වලට වැඩියා. උන්වහන්සේගේ හැසිරීමේ ලොකු වෙනසක් දැක්කා. එඩිතරකම, ක්රියාශීලිකම, විඩාවක් පේන්නවත් නෑ. මං පැහැදුණා. ඒ කාලේ උන්වහන්සේ මේ තරම් ව්‍යාපෘති කරල තිබුණෙත් නෑ. ජනප්‍රියත් නෑ. දවසක් දේශනයක් අවසන් වෙලා ගිහින් තමයි මේ ගීතය ලියවුණේ. එහෙම නැතුව බලෙන් වචන ඔබ්බල හදපු ගීතයක් නෙවෙයි. ජීවමානව ඉන්න කෙනෙක් මගේ හිතේ ගින්න නිව්ව නම් අනිත් දේවල් මට අදාළ නෑ. අද මාව කිසිදේකින් දුකට පත්කරන්න බැහැ.
දැන් මේක ට්‍රෙන්ඩින් වෙලා නිසා ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන්ම ඔබ මේ වගේ ගීතයක් කිව්ව කියල හිතන අයත් ඇති?
ට්‍රෙන්ඩින් ගැන නම් මං මෙලෝ දෙයක් දන්නෙ නෑ. සමහර දන්නෙ නැති අය පවා මට කෝල් කරලා මේක හොඳයි කියනවා. මං මානසිකව වැටිල කියල හිතාගෙන කතා කරන අයත් ඉන්නවා. ජනප්‍රියත්වය කියන එක අද ඊයෙක ලැබුණ දේකුත් නෙවෙයි. හෙට බිංදුවටම වැටෙන්නත් පුළුවන්. මේ ජීවිතේ අටලෝ දහමට කම්පා වෙන්නැති හිතක් හදාගත්තම හරි සනීපයි. හැමදාම ගිනි ගන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන්.