
මේ වන විට මෙරට ආර්ථික පරිසරය ක්‍රම ක්‍රමයෙන් යහපත් දිසාවක් වෙත ගමන් කරමින් තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රය තුළ ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ සුබදායී පුවත් හා ආරංචි නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙද්දී මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte.Ltd සමඟ සිය ව්‍යාපාරික මෙහෙයුම් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වන ගිවිසුමකට එළැඹියේය.
කොළඹ, වෙළෙඳ අගනුවර ගාලුමුවදොර ආසන්නයේ පරිපාලන හා ආර්ථික මර්මස්ථාන රැසකට කේන්ද්‍රීයව පිහිටි ගලදාරි හෝටලය සුව පහසු කාමර 450කින් සමන්විත වන අතර දෙස්, විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් මෙරට පිහිටි ප්‍රමුඛ පෙළේ තරු පන්ති හෝටලයකි. භෝජන සංග්‍රහ, කාමර, විවාහ මංගල්‍ය, ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, රැස්වීම් පමණක් නොව විනෝදාස්වාද සඳහා පහසුකම් සපයන තරු පන්තියේ සංචාරක හෝටලයක් සතු සෑම අංගයකින්ම එය පරිපූර්ණ වී තිබේ. වසර 39ක ඉතිහාසය තුළ විවිධ අවස්ථාවන්හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා මෙරටට පැමිණෙන ලෝක නායකයන්ට, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට පමණක් නොව විදෙස් ක්‍රීඩකයන්ට හා කලාකරුවන්ට ද ආගන්තුක සත්කාර සිදු කිරීමේදී ගලදාරී හෝටලය ඉතාම සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කර ඇත.
ගලදාරි හෝටලය Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ එක් වෙමින් සිය ව්‍යාපාරික මෙහෙයුම් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා එළැඹුණු ගිවිසුම සම්බන්ධව පසුගිය ජූලි 06 දින කැඳවා තිබූ මහා සභා රැස්වීමේ දී සිය කොටස් හිමියන්ව ද දැනුවත් කර ඇති අතර, එහිදී එකී ගිවිසුම සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය හිමි වූ බව ගලදාරී හෝටලයේ වත්මන් සාමාන්‍යාධිකාරී සම්පත් සිරිවර්ධන අපි කළ විමසුමකදී පැවසීය.
ඒ අනුව ගලදාරි හෝටලය හා Radisson Hotels Asia Pacific Investments Pte. Ltd විසින් එළැඹුණු මෙම ගිවිසුමට අනුව නව පාලනාධිකාරියේ මෙහෙයවීම යටතේ Radisson Hotels ජාත්‍යන්තර හෝටල් ජාලයේ ඇති තත්ත්වයන්ට හා ප්‍රමිතීන්ට අනුව අලුත්වැඩියාවන්ට ලක් වන බවත්, එම කටයුතු නිම වීමෙන් පසු “RADISSON BLU HOTEL GALADARI COLOMBO” යන ව්‍යාපාරික නාමය භාවිත කරමින් හෝටලයේ කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.