අපි මේ දවස්වල රේඩියෝවෙන් පත්තරේ බලනවා“ යාළුවෙකු මේ කතාව කිවුවේ 1998 වසරේ දවසකදීය. ඒ හිරු එෆ්. එම් හි අරැඹීමත් සමඟ උදෑසන ගෙදරට ආ “පත්තර මල්ලි” වීශේෂාංගය ගැන සිහිකරමිනි. එය ගුවන් විදුලියෙන් පාඨකයන්ට එකල පළවූ සියලු ජාතික පුවත්පත්වල සිරස්තල ගෙන ආ අලුත්ම වැඩසටහනකි. වැඩේ අලුත් වුණාට පාඨකයන්ගේ හිතට මේ අලුත් වැඩය අල්ලලා ගියේය. ඒ එකල උදෑසනට බොහෝ බස් රථවල ද හිරු එෆ්. එම් චැනලය අල්ලා තිබිණි. බොහෝදෙනකු කාර්යාලයට යන අතර තුර පත්තර මල්ලි කියන පත්තරේ විස්තරයට ඕනෑකමින් ඇහුම්කන් දුන්නේ එසේය.
වසර විසිපහක් යනු තරුණයකුගේ ජීවිතයේ හොඳම යුගයයි. වසර විසිපහක් තිස්සේ එකසේ ජනප්‍රිය පත්තර මල්ලි රිදි ජුබිලිය සමරන්නට නෙත් රේඩියෝව විසින් මේ මස 25 දා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කටයුතු සම්පාදනය කර ඇත.
ඒ වෙනුවෙන්ම සැකසූ ආරාධනා පත්‍රයද අතැතිව පසු ගිය දිනෙක පත්තර මල්ලි හෙවත් නුවන් ලියනගේ සිළුමිණට ද ගොඩ විය. නුවන් කියන නමටත් වඩා අසන්නන්ගේ සිත්වල ලැගුම් ගෙන සිටින පත්තර මල්ලිගේ හඬට හරි අපූරු වැඩකාරයෙකි. නුවන් පත්තර මල්ලි බවට පත්වුණ ඒ අතීත කතාව ගැන අපි ඔබ වෙනුවෙන් ඔහුගෙන් ඇසුවෙමු.
“හිරු රේඩියෝව පටන් ගන්න යන කාලෙම තමයි තමාලි පීරිස් මට කිවුවේ නුවන් පත්තර විස්තර කියමු නේද කියලා. කොහොම හරි පත්තර මල්ලි කියන නමේ හිමිකරු මම. හිරු පටන් ගත්තදාම තමයි පත්තර මල්ලිත් පටන් ගත්තේ. පත්තරේ නිකම්ම කියවනවට වඩා දෙයක් කරන්න ඕන කියලා තමයි මම ඒ වැඩේ ආර්ට් එකක් ඇතිවම කරගෙන ගියේ. වැඩසටහන කරලා එළියට එනකොටම අවට හිටිය අයගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. දවසින් දවස වැඩේට ලැබෙන ප්‍රතිචාර වැඩි වුණා. පත්තර මල්ලි ටික ටික ජනප්‍රිය වුණා. හිරු එකේ පටන් ගත්ත පත්තර මල්ලි ඊට පස්සේ යනවා නෙත් රේඩියෝවට. කිසිම වෙනසක් නෑ පත්තර මල්ලි තමන්ගේ රාජකාරිය ඒ විදිහටම කරගෙන යනවා. මයි කාර් මයි පෙට්‍රල් වැඩේ ඒ විදිහටම යනවා.
නුවන් “පත්තර මල්ලි“ගේ අතීතය පවසන්නේ ඒ විදිහටයි. හැම විටම සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න කැමැති නුවන් තම රැකියාව වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රය තෝරා ගන්නේද අහම්බයෙන් මෙනි.
ශාන්ත ජෝශප් විද්‍යාලයෙන්, ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් හා පමුණුවිල මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු උසස් අධ්‍යාපනයට සමත් වීමෙන් පසුව වසරක පමණ කාලයක් විශ්වවිද්‍යාලයට ගියේය.
“ මම අවුරුද්දක් විතර තමයි විශ්වවිද්‍යාලයට ගියේ. යාළුවෝ මට කිවුවා එන්න විශ්වවිද්‍යාලෙට කියලා. මම කිවුවා ලෙක්චර්ස් එන්නම් විභාග ලියන්න බැහැ කියලා. මම කොහොමත් විභාග කේන්ද්‍රිය අධ්‍යාපනයකට විරුද්ධයි. මම ඉස්කෝලේ ගිය කාලේ ඉගෙන ගන්න එක තමයි අන්තිමටම කළේ. ක්‍රීඩා, සංගීත වැඩ, පාසලේ තව තිබුණ අමතර වැඩ හැමදේම කරලා තමයි අධ්‍යාපනය ගැන බැලුවේ. ඒ කාලේ මට පෙම්වතියෝ හිටියා. සමහර පෙම්වතියෝ ලියපු ලියුම් තවමත් මගෙ බිරිය ගාව තියෙනවා. මට සුදුසුම කෙනා කොහොම හරි මට හමුවුණා. අපේ බැඳීමට දැන් අවුරුදු විසිපහක් වෙනවා.“
ඔහු සිය බිරිය ගැන පවසන්නේ බොහෝ ආදරයෙනි. බොහෝ තැන්වල ඇවිදින මාධ්‍යවේදියෙක්, ගීත පද රචකයෙක්, නිර්මාණ ශිල්පියෙක් කියා ඒ කිසිවක් කරේ තබා නොගෙන දවස ගෙවන නුවන් සියල්ල දෙස බලන්නේ උපේක්ෂාසහගතවය. මේ වන විට නෙත් මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරන ඔහු ඒ සියළු තනතුරු කාර්යාලයට පමණක් සීමා කරගෙන සිටී.
“තනතුර භාවිත කරන්නේ පරිපාලන කටයුතුවලට විතරයි. මම කැමැති සාමාන්‍ය මිනිස්සු අතරේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. කොහේ ගියත් කවුරුත් වගේ කතා කරන්නේ පත්තර මල්ලි කියලා. මගේ කිසිම අකැමැත්තක් නෑ එහෙම කතා කළාට. මට වඩා වයසක උදවියත් මට කතා කරන්නේ පත්තර මල්ලි කියලා. මම ඒ පත්තර මල්ලිට ආදරෙයි.“
පත්තර මල්ලි ප්‍රවෘත්ති කියන්නේ ද හරි අපූරුවටය. අපහාසය නැති උපහාසය පිරි, වදින තැන්වලට වදින්නට පහර දෙන, අනුකම්පා කළ යුතු කතාවලට අප සිතේ අනුකම්පාව උපදවන අයුරින් පත්තරේ විස්තර කියන ඔහුගේ ඒ වාග් විලාශය විනාඩි කිහිපයක් තුළ අසන්නන්ව වෙනම අඩවියකට ගෙන යයි.
කොහොම වුණත් පත්තර විස්තර කියන පත්තර මල්ලිගේ උත්සවය වෙනුවෙන් නිමැවුණ ආරාධනා පත්‍රයද අපූරුය.
“ඇත්තම කිවුවොත් මේ වැඩේ මටම හිතිච්ච දෙයක් නෙමෙයි. මේ කතාව පිටුපස කාංචන දසනායක, නලින් අපෝන්සු, සුදේව හෙට්ටිආරච්චි කියන මිත්‍රයෝ ඉන්නවා. ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය සංගමයේ අපි සංචාර යනවා. මීට මාස හයකට විතර කලින් තමයි ඔවුන් කිවුවේ පත්තර මල්ලිට අවුරුදු විසිපහක් නේද කියලා. ඒ අනුව තමයි මේ උත්සවය සංවිධාන වෙන්නේ. නෙත් මාධ්‍ය ජාලය තමයි අනුග්‍රහය දක්වන්නේ. පත්තර කන්තෝරුවලට ආරාධනා පත්‍ර දෙන විට ඒ ඒ පත්තරවල මුල්පිටුවේ යන ප්‍රවෘත්තියක් විදිහට තමයි ආරාධනා පත්‍රය නිමැවුණේ. ඒ වගේ සාමාන්‍ය ආරාධනා පත්‍රය හැදුවේ ලක්මිණි පහන පුවත්පතේ මුල් පිටුවේ පළ වෙන අනාගත වාක්‍යයක් විදිහටයි ආරාධනා පත්‍රය සකස් කළේ. ආරාධනා පත්‍රය සකස් කරන්න යද්දි විවිධ අදහස් තිබුණා. නමුත් මගේ අදහස විදිහට තමයි මේ ආරාධනා පත්‍ර සකස් වුණේ. ඔන්න මං හැමෝටම ආරාධනා කරනවා එදිනට එන්න කියලා“
ඡායාරූප - සුදත් මලවීර