නව නිවසේ ප්‍රධාන උළුවස්සට සුදුසුම දිසාව | Page 2 | සිළුමිණ

නව නිවසේ ප්‍රධාන උළුවස්සට සුදුසුම දිසාව

අසුබ තැනක තැබුවොත්  නිවැසියන්ට මුහුණ දෙන්නට සිදුවන අසුබ පල

ප්‍රධාන උළුවස්ස තැබීමේ ක්‍රම දෙකක්

ගිනිකොනට  තැබුවොත් ඉතා අසුබයි

 

මිනිස් වාසය සඳහා නිවසක් අවශ්‍යය. ඒ නිවස විශාල ධනස්කන්ධයක් වැය කර සැදූ අලංකාර මහා මන්දිරයක් වුව ද, කුඩා නිවෙසක් වුව ද එහි ප්‍රධාන උළුවස්ස අසුබ තැනක තැබුවොත් එහි පදිංචි වීමෙන් පසු බොහෝ කරදර විඳින්නට සිදු වේ. ඒ අනුව උපයා ගත් සියලු ධනය, මුදල්, බැංකු තැන්පතු හිස් වී ණය වීමට සිදුවීම ද, ව්‍යාපාර අඩාළ වීම, රැකියා අහිමි වීම, බන්ධනාගාර ගතවීම්, හදිසි අනතුරුවලට ලක්වීම, අකල් මරණ, සැමියා හෝ බිරිය වෙනත් අයෙකු සමඟ යාම ද, අඹුසැමි ආරවුල් සහ දික්කසාදවලට මුහුණ දීමට සිදුවීම දූ දරුවන් නින්දා අපහාස ගෙන දෙන පහත් නොගැළපෙන අය සමඟ පෙම් බැඳ රහසින් පලා යාම එසේ ගොස් ගෙල කැපීම්, පිහි ඇනුම්වලට ලක්වී මරණයට පත්වීම්, ලිංගික ආබාධ, රෝග ඇතිවීම, අත් පාද කපා ඉවත්කර ශල්‍ය කර්මවලට භාජනය වී මැරෙනතුරු ඔත්පල වීම්, සමහර විට මුළු පවුලේ සියලුම දෙනා වාහනයකින් යන විට හෝ වෙනත් ක්‍රමවලින් මරණයට පත් වීම සිදු වීමට හැකිය. ඒවා දියෙන්, වෙඩි පහරින්, බෝම්බ, අකුණින්, නාය යාමෙන් ගස් ගල් පෙරළීමෙන් වීමට ද පුළුවන. මේ අගුව ස්වල්පයක් පමණි.

වාස්තු විද්‍යාවට අනුව නව නිවසක් හදන විට එම නිවසේ ප්‍රධාන උළුවස්ස හෙවත් 'මංගල උළුවස්ස' නිවසේ දිග පළල, නිවස ඉදිකිරීම සඳහා පළමුවෙන්ම නිවැසියාගෙන් ගත් අයගේ නැකැත අනුව අය වැය බලා තැබිය යුතුයි. එසේ තැබු නිවස පරම්පරාගතව සුබ පල නිවැසියන්ට ගෙන දේ.

වාස්තු විද්‍යාවේදී උළුවහු තැබීමේ චක්‍රය ඍෂිවරුන් මෙසේ පෙන්වා ඇත.

මුඳුන නව නැකැත් කිසි වැඩ නැත කියන

යෙදුන කොන් හතර රජුගෙන් බිය වදන

හරිනු පාත තුන මරණය නිසාවන

සදනු උළුවස්ස දොර දෙපිට දොලසින

 

මුඳුන් තුන් නැකැත් තබා පොත - සය නොගනු

යට සිත සිතින් රජබිය හා ධනය නසනු

ඇතුළත දොළස සුවසිරි ජය ලාබ වනු

සිවුකොන නැකැත් දැනගෙන උළුවහු තබනු

 

උළුවහු ජනෙල් තැබීමේ 'වාර චක්‍රය' මෙසේය.

මැද දොළහෙන් සම්පත් සහ

යස ඉසුරුද ගෙනදේ

මුල දෙපස සිරිසැප මුඳුන හතර

නැකැත්වලින් රජ සිරිවේ

මුඳුන දෙපස වම් දෙක සහ

දකුණු දෙක පාළුවේ

මුලෙහි දෙපස වම් දෙක දකුණ දෙක

සිරි සැපවේ

 

පහත තුන නැකැත්වලින් මරණය සිදුවේ.

මේ කරුණු වාස්තු විද්‍යාවේ සඳහන් වන නිසා ඔබේ සියලුම බලාපොරොත්තු ඉටුකර ගැනීමටනම් පහත පෙන්වා ඇති ආකාරයට ප්‍රධාන මංගල උළුවස්ස තබා ගැනීම යෝග්‍යයි. එය ඔබට සෞභාග්‍ය, සම්පත් විශාල ධන සම්පත් ලැබී ඉක්මන් දියුණුව සැලසේ.

නිවසක ප්‍රධාන උළුවස්ස තැබීමේ ක්‍රම දෙකකි.

01. කොටස් අටකට බෙදා තැබීම.

02. කොටස් 15කට බෙදා තැබීම.

මේ අනුව ඉඩමේ පිහිටීම සහ ඇතුළුවීමේ මාර්ගය ගැන ප්‍රධාන උළුවස්ස තැබීමේදී සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම අනුදිශාවට උළුවස්ස නොතැබිය යුතුයි. එය නොසලකා ගිනිකොනට තැබීම ඉතාම අසුබ පල ගෙන දෙයි.

මේ අනුව අනු දිශාවන් මෙසේය.

1. නැ‌ෙඟනහිරට අනු දිශා ඊශාන සහ ගිනිකොන වේ. එය නැ‌ෙඟනහිර ඊශානේ සිට ගිනිකොන දක්වාද (2) ගිනිකොන සහ නිරිතට අනු දිශා දෙකකි. එය ගිනිකොන සිට නිරිත දක්වා වේ. මෙය දකුණු දිශාවේ, දකුණු දිශාව ගිනිකොනින් පටන් ගෙන නිරිතට විහිදේ. (3) බටහිර දිශාවේ සිට නිරිත හා වයඹට අනු දිශා දෙකකි. එය බටහිර සිට නිරිතෙන් පටන්ගෙන වයඹට විහිදේ. (4) උතුරු දිශාවේ අනු දිශා දෙක වයඹ සහ ඊශාන දිශාව වේ. එය උතුරු දිශාවේ වයඹින් පටන්ගෙන ඊශානයට විහිදේ. මේ දිශා පිහිටීම වේ.

නිවසක උළුවස්ස තබන දිශාව සොයා ගන්නේ ආය වර්ගය අනුවයි. ආය වර්ගය දැනගන්නේ නිවසේ වර්ගඵලය අටෙන් බෙදා ලැබෙන ශේෂය අනුවයි. ඒ අනුව ඉතිරිය.

1 නම් - ධජය ආය, 2 නම් ධුම ආය, 3 නම් සිංහ ආය, 4 නම් ශුන්‍ය ආය, 5 නම් වෘෂභ ආය, 6 නම් කොටළු ආය, 7 නම් ගජ ආය, 8 නම් කාක ආයයි. මෙයින් ඔත්තේ ගණන වැටෙන ධජය, සිංහ, වෘෂභ, ගජ වර්ග ඉතාම සුබයි. ධනය ලැබේ. අනිකුත් ඒවා අසුබයි. ආය අනුව ප්‍රධාන දොර තබන දිශාවන් මෙසේය. ආය වර්ගය අනුව ප්‍රධාන දොර තැබිය යුතු දිශාව ධජය ආය, සතර දිශාවෙන් කුමන දිශාවකද සිංහ ආය උතුරු දකුණ නැ‌ෙඟනහිර යන දිශාවන් තෝරාගෙන නියමිත දිශාවේ ප්‍රධාන උළුවස්ස තබන්න.

ඔබගේ නිවසේ දොර වැරදි ලෙස තබා ඇත්නම් එය උගත් ජ්‍යොතිෂයත්, වාස්තු විද්‍යාවත් ගුප්තමය විද්‍යාවන් වන ත්‍රිවේදයම දන්නා විද්‍යාඥයෙකුගේ උපදෙස් අසා නිවැරදිකර ධනය, දියුණුව, සම්පත්, නීරෝගිකම, දීර්ඝායුෂ ලබා ගැනීමට දොර උළුවහු තබා ගන්න.

උළුවස්සක් සඳහා යොදාගන්නා දැව වර්ගය ගැන ද ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. නුසුදුසු දැව වර්ග වන දිරා ගිය, මැද කබල් ඇති ගස්, ගස් කපන විට ආයුධ කැඩී යන ගස්, විරූප වූ දැව ගස්, පල රහිත ගස්, ගසකට තවත් ගසක් බද්ද වුණු ගස්, කිරි ඇති ගස්, කටු බහුල ගස්, ගින්නෙන් දැවුණු ගස්, අකුණු වැදුණු ගස්, මාර්ගවල ඇති ගස්, ස්ත්‍රී නම් ඇති ගස්, සර්පයන්, ගිජුලිහිණියන් වාසය කළ ගස්, වඳින පුදන ගස්, දේවාල, කෝවිල්, පල්ලි, පන්සල් භූමිවල ගස්, සොහොන් බිමේ ගස්, සුළඟට කඩාබිඳිගිය ගස්, දිරන ලද ගස්, කවුඩන් වසන ගස්, උයන්වල ගස්, වැල්වලින් වෙළුන ගස්වල දැව ඉතාම අසුබයි.

විශේෂයෙන් කැටකාල ගස්වල ලී සුබ වන අතර කොඩිවින සුනියන් නොවදින බවත් දෝෂ භංග වී සෞභාග්‍ය ලැබෙන බව පෙන්වා ඇත.

දැවවලට විශාල මුදලක් වැයවන නිසා ඇතැමුන් පොල් ලී, සිමෙන්ති, යකඩ, ඇළුමිනියම් උළුවහු භාවිත කරයි. ලී මඩුවල සෑදු උළුවහුද මිලට ගෙන තබයි. ඒවා අසුබයි. පරිහානියට පත්වේ.

පැරැන්නෝ උළුවස්ස නිසි තැන තබා සුදුසු දැව වර්ග භාවිත කර නිවාස ඉදිකර පදිංචි වීමෙන් පසු ඔවුන් දීර්ඝායුෂ ලබා නීරෝගීව වාසනාව ලැබූ අය මෙන්ම අදත් එවැනි නිවාසවල ජීවත්වන අය පරම්පරාගතවම ධනය ලැබී හොඳින් ජීවත් වේ.

එමෙන්ම උළුවහු දෝෂයන් නිසා මහජන සිත් ආකර්ෂණය වී පිට පිටම ජය ලැබූ ඇමැතිවරු, මන්ත්‍රිවරු, වලව් පෙළපත් අන්ත පරාජයට පත්ව, වංශාධිපතියෝ පහත් ලෙස සමාජයට මුහුණ දීමට පවා බැරිව දුකින් සිටින බව හා එම මන්දිර පාළුවට ගොස් ඇති බව අපට පෙනෙන්නට ඇත.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

රඹුක්කන ජිනදාස එදිරිසිංහ

 

Comments