තාත්තාගේ හීනයක් සැබෑ කළ දියණියගෙන් පීතෘ නිර්මාණාභිමාන හරසර උලෙළක් | Page 2 | සිළුමිණ

තාත්තාගේ හීනයක් සැබෑ කළ දියණියගෙන් පීතෘ නිර්මාණාභිමාන හරසර උලෙළක්

මේ සටහන පිය සෙනෙහසට උපහාර දක්වන දියණියක ගැනය. පින්ලන්තයේ ජීවත් වන වෘත්තියෙන් හෙදියක වන ප්‍රබෝධනී සුරංගිකා විජේරත්න දිවිගමන නිමා කළ සිය පියා වූ ධර්මසිරි විජේරත්නගේ සිවුවැනි ගුණානුස්මරණය වෙනුවෙන් අපූරු උපහාර පිදීමක් සිදු කරන්නීය. “පිතෘ නිර්මාණාභිමාන“ යනුවෙන් නම් කර ඇති එම උපහාර උලෙළ ජූලි 28 වැනිදා පස්වරු 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. මාධ්‍යවේදියකු සහ ලේඛකයකු වූ ධර්මසිරි විජේරත්නයන් එහිදී හරසර ලබන අතර, ඔහු විසින් රචිත “ඉතිහාසගත චරිත“ නම් කෘතිය එදින ජනගත කෙරේ. එම කෘතිය ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපනික චිත්‍ර කතා ප්‍රකාශනය ලෙස ද හැඳින්විය හැකිය. “පිතෘ නිර්මාණාභිමාන“ හරසර උලෙළ පිළිබඳ ප්‍රබෝධනී සුරංගිකා මෙසේ පවසන්නීය.

 

“මේ උත්සවය හුදෙක් පොතක් එළිදැක්වීමක් හෝ උපහාර පිදීමක් පමණක්ම නොවෙයි. මගේ තාත්තා අද අප අතර නැති වුණත් ඔහු දුටු සිහිනයක් සැබෑ කිරීම සඳහායි මම පිතෘ නිර්මාණාභිමාන හරසර උලෙළ සංවිධානය කළේ. මගේ තාත්තා ධර්මසිරි විජේරත්න උපත ලබා ඇත්තේ 1934 අප්‍රේල් 2වැනිදා හංවැල්ලේදී. ඔහු පාසැල් දිවියේ සිටම පුවත්පත් කලාවට බෙහෙවින් ලැදියාවක් දැක්වූ අයෙක්. ඔහු පුවත්පත්වලට විශේෂාංග ලිපි රචනා කිරීම පටන් ගෙන තියෙන්නේ 19 හැවිරිදි වියේදියි. 1956 දී රජයේ ලිපිකරුවකු ලෙස සේවයට බැඳුණත් පුවත්පත් කලාවට ලේඛනයට තිබූ උනන්දුව අත්හැර නැහැ. 1988දී සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මගේ පියා ලේක්හවුස් ආයතනයේ හංවැල්ල සමූහ වාර්තාකරු ලෙස කටයුතු කළා. කුඩා වියේ සිට මට තාත්තාගේ මාධ්‍ය ජීවිතය ගැන තොරතුරු අසන්නට දකින්නට ලැබුණා. තාත්තා “මිසී අප්පු මාමගේ කතන්දර“ නමින් ළමා කෘතියක් ද ලියා පළ කළා. ඒ වගේම අතීත මාධ්‍ය මෙහෙවර සිහිකරමින් පොතක් මුද්‍රණය කරන්නටත් තාත්තාගේ හිතේ හීනයක් තිබෙන බව මම දැන සිටියා. නමුත් මගේ අම්මා අසනීපයෙන් පසුවූ නිසා තාත්තාට එය මඟහැරුණා. ඔහුගේ අවසන් කාලය ගෙවුණේ අම්මාගේ ප්‍රතිකාර සහ සාත්තු සේවය වෙනුවෙන්. නමුත් 2019 ඔක්තෝබර් 07 වැනිදා මගේ තාත්තා හදිසියේම මොලොවින් සමුගත්තා. ඔහුගේ වියෝව මට දරාගත නොහැකි කම්පාවක් වුණා. මගේ පවුලේ මමත් සමඟ දරුවන් සිවුදෙනෙක්. නමුත් තාත්තාට වැඩිපුරම සමීප වෙලා හිටියෙ මම. ඒකට හේතුව මමත් තාත්තා වගේම කලාවට ආදරය කිරීමයි. ඒත් තාත්තගෙ හීනය ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ සැබෑ කරන්න බැරි වීම මට විශාල වේදනාවක් වුණා” ප්‍රබෝධනී සිය හැඟීම් වදන්වලට පෙරළුවේ හැඟීම්බරවය.

“නමුත් මම අධිෂ්ඨාන කර ගත්තා තාත්තගෙ හීනේ කොහොම හරි සැබෑ කරනවා කියලා. තාත්තා 1977 වසරේ සිත්තර චිත්‍ර කතා පත්‍රයට ඉතිහාසගත චරිත ගැන ලිව්වා. ඒ ලියපු කතාවලට චිත්‍ර ඇන්දේ තාත්තාගේ මිතුරකු ද වන ප්‍රවීණ චිත්‍ර ශිල්පි හෙන්රි බෙම්මුල්ල මහතා. මේ විශේෂාංගය ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා. ඉතින් මම හිතුවා තාත්තට කරන ලොකුම උපහාරය ඒ ඉතිහාසගත පුද්ගල චරිත ජනතාවට හඳුන්වා දීම සඳහා පොතක් පළ කිරීම කියලා. එය මේ රටේ චිත්‍ර කතා ලෝලීන්ට වගේම පාසල් ළමුන් සඳහා ද ඉතා විශාල වටිනාකමකින් යුතු පොතක් වෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම තාත්තා ලියපු ඒ කතා හොයන්න පටන් ගත්තා. නමුත් ඒක ලේසි වැඩක් වුණේ නැහැ. මට හොයාගන්න ලැබුණේ කතා දෙක තුනක් විතරයි.“

ප්‍රබෝධනී ඒ දැවැන්ත කාර්යයට අත ගසන්නේ පින්ලන්තයේ ජීවත්වන අතරේය. එමෙන්ම හෙදියක ලෙස රැකියාවේ නිරත වෙන අතරේය. සිත්තර පුවත්පතේ පළවූ පියා විසින් රචිත ඉතිහාසගත චරිත කතා සොයා ගැනීමට ඇයට ආදරණීය හිත් කිහිපයක නොමඳ සහාය හිමි විය.

“මුලින්ම මට ඒ සඳහා උදව් කරන්නෙ මාධ්‍යවේදිනියක වන සමන්ති මීරියගල්ල ‍සොහොයුරිය. ඇයත් තාත්තාගේ ලිපි සොයන්නට විශාල වෙහෙසක් දැරුවා වගේම මට සුප්‍රි සමරසිංහ සොහොයුරා හඳුන්වා දුන්නා. චිත්‍ර කතාවලට බෙහෙවින් ඇලුම් කරන, ඒවා සංරක්ෂණ කරන අයෙකු වන සුපි සමරසිංහ මගේ පියා විසින් රචිත ඒ සියලුම ලිපි සොයාගෙන ඒවා එකතු කර නිමන්සා ප්‍රකාශනයක් පළ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළා. මේ හරසර උලෙළේ සංවිධානය කටයුතු ඉටු වන්නේ ද ඔහු අතින්. මේ මොහොතේ මම ඔවුන් දෙදෙනා ඇතුළු ඒ වෙනුවෙන් උදව් කළ සියලු දෙනාටම මගේ ආදර ගෞරවය පුද කරනවා. ඒ වගේම මගේ පියාගේ මාධ්‍ය ජීවිතයට සෙවණැල්ලක් වෙමින් ඔහුට උදවු කළ මගේ මෑණියන් කරුණා විජේරත්න ද මේ අවස්ථාවේ සිහිකළ යුතුයි. ඇය පසුගිය ජුනි මාසයේදී මෙලොව හැරගියා.“

ඇයගේ දෙනෙත් කඳුළින් පිරෙන්නේත් මුවට සුසුම් නැඟෙන්නේත් ඒ විප්‍රයෝගය ඇයගේ සිත රිදවන නිසාය. පියා වියෝවී දසවසරක් පිරෙන දා ප්‍රබෝධනී ඔහු වෙනුවෙන් අපූරු උපහාරයක් පිදුවාය. ඒ සංවේදී ගීතයකිනි. “මගේ කඳුළට සිනා රැල්ලට“ නම් ඒ ගීතයේ රචක සුසන්ත දන්දෙණිය ගමගේය. විමල් දයානන්දයන් සංගීතවත් කළ ඒ ගීතය ගයන්නේ පවනි අමරසා යොවුන් ගායන ශිල්පිනියයි. මෙම ගීතයෙන් “පීතෘ නිර්මාණාභිමාන“ හරසර උලෙළ රසගැන්වීමට නියමිතය.

“තාත්තා කියන්නේ කවදාවත්ම මගේ මතකයෙන් ඈත් කරන්න බැරි කෙනෙක්. ඒ තරම්ම බැඳීමක්, සෙනෙහසක් අපි අතරෙ තිබුණා. තාත්තගේ ඒ නිමක් නැති ආදරයට උපහාර පුදන්න මට මීට වඩා අවස්ථාවක් නැහැ කියලා මම හිතනවා. ඒ නිසයි තාත්තා ආසාවෙන් සිටි හීනය මම මේ විදිහට සැබෑ කරන්න හිතුවෙ. කෘතියක් එළිදක්වනවා කියන්නේ භාරදූර සහ ඉතා වගකීම් සහගත ක්‍රියාවක්.මම මේ කෘතිය ජනගත කරන්නෙත් ඒ වගකීම් සහගත බව සිතේ තබාගෙනයි. මේ කෘතිය කියවා යම් කෙනෙක් දැනුම, සතුට, අවබෝධය ලබනවා නම් ඒ සියලු පින් මගේ පියා ධර්මසිරි විජේරත්නටත් ඔහුගේ නිර්මාණ ජීවිතයට සහාය දුන් සියලු දෙනාටත් අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා“

Comments