ජ්‍යොතිර්වේදියාගෙන් සේවය ලබාගන්නාටත් වාසනා මහිමය අනිවාර්යයි | සිළුමිණ

ජ්‍යොතිර්වේදියාගෙන් සේවය ලබාගන්නාටත් වාසනා මහිමය අනිවාර්යයි

සුබ මුහුර්තයකට සුබ දිනයක් තෝරා ගැනීම අසීරුම කාර්යයි

පුද්ගලයාගෙන් පුද්ගලයාටවාසනා මහිමය බලපාන හැටි

සමහරුන්ට පලාපල කථනය හරි ගියත් ඇතැමුන්ට එහෙම නෑ

 

කිසියම් පුද්ගලයෙකු, පලාපල විස්තරයක් ලබා ගැනීම සඳහා හෝ සුබ මුහුර්තියක් පිළියෙල කර ගැනීම වෙනුවෙන් ජ්‍යොතිර්වේදියකු මුණගැසෙන විට වඩාත් නිවැරදි හා වඩාත් පලදායක විස්තරයක් ලබා ගැනීමට මෙන්ම වඩාත් සුබදායක සහ වඩාත් පලදායක සුබ මුහුර්තියක් පිළියෙල කර ගැනීමට ජ්‍යොතිර්වේදියාගේ දක්ෂතාවට අමතර ලෙස සේවය ලබාගන්නාගේ වාසනා ගුණය ද බලපාන බව අපගේ අදහසය.

එනම් සමහර පුද්ගලයන්ට පලාපල විස්තරයක් ලබා දෙද්දී එම පලාපල විස්තරය ඉතා හොඳින් කියවුණ බව ජ්‍යොතිර්වේදියාට ද දැනෙන අතර ඒ අනුව ජ්‍යොතිර්වේදියාගේ සිත සතුටට පත්වන අතරම සේවය ලබාගන්නාගේ සිත ද සතුටට පත්වන බව නිරීක්ෂණය කළ හැකිය.

නමුත් සමහර අවස්ථාවලදී එම ජ්‍යොතිර්වේදියාට වෙනත් පුද්ගලයෙකුට පලාපල විස්තරයක් ලබා දෙද්දී එම පලාපල විස්තරය එතරම්ම පලදායක නොවන බව ජ්‍යොතිර්වේදියාට දැනෙන අතර ඒ අනුව අදාළ ජ්‍යොතිර්වේදියාට මෙන්ම සේවය ලබාගන්නාට ද අතෘප්තිකර හැඟීමක් දැනෙන බව පෙනේ.

එනම් පලදායක පලාපල විස්තරයක් ලබා ගැනීම සඳහා ජ්‍යොතිර්වේදියාගේ දක්ෂතාවට අමතර ලෙස ජ්‍යොතිර්වේදියාගේ සේවය ලබාගන්නාගේ වාසනා ගුණය ද යම් පමණකට බලපාන බව පෙනේ.

මීළඟට යම් පුද්ගලයෙකු විසින් සුබ මුහුර්තියක් පිළියෙල කර ගැනීම වෙනුවෙන් ජ්‍යොතිර්වේදියකු වෙත යන අවස්ථාවක් පිළිබඳව අවධානය යොමු කරමු.

මීට කලින් ලිපිවලින් ද සඳහන් කළ පරිදි සුබ මුහුර්තියක් පිළියෙල කිරීමේදී පළමුවෙන්ම කළ යුතු කාර්ය වන්නේ සුබ දිනයක් තෝරා ගැනීම වන අතර එය වඩාත් අසීරුතම කාර්ය ද වෙයි. උදාහරණ ලෙස යම් පුද්ගලයකු විසින් තම කේන්දර සටහන ද තම බිරියගේ කේන්දර සටහන ද, තම දරුවන්ගේ කේන්දර සටහන් ද සමඟ නිවාස නැකතක් පිළියෙල කර ගැනීම වෙනුවෙන් ජ්‍යොතිර්වේදියෙකු හමුවන්නේ යැයි සිතමු. එවන් අවස්ථාවලදී සමහර විට ජ්‍යොතිර්වේදියා විසින් පරීක්ෂා කරන පළමු නැකැත් දිනයම කේන්දර මඟින් සුබ නිවාස නැකතක් පිළියෙල කරගැනීමට පැමිණෙන පුද්ගලයාගේත් ඔහුගේ බිරියගේත්, ඔහුගේ දරුවන්ගේත් උපන් නැකැත්වලට ගැළපෙන්නට ඉඩ ඇත.

ඒ අනුව ජ්‍යොර්වේදියාට ඉතා පහසුවෙන් අදාළ නැකැත් දිනය ලබාදිය හැකිය. එයින් ලැබෙන ඉඟියක් වන්නේ අදාළ පුද්ගලයාට විශාල බාධාවකින් තොරව නිවස ගොඩනැඟීමේ කටයුත්ත සිදුකළ හැකි බවය. මීළඟට ජ්‍යොතිර්වේදියා විසින් අදාළ නිවාස නැකැත් පිළියෙල කරද්දී සුබ හෝරාවන්ට අනුව නැකැත් පිළියෙල කිරීමේදී රාහු කාලයෙන්වත්, තත්කාල කේන්දර සටහනේ චන්ද්‍රයා 8 වැන්නෙහි පිහිටීමෙන්වත්, තත්කාල කේන්දර සටහනේ ඒරාෂ්ටක පැවතීමෙන්වත්, තත්කාල කේන්දර සටහනේ ලග්නය "මර" ලග්නයක් වීමෙන්වත් කිසිදු බාධාවක් සිදු නොවන්නේ යැයි සිතමු.

ඒ අනුව පෙර කී පුද්ගලයා වෙනුවෙන් නිවාස ගොඩනැඟීම සඳහා සුබ දිනය තෝරා ගැනීම මෙන්ම එම සුබ දිනය වෙනුවෙන් සුබ නැකැත් පිළියෙල කිරීම ද ඉතාම පහසු වීමෙන් ලැබෙන ඉඟිය වන්නේ අදාළ පුද්ගලයාට එම සුබ දිනයෙන් සහ සුබ වේලාවෙන් නිවස ගොඩනැඟීම ආරම්භ කළහොත් එය ඉතා පහසුවෙන් සම්පූර්ණ කර ගත හැකි බවය.

තවත් පුද්ගලයෙකු ඒ ආකාරයටම නිවාස නැකැත් පිළියෙල කර ගැනීම සඳහා ජ්‍යොතිර්වේදියෙකු වෙත තම කේන්දර සටහන ද, තම දරුවන්ගේ කේන්දර සටහන ද, තම සහකාරියගේ කේන්දර සටහන ද රැගෙන යන්නේ යැයි සිතමු.

පළමුවෙන්ම එම සියලු දෙනාගේම නැකැත්වලට ගැළපෙන ආකාරයෙන් දිනයක් තෝරන්නට ජ්‍යොතිර්වේදියා උත්සාහ කළද, සමහර විට වසර මුළුල්ලේම පරීක්ෂා කළත් දිනයක් තේරීම කළ නොහැකි විය හැකිය.

ඒ නිසා ඊළඟට දරුවන්ගේ කේන්දර සටහන් නොසලකා, අදාළ පුද්ගලයාගේත්, ඔහුගේ බිරියගේත් කේන්දර සටහන්වලට අනුව සුබ දිනයක් තෝරා ගැනීමට ජ්‍යොතිර්වේදියා උත්සාහ කරනු ඇත.

නමුත් සමහර විට කොතරම් උත්සාහ කළත් ඔවුන් දෙදෙනාගේම නැකැත් වේලාවන්ට අදාළව සුබ දිනයක් තෝරා ගැනීමටද, වර්ෂය පුරාම දින උපයෝගී කරගෙන උත්සාහ කළද ජ්‍යොතිර්වේදියාට නොහැකි වනු ඇත. අවසානයේදී අදාළ කේන්දර හිමියාගේ උපන් නැකතට අදාළ වන පරිදි සුබ නැකැත් දිනයක් අපහසුවෙන් තෝරා ගත්තද එය නිවාස නැකැත් පිළියෙල කිරීමට වඩාත් සුදුසු "සම්පත්" වැනි නැකතක් නොවිය හැකිය. මෙයින් ලැබෙන ඉඟිය වන්නේ මෙම නිවස ගොඩනඟාගෙන යද්දී විශාල බාධාවලට මුහුණ දීමට සිදුවන බවය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments