
කොළඹ ක්‍රමය යනු ලංකාවේ සුවිශේෂත්වය මතම ලංකාවට ආධාර ලබා දෙන අදටත් වලංගු යෝජනාවලියකි. 1949 වසර ලන්ඩන් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවේදී කොළඹ ක්‍රමය ආරම්භ කිරීමට ප්‍රථම අඩිතාලම දැමුවේ එවකට ලංකාවේ මුදල් අමාත්‍යවරයාව සිටි ගරු ජේ.ආර්. ජයවර්ධන විසිනි. පසුව 1951දී මේ යෝජනාව සාර්ථකත්වයේ ඵල දරා අප රටට ප්‍රතිලාභ රැසක් හිමි කර දුන් 'කොළඹ ක්‍රමය'ට 2023 වසරේ ජූලි 1 වැනිදාට වසර 72ක් සම්පූර්ණ විය.
මෙවර කොළඹ ක්‍රමය (Colombo plan) 72 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සමරනු ලැබුවේ ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදීය. එම සංවත්සරයේදී 1951 ජූලි 1 වැනිදා ආරම්භ වූ කොළඹ ක්‍රමය වැඩ සටහනේ 72 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් සැකසුණු විශේෂ සමරු ග්‍රන්ථය සංවිධානයේ වත්මන් මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී. රෙයිස් විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත පිරිනමන ලදී. එදා ශ්‍රී ලංකේය දේශපාලඥයකුගේ අදහසකින් රටවල් රැසක් සංවර්ධනය වීම උදෙසා දායක වූ කොළඹ ක්‍රමය නම් දැවැන්ත සංවිධානයේ ප්‍රබල දේශපාලන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ බුද්ධිමතුන් රැසක් නියෝජනය කරමින් දේශන සහ යෝජනා සාකච්ඡා සිදු විය. මෙවර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරන ලද්දේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි. එදා මෙන් මෙදා ද කොළඹ ක්‍රමය වැඩසටහනට ඇතුළත් රටවල් රැසක නියෝජිතයන්, දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
එහිදී අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළේ කොළඹ ක්‍රමයේ මූලික වූ සත්කාරක රට ලෙස ලංකාව දිනාගත් නාමය ඉදිරියට සාර්ථක කිරීමේ මෙහෙවරට තමන් මහත් අභිමානයෙන් මැදිහත් වන බවයි. එහිදී කොළඹ සැලැස්ම සාමාජික රටවල් අතර අපගේ සංස්කෘතිය බෙදා ගනිමින් කල්පවත්නා මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් ලැබෙන්නට නියමිත ප්‍රතිලාභවලින් උපරිම ප්‍රයෝජන රට වෙනුවෙන් ගත යුතු බව ද ඇමැතිවරයා පැවසීය. මෙම ප්‍රීතිමත් අවස්ථාව සතුටින් සමරා ශ්‍රී ලංකාව සහ කොළඹ සැලැස්ම අතර පවතින කල්පවත්නා ස්ථිර මිත්‍රත්වය නැවත ගොඩනැඟීම උදෙසා එක්වන ලෙස ද ඇමැති බන්දුල ගුණවර්ධන එහිදී සැමට ආරාධනා කර සිටියේ, කොළඹ ක්‍රමය යළි පණ ගැන්වීමේ බලාපොරොත්තුව ද සමඟිනි.
1951 වසරේ ජූලි 1 වැනි දා සිට ක්‍රියාත්මක වූ කොළඹ ක්‍රමයෙන් අදටත් අපට ප්‍රතිලාභ රැසක් හිමි වේ. 2023 වසර රටේ තත්ත්වය තීරණාත්මකව විසඳෙන කාලයක අද ආපසු කොළඹ ක්‍රමය හිස ඔසවා තබන්නට මඟ විවර වී ඇත.
1950 වසරේදී මෙයට මූලික වූයේ සුවිශේෂ වූ දේශපාලඥයෙකි. ඔහු නමින් ජේ.ආර්. ජයවර්ධනය. එදා සමුළුවට සහභාගි වූ ජේ. ආර්. ජයවර්ධන කොළඹ ක්‍රමය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ මෙසේය.
“අපේ පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත්වන හා අයත් නොවන ආසියානු කලාපයේ නොදියුණු රටවල් දියුණු කිරීම සඳහා වන ආර්ථික වර්ධනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වන කරුණක්. ඒ රටවල කෘෂිකර්ම ක්‍ෂේත්‍රයත් කාර්මික ක්‍ෂේත්‍රයත් වර්ධනය කිරීමෙන් එය ජයග්‍රහණය කළ හැකියි. එසේම එම රටවල් සංවර්ධනය කිරීමේ දස අවුරුදු සැලැස්‌මක් ක්‍රියාත්මක කිරීම පිණිස ඊට අවශ්‍ය දත්ත ලබා ගැනීමට මෙන්ම අදාළ රටවලට අවශ්‍ය නිලධාරීන් පත්කර ගැනීමටත් මෙම සම්මේලනයේදී අනුමැතිය ලැබිය යුතුයි. ඊට අමතරව අරමුදල්, තාක්‍ෂණ ඥානය, යන්ත්‍රසූත්‍ර හා නිෂ්පාදන දායකත්වය ලබා දීමේ හැකියා පිළිබඳ ද සොයා බැලිය යුතුයි.”
ජේ. ආර්. ජයවර්ධනයන් එලෙස යෝජනාව ඉදිරිපත් කළත් කොළඹ ක්‍රමය පිළිබඳ සම්පූර්ණ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව, නවසීලන්තය, සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ඒකාබද්ධය.
1950 වසරේ ජනවාරි 12 වැනිදා වැඩි ඡන්දයෙන් එම යෝජනාවට අනුමැතිය ලැබුණු අතර 1950 වසරේ මැයි 10 වැනිදා එම කමිටුවේ ප්‍රථම රැස්වීමෙන් පසු කොළඹ ක්‍රමය ආරම්භ විණි. ඒ අනුව කොළඹ ක්‍රමය ආධාර ලබා දීමේ ක්‍රමයක් ලෙස ස්ථාපනය කර එහි මුල්ම සාමාජිකයන් 7 දෙනා බවට පත් වුණේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, සහ කැනඩාව යන රටවල් හතයි. 1951දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්පූර්ණ සහයෝගය ඇතිව එම වසරේ ජූලි 01 වැනිදා කොළඹ ක්‍රමය ක්‍රියාවට නංවන ලද්දේ ජේ. ආර්. ජයවර්ධන සහ ඉදිරිපත් වූ පිරිස විසින් ලංකාව උදෙසා ලබා දුන් විශාල ජයග්‍රහණයක් ලෙසයි.
'කොළඹ ක්‍රමය' ආරම්භ වීමෙන් පසු සංවර්ධන යෝජනා ක්‍රමයන් ලෙස ලංකාවේ ගමනාගමනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මය වැනි ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා මුදල් වෙන් කෙරිණි. 'කොළඹ ක්‍රමය' නිසා අපට හිමි වූ ප්‍රතිලාභ අතුරින් කෘෂිකාර්මික කටයුතු පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කිරීම, හිඟුරාන සීනි කම්හල ආරම්භ වීම, ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමයේ ආරම්භය හා ජනපදවාසීන්ගේ යටිතල පහසුකම් නැංවීමත් මහජන සෞඛ්‍ය සේවා පුළුල් කිරීමත් සිදු විය. තව ද මහ බැංකුව ආරම්භ කෙරුණේ ද කොළඹ ක්‍රමයේ අතුරු ඵලයක් ලෙස 1950 වසරේදීය. 1962 දී 'කොළඹ ක්‍රමය' සැලැස්ම යටතේ කැනේඩියානු රජයේ ආධාර ඇතිව කටුනායක ගුවන් තොටුපළේ ඉදිකිරීම් සහ කැනේඩියානු ඩීසල් දුම්රිය එන්ජින් මෙරට භාවිතය ද ආරම්භ විය.
අප්‍රිකානු රටවල් කීපයකට සංවර්ධනය සඳහා විශේෂඥ ආධාර ලැබුණේ 1965 වන විට, දකුණු හා අග්නිදිග ආසියාතික රාජ්‍යයන් ද අමෙරිකා එක්සත් ජනපදය ද කොළඹ ක්‍රමය වැඩසටහනට එක්වීමෙන් අනතුරුවයි. 1977 සිට මෙම වැඩසටහන 'ආසියා පැසිපික් රටවල ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන ක්‍රමය' (Colombo Plan for Cooperative Economic Development in South and Southeast Asia ) යනුවෙන් වෙනස් කරනු ලැබූ අතර පසුව එහි සිටි ප්‍රබලම සාමාජිකයන් දෙදෙනකු වූ බ්‍රිතාන්‍යය සහ කැනඩාව 90 දශකයේ මුල භාගයේදී සංවිධානයෙන් ඉවත් විය. වර්තමානය වන විට රටවල් 28ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරනු ලබයි.
මෙම සංවිධානය ක්‍රියාකාරීව පවතින තෙක්ම එයට මුල්වූ ලාංකේය දේශපාලඥයාගේ අදහසින් ආරම්භ වුණු කොළඹ ක්‍රමය නම් ආධාර යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ අදටත් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ලැබෙන අතර, මේ වනවිටත් මෙම සංවිධානය ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතින බැවින් එදවස මෙන් බුද්ධිමත් නායකත්වයක් හිමි දේශපාලඥයකු විසින් අප රටට එම ප්‍රතිලාභ ලබා ගන්නට මූලිකත්වය ගෙන කටයුතු කරන්නට හැකියාව ලැබීම මහඟු වටිනාකමකි. මෙම සංවිධානයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන වැඩසටහන් ගණන 06කි. ඒවා නම්, පුද්ගලික අංශය සංවර්ධන වැඩසටහන, ඔසු උපදේශන වැඩසටහන, මහජන පරිපාලනය සහ පරිසරය පිළිබඳව වැඩසටහන, දිගුකාලීන ශිෂ්‍යත්ව වැඩසටහන, පාරිසරික සහ දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහන සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන ආදියයි.
එදා ලාංකේය ජයග්‍රහණයක් ලෙස ලත් කොළඹ ක්‍රමය 1950 ජනවාරි 9 වැනිදා කොළඹ 'විහාර මහා දේවි උද්‍යානයෙහි' දී පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුව පැවැත්වූ අතර, ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන 'ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන සඳහා කොළඹ සැලැස්ම' (The Colombo Plan for Cooperative Economic and Social Development in Asia and the Pacific) පිළිබඳ අදහස් දැක්වීය. එම සමුළුවේ මුලසුන උසුලන ලද්දේ අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ය. ඉන්දීය නියෝජිත පිරිස මෙහෙයවන ලද්දේ අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු ය. මහා බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් අර්නස්‌ට් බෙවන් මෙන්ම ඊට ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයෝ ද සහභාගී වූහ. සංවිධාන මණ්ඩලය ලෙස මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන, මංමාවත් හා කර්මාන්ත ඇමැති ගරු සර් ජෝන් කොතලාවල, ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැති සර් ඔලිවර් ගුණතිලක සහභාගි විය. මෙම සංවිධානය ක්‍රියාකාරීව පවතින තෙක්ම එයට මුල්වූ ලාංකේය දේශපාලඥයාගේ නම අදටත් කොළඹ ක්‍රමයෙන් සාර්ථක වූ රටවල් අතර බැබළෙමින් පවතිනු ඇත. 2023දී කොළඹ ක්‍රමයට පණ දෙන්නට රට වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කළ සැමට ද ඒ හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
නාමලී මාකලන්දාව