කදිර දිව්‍යරාජ සිනමා සිත්තම සමඟ වෙළෙඳපොළට | සිළුමිණ

කදිර දිව්‍යරාජ සිනමා සිත්තම සමඟ වෙළෙඳපොළට

 සැබෑ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු ලෙස රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත මේ මොහොතේ යොමු කරන්නේ, මන්දගාමී ගමනක යෙදෙන දේශීය සිනමා කර්මාන්තයට යම් අස්වැසිල්ලක් වෙමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ කුසලතාවයෙන් බිහි කළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම දේශීය සිනමා ක්‍ෂේත්‍රයට තිලිණ කරමිනි.

මෙම සද්කාර්යය සඳහා ඔහු තම රයිගම් රාජධානියේ ශක්තිය මුසු කර ගන්නේ, එම සිනමා සිත්තමේ තේමාවට ගැළපෙන රයිගම් “දෙවැනි බැත” නිෂ්පාදනය වැඩිදියුණු කිරීම තුළින් හඳුන්වාදෙන “රයිගම් දෙවැනි 1” සහල් නූඩ්ල්ස් මහා පාරමිතාවක් ලෙස සම්මාදම් කරගනිමිනි.

දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණ පාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර, ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කර ගත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කතා වස්තුව විචිත්‍රවත් ප්‍රේම වෘත්තාන්තයකි. ශිව පාර්වතී මංගල්‍යය, කඳ කුමරුන්ගේ ඉපදීම, අසුර පරාජය, දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය, කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුළු ඇසූ නොඇසූ කතා කදිර දිව්‍යරාජ සිනමා පටය තුළින් නැරඹිය හැකිය.

වසර 75ක් පිරුණු දේශීය චිත්‍රපට කර්මාන්තය සැබෑ අභියෝගයකට මුහුණ දී සිටී. එය උභතෝකෝටික ගැටලුවකි. සමාජ මාධ්‍ය, රූපවාහිනිය හා ආනයනික චිත්‍රපට හරහා ප්‍රේක්‍ෂක මනසට හුරුවී ඇති විචිත්‍රවත් නිර්මාණ දේශීය වශයෙන් නිර්මාණයවීම ඉතා විරලය. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක ලඟා කර ගැනීමේ ගැටලුවයි. ප්‍රාග්ධනය හා ආදායම් ඉලක්ක සපුරා ගැනීමට (අවම වශයෙන් නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට) ප්‍රේක්‍ෂකයන් මන්මත් කරන විචිත්‍රවත් නිර්මාණ බිහිකළ යුතුය. විචිත්‍රවත් නිර්මාණ නොමැති කළ ප්‍රේක්‍ෂක ආකර්ෂණය නැත. ප්‍රේක්‍ෂක ආකාර්ෂණය නොමැතිව විචිත්‍රවත් නිර්මාණ බිහිකළ නොහැක. මේ උභතෝකෝටිකය මත දේශීය සිනමා කර්මාන්තය එක තැන පල්වෙමින් පවතී. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ඉතා ඉහළ තලයක පවතින්නේ එරට ව්‍යාපාරික ප්‍රජාව හරහා අතිවිශාල ප්‍රාග්ධනයක් මෙම කර්මාන්තයේ යෙදවීම තුළින් ඇති කළ උද්දිපනය හරහාය.

Comments