ඕනෑම සුබ කටයුත්තකට පල දෙන සිද්ධි යෝගයක් සමඟ විශිෂ්ට ප්‍රතිඵල දෙන‍ සුබ මුහුර්තයක් 27 දා | Page 2 | සිළුමිණ

ඕනෑම සුබ කටයුත්තකට පල දෙන සිද්ධි යෝගයක් සමඟ විශිෂ්ට ප්‍රතිඵල දෙන‍ සුබ මුහුර්තයක් 27 දා

ලබන්නා වූ 27 වැනි බ්‍රහස්පතින්දා දින සවස 3.43න් පසු වෙළෙඳ ව්‍යාපාර, අමතර අධ්‍යාපන ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් නොව ඕනෑම සුබ කටයුත්තක් සඳහා යෝග්‍ය සිද්ධි යෝගයක් උදා වේ.

බ්‍රහස්පතින්දා දවස ගුරු ග්‍රහයාට අයත් බොහෝ දෝෂයන් භංග කෙරෙන දිනයක් වශයෙන් ප්‍රචලිතව ඇත. එම දවසේ ගුරුගේම නැකතක් වන විසා නැකත උදාව පවතින අතර සවස 3.43න් පසුව දසවක තිථියද උදාවන බැවින් සිද්ධි යෝගය බල පවත්වයි. ධනු, මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරුය. එම ලග්න හිමි අයටද තම නැකතට අනුව මේ දිනය, හෝරාව ගැළපේදැයි සොයා බලා අතිශය සුබපලදායක කටයුත්තක් ආරම්භ කිරීමට හැකි වේ. ආනන්ද්‍රාදී අටවිසි යෝග අනුව මේ සිද්ධි යෝගය පවතින සවස් වරුව ප්‍රවර්ධමා නම් සුබ යෝග බලයකට අයත් වේ.

බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවන, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත් හිමි අයට මෙදින සවස් වරුවේ යොදාගත හැකි ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පුළුවන. එදින සවස 3.43න් පසු රාහු කාලයද නොමැත. ඉගෙනීමේ යෙදෙන දරුවනට අලුත් පොත්පත් මිලදී ගැනීමට, සුදුසු ගුරු භවතෙකු හමුවීමට, තම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීමට බෝධි පූජා, දේව පූජා ආදියට යොමු වීමට මෙන්ම ගෙවත්තේ පොල්, තැඹිලි ආදි භවභෝග රෝපණයටද මේ දිනය තුළ සවස් කාලය යහපත් වේ. විවාහ සහ දරුපල ප්‍රමාද වූ අයට ගුරු අයත් වෘක්ෂය වන බෝධීන් වහන්සේ අසල නිසලව හිඳ අභිමතාර්ථ ඉටුකර ගැනීමට සුදුසුම දවසකි. බෝ පත්‍ර අතින් අහුලා දමා බෝ මළුව පිරිසිදු කර පැන් කළ 7ක් දමා කරණීයමෙත්ත සූත්‍රය සිංහලෙන් හා පාලියෙන් කියා සත්‍ය ක්‍රියාවක් කළත් මේ වරුවේ මහඟු ප්‍රතිඵල අත්පත් වේ.

මෙවන් යෝගයකින් භූමි දෝෂ ද භංග වන බැවින් තම නිවසෙහි පදිංචි ස්ථානයෙහි නවතා දමා තිබූ වැඩ කොටස් යළි ආරම්භ කිරීමටද හැකි වේ. මේ දිනවල ගුරු ලග්නගතව සිටින මේෂ ලග්න හිමි අයට රාහු ලග්නගතව සිටියත් මේ නැකතින් වැඩ කරගැනීමට හැකියාව පවතී.

එමෙන්ම ගුරු දෙවැන්නේ සිටින මීන ලග්න හිමියනට ගුරු සිවුවැන්නේ සිටින මකර ලග්න හිමියනට ගුරු 10 වැන්නේ සිටින කටක ලග්න හිමි අයට මෙන් ම ගුරු 11 වැන්නේ සිටින මිථුන ලග්න හිමියනටද සුබ පල දෙන අතර තම උපන් නැකතට සීහේදැයි බලා තීන්දු තීරණ ගත යුතුය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

Comments