ඔන්ලයින් පන්තිය | Page 3 | සිළුමිණ

ඔන්ලයින් පන්තිය

තරුන් ගිය අමතර පන්තිවලින් පණිවුඩ ආවේ ඔන්ලයින් පන්තිය ගැන කියලා. තරුන්ට හීන්දාඩිය දැම්මා. ස්මාර්ට් ෆෝන් එකක් කොහෙන් හොයන්න ද? කටක් ඇරලා අම්මට කියන්නෙ කොහොම ද? ඒකත් ගත්තැයි කියමු. ඒත් ඉතිං පන්තියට ගෙවන්න සල්ලි.

 

 

“අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන සිකුරාදා."

ඇඳේ හාන්සි වෙලා පොතක් කියවමින් හිටිය තරුන් ගැස්සිලා ගියා. අද බදාදා, ඒ කියන්නෙ තව දවස් දෙකයි. පහුගිය අවුරුද්දෙ එකොළහ වසරට එද්දි හිතක තිබුණ බලාපොරොත්තු කොයිතරම් ද කියලා කල්පනා වෙනකොටත් දැනෙන්නෙ තිගැස්මක්. තරුන්ගෙ හිතේ විතරක් නෙමෙයි අම්මා තාත්තගෙ හිතෙත් ගොඩක් හීන තිබුණා.

තරුන්ගෙ අම්මා ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එහෙම වුණෙත් ඉගෙන ගන්න බැරිකමකට නෙමෙයි. නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් තිබුණා තමයි. ඒ වුණාට තව කොයිතරම් දේවල් ඕනද ඉස්කෝලෙ ගමනට. ඒක නිසා හය දෙනෙක් හිටිය පවුලක තාත්තා කෙනෙක්ට පවුලෙ බර ගෙනියන්න උදවු වෙන්න තරුන්ගෙ අම්මගෙ ඉගෙනීම නවත්තන්න වුණා. තරුන්ට කවද හරි හොඳට උගන්නන්න ඕන කියලා තමයි අම්මගෙ හිතේ ලොකු ම ආසාව විදිහට පැලපදියම් වෙලා තිබුණේ.

තරුන්ගෙ තාත්තා ත්‍රීවීලර් එකක් එලෙව්වට සිගරට් අරක්කු බොන සල්ලි නාස්ති කරන ජාතියෙ නොසන්ඩාලයෙක් නෙමෙයි. අම්මගෙ හීනේ සැබෑ කරන්න පවුලක් විදිහට හැම උත්සාහයක්ම ගත්ත කෙනෙක්. පර්චස් පහක පුංචි ඉඩම් කෑල්ලෙ පොඩියට හරි ගේ කෑල්ලක් හදාගන්න පුළුවන් වුණේ ඒ නිසයි. උදේ පාන්දර ද රෑ ද කියලා බැලුවෙ නෑ. හයර් එකක් හම්බෙන ඕන වෙලාවක අතාරින්නෙ නැතිව ගියේ හැම දෙයක් ම කරගන්න තියෙන එම ආදායම් මාර්ගය ඒක නිසයි. හැබැයි අම්මත් නිකං හිටියේ නෑ. පොඩි කෑම ඕඩර් අරගෙන කළා. ඒවයිනුත් පොඩි ආදායමක් ලැබුණා. ඒ නිසා ගෙදර කන බොන වැඩ විතරක් නෙමෙයි පුතාගෙ ඉගෙනීමට අමතර පන්තිවලට යන වියදම් වුණත් ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. අරපිරිමැස්මෙන් වැඩ කරගන්න එක තමයි කරන්න තිබුණේ. සල්ලි තියන මිනිස්සු ගැන හිතලා හූල්ල හූල්ල කාලේ නාස්ති කරන්නෙ නැතිව තමන්ට පුළුවන් විදිහට තමන්ගේ අරමුණ කරා යන්නයි හිතුවෙ. ඔය පෝසත් කියන මිනිස්සුන්ගෙත් පරම්පරාවල දුක් විඳපු පරම්පරාවක් ඉන්න ඇති කියලා හිතුණ එක ඈව තවත් ධෛර්යවත් කළා.

පුතාට හොඳට උගන්නලා ඉවර වෙනකොට ගේත් ටිකක් ලොකු කරගෙන පිළිවෙළකට ඉන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබුණා. මොකද ගුරුවරු කිවුවෙ පුතා ඉගෙනීමට හොඳයි කියලයි. පුතා රස්සාවක් කරන කාලෙට තරුන්ගෙ තාත්තට ත්‍රීවීල් රස්සාව කරන්න ඕන වෙන එකක් නෑ. තවත් ටිකක් කල් යනකොට තාත්තා ත්‍රීවීල් එකක් එළෙව්ව ද කියලවත් මතක තියෙන එකක් නෑ. මතක තියෙන කෙනෙක්ට වුණත් ඒක අපේ ගෙදර වැඩට තිබුණ ත්‍රීවීල් එක කියල කියන එක ලොකු දෙයක් නෙමෙයි. බොරුවක් ම නෙමෙයි නෙ, ගෙදර වැඩටත් ගියේ ඒකෙනෙ.

තාත්තා ත්‍රීවීල් එකක් එළවන එක ගැන තරුන්ටත් වැඩි කැමැත්තක් තිබුණෙ නෑ. සමහර යාළුවන්ගෙ තාත්තලා ඩුබායිවල ඩ්‍රයිවින් කරන්නෙ කියලා ආඩම්බරයෙන් කිව්වට තමන්ට ඒ ආඩම්බරේ ඒ විදිහට නැති එකට නම් තිබුණෙ කනස්සල්ලක්. කොහොම වුණත් ත්‍රීවීල් රස්සාවෙන් ලැබෙන මුදල, මහන්සියෙ තරමට වැඩි කරගන්න පුළුවන් කියන එකත් වෙන රස්සාවකින් තාත්තගෙ අධ්‍යාපන මට්ටමට හරිහමන් පඩියක් ගන්න බැරි බවත් ඒ වයසෙදි තරුන්ට තේරිලයි තිබුණේ. මහන්සිවෙලා ඉගෙන ගන්න ඕන කියන අධිෂ්ඨානය හිතේ පැලපදියම් කරගන්න ඒකත් හේතුවක්.

අවුරුදු දාහතරෙ පහළොවෙදි අනිත් කොල්ලන්ගෙ හිත දහ අතේ දුවද්දි තරුන් කළේ පොත්පත්වල වැඩ. එයා වටේ ඉන්න පිරිස නම් අඩු වුණා තමයි. සමහර වෙලාවට කොල්ලන්ගෙ හිනාවට ලක්වෙන්නත් සිද්ධ වුණා. ඒ එකකින්වත් සැලුන කෙනෙක් නෙමෙයි තරුන්. අම්මයි තාත්තයි වෙන මහන්සිය ඉක්මනට නැති කරලා, තරුන් කියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ගෙ පුතා කියන කතාව මකලා දාන්න පුදුම ආසාවකින් තමයි පාඩම් වැඩ උනන්දුවෙන් කළේ.

තුන්දෙනාගෙම ඒ අහිංසක හීනවලට කණ කොකා හැඬුවෙ කොවිඩ් 19 වසංගතෙ පැතිරෙන්න ගත්තට පස්සෙයි. සියලු ගමනා ගමන නැවතිලා ලොකු අමාරුවකට වැටුණෙ එදිනෙදා හම්බකරගෙන කාපු තරුන්ලගෙ තාත්තා වගේ අය. ඉතිරි කරලා කියලා සල්ලියක් තිබුණෙත් නෑ. පඩි භාගයක් හරි ලැබෙන්න මාස් පඩි කාරයෙක් වුණෙත් නෑ. පොඩ්ඩක් හරි ආදායමක් හම්බුණේ අම්මගෙ කෑම හැදිල්ලෙන් විතරයි. ඒකත් වෙනද එන බිස්නස්වලින් බාගයයි. යන්තම් තුන්වේල කෙසේ වෙතත් දෙවේලක්වත් බඩට මොනව හරි වැටෙන ඒකත් උදව්වක් වුණා. රුපියල් පන්දාහක දීමනාවක් ගැනත් කතා වුණා. ඒක ලැබිලත් ගෙදර දොරේ කෑම වියදම පියවගන්න එක ලේසි නැති නිසාම තමයි මහ ලොකු ඉඩක් නැති වුණත් මිරිස් පැළයක්, වම්බොටු ගහක්, බණ්ඩක්කා ගහක්, නිවිති වැලක් වගේ දෙයක් වවා ගන්න ගේ වටේට තියෙන පුංචි ඉඩ පාවිච්චි කරන්න ඕන කියලා තරුන්ගෙ තාත්තට හිතුනෙ. නැත්තටම නැතිවෙලා ගියාම තමයි ගහක කොළයක් වුණත් අගේ මතක් වෙන්නෙ.

ලොක්ඩවුන් කාලේ බඩු බෙදන එකටවත් සම්බන්ධ වෙන්න ඕන කියලා හිතලා තරුන්ගෙ තාත්තා ඒ ජී ඔෆිස් ගානෙත් රස්තියාදු වුණා. ඒවට ගිහාම මීටරේ නෙමෙයි අඩියක පරතරයක්වත් තියා ගන්නව බොරු. ඒ කියන්නෙ එතනට ආපු හැම කෙනෙක්ටම මරණ බයට වැඩිය අද දවසෙ ජීවත් වෙන්න තියෙන අභියෝගයට තියන බය වැඩියි කියන එකනෙ.

ඔය අතරෙදි තමයි තරුන් ගිය අමතර පන්තිවලින් පණිවුඩ ආවේ ඔන්ලයින් පන්තිය ගැන කියලා. තරුන්ට හීන්දාඩිය දැම්මා. ස්මාර්ට් ෆෝන් එකක් කොහෙන් හොයන්න ද? කටක් ඇරලා අම්මට කියන්නෙ කොහොම ද? ඒකත් ගත්තැයි කියමු. ඒත් ඉතිං පන්තියට ගෙවන්න සල්ලි. ඩේටාවලට සල්ලි? තාත්තගෙ ආදායම නැති වුණාට පස්සෙ ඒකත් ලොකු ප්‍රශ්නයක්. විභාගෙ හරි විදිහට තිබ්බොත් තව තියෙන්නෙ මාස හයයි. එළවළු පාත්තියෙ වැඩ කරන ගමන් තරුන්ගෙ ඔළුවෙ වැඩ කළේ ඔන්ලයින් පන්තිය ගැන. අම්මට තාත්තට නම් ඒ ගැන කිසිම දෙයක් තාම කියන්න ගියේ නෑ. තියෙන ප්‍රශ්න උඩට තවත් ප්‍රශ්න දාන එක හරි නෑ කියලා තේරෙන තරමට තරුන් බුද්ධිමත්.

පොත්වල වැඩ කරන්න කියලා තරුන්ට අමුතුවෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ. මේස කෑල්ල උඩ තියාගෙන පොත් පාඩම් කරන එක තරුන්ගෙ පුරුද්ද. ඒ වෙන කොට පාඩම් ගොඩක් ඉවරවෙලා තිබුණේ. තව ටිකයි උගන්නන්න තිබුණෙ. ඊට පස්සෙ ඉතින් කොහොමටත් කෙරෙන්නෙ ප්‍රශ්න පත්තර සාකච්ඡා කරන එක. හැබැයි ඒක තමයි වැදගත්ම කොටස. තරුන් ඉවර කරලා තියෙන පාඩම්වල ප්‍රශ්න ටිකත් හොයාගෙන උත්තර ලියන්න පුරුදු වුණෙත් විභාගෙ ගැන ලොකු බලාපොරොත්තුවකින්. හොඳ වෙලාවට ප්‍රශ්න පත්තර පොත් කලින්ම අරගෙන තිබුණේ.

ගේ පිටිපස්සෙ තාප්පයක් තිබුණට ඒක තරුන්ලා හදපු එකක් නෙමෙයි. අනිත් පැත්තෙ ගෙදර තාප්පෙ. ඒ ගෙදර ඉන්නෙ ගුරුවරියක් කියලා දන්නවා වුණාට කතාබහක් කරලා නෑ. ඒ මිනිස්සුන්ට කතා කරන්න ඕන කමක් නෑ. එහෙම නැත්නම් අඩු ආදායම්ලාභීන් එක්ක කතා කරන්න ගිහිල්ලා කරදර දාගන්නෙ මොකට ද කියල ද දන්නෙත් නෑ. ඒ ගෙදර කාර් එකකුත් තියෙනවනෙ. ඉතිහාසය ඔන්ලයින් පන්තියක් පටන් අරගෙන වගෙයි. ගුරුවරු කියන්නෙම හොඳ හඬ පෞරුෂයක් තියෙන අයනෙ. හරිම පැහැදිලිව පාඩම උගන්නනව ඇහෙන්නෙ. තරුන්ට දැනුනෙ පුදුම සන්තෝසයක්. වතුර දාන එක නවත්තලා ඉක්මනට පොතයි පෑනයි අරගෙන බිම තිබුණ ලී කොටේ උඩ වාඩි වුණා.

"ඇයි පුතේ කාමරේට ගිහින් පාඩම් කරන්නකෝ..." කියලා අම්මා එතනින් යන ගමන් කියාගෙන ගියේ ඉඳිආප්ප ටික හදන්න යන්න තියෙන හදිස්සියත් එක්ක.

"නෑ අම්මේ මෙතන සනීපයි. වත්තෙ හොඳට හුළඟ තියෙනවා."

එච්චරයි තරුන් කිව්වෙ. මිනිස්සු අසරණ වෙන වෙලාවට මොකක් හරි පිහිටක් ලැබෙනවා කියලා තරුන්ට හිතුණා. ඉතිහාසෙයි භූගෝලයයි ඉංග්‍රීසියි තුනම ඒ ගුරුවරිය උගන්වන බව. ඒ පාඩම් අස්සෙ ළමයින්ට කියන හැටි තරුන්ට ඇහුණා. එදා ඉඳලා වත්තෙ ඉඳගෙන ඒ පාඩම් අහගෙන ඉඳලම තරුන්ට ප්‍රශ්නවලට උත්තර කටපාඩම්. විභාගෙට උත්තර ලියන්න ඕන විදිහ, ලකුණු දෙන පිළිවෙළ.... ගුරුවරිය කියන හැම දේම අහගෙන හිටියේ ලොකුම සන්තෝසයකින්, උනන්දුවකින්.

"පුතේ.... නිම්නය, සානුව.... මතක ද මං පහුගිය පාඩමේ කියලා දීපුවා? මං දැන් පෙන්නන්නෙ නෑ. පුතාලගේ පොත කැමරා එකට අල්ලන්න.... හා හරි මට දැන් පෙන්නන්න රකිත සානුවක්."

තත්පරයක් යන්න ඉස්සෙල්ලා ඒක පෙන්නන්න තරුන්ට පුළුවන් වුණාට ඒ සම්බන්ධතාවයන් තරුන්ට නෑ නේද කියලා පොඩි දුකක් දැනුණා තමයි.

"දරුවනේ මතක තියා ගන්න මේ වගේ ප්‍රශ්නයක් මේ අවුරුද්දෙ එනවාමයි. හොඳට ලෑස්ති වෙලා යන්න."

ඒ වාසනාව එතනින් නැවතුනේ නෑ. ගෙදර ඉස්සරහ පැත්තෙ තිබුණ ගෙදර හිටියෙ ගණිතය සහ විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. ඒ පැත්ත එළවළු පැළ ළඟට වෙලා ඉගෙන ගත්තෙ ගණිතයයි විද්‍යාවයි. ඒක හොරකමක් නෙමෙයි කියලා තරුන් තමන්ගෙ හිතටම කියා ගත්තා.

සාමාන්‍යයෙන් ටියුෂන් පන්තියක එක විෂයකට සතියකට තියෙන්නෙ එක දවසයි. හැබැයි මේ හුළඟත් එක්ක ගනුදෙනු කරපු පන්තියෙ එකම පාඩම තුන් හතර පාරක් ඉගෙන ගන්න වාසනාව තරුන්ට ලැබුණා. මොකද කණ්ඩායම් කීපයකට ඒ ගුරුවරු දෙන්නම ඉගැන්නුවා.

"ඇයි පුතේ හැම වෙලේම මිදුලට වෙලා වැඩ කරන්නෙ?"

තරුන් ඒවට උත්තර දෙන්න ගියේ නැත්තෙ අම්මගෙ හිත රිදෙයි කියලයි.

"නෑ අම්මෙ මට කම්මැළි වුණාම පැළවලට සාත්තු කරන්නත් පුළුවන්නෙ. මේ බලන්නකො අම්මෙ දැම්මම සමහර ගස්වල මලුත් ඇවිල්ලා. ඇයි අම්මා අහලා නැද්ද ගස්වලට ආදරෙන් කතා කළාම ඒගොල්ලො අපිට ගෙඩි හදල දෙනවා කියලා."

අම්මගෙ හිනාව තුළ තිබුණෙ බලාපොරොත්තුවක සතුටක්. වේලක් කන්න මොනව හරි ලැබෙන එක මේ වෙලාවෙ හැටියට කොච්චර දෙයක් ද?

විභාගෙ ටිකක් කල් ගිය එක ගැන පොඩි සන්තෝසෙකුත් තරුන්ට තිබුණා. ඉඳලා හිටලා හම්බෙන යාළුවෙක් ඇයි ඔන්ලයින් පන්ති එන්නැත්තෙ කියලා ඇහුවත් තරුන් කළේ හිනාවෙන එක විතරයි. කොහොම වුණත් විභාගෙට නම් ගියේ ලොකු විශ්වාසෙකින්. හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබුණා. එහෙම කරපු විභාගෙ ප්‍රතිඵල තමයි දැන් නිකුත් වෙන්න යන්නෙ.

ප්‍රතිඵල ආවා කියපු ගමන් තරුන්ට තිබුණෙ ඒක බලාගන්න පුදුම කලබලයක්. අන්තර්ජාල පහසුකම් තියෙන යාළුවෙක්ගෙ ගෙදර ගිහින් නොම්මරේ එයාට දීලා හිටියෙ මීටරේ දුරින්. හිතේ තියෙන හදිස්සියට ලොග් වෙන්න අමාරුයි. හැමෝම ප්‍රතිඵල බලනවා වෙන්න ඕන.

"මචං මං නං ගොඩ, ඒ හතරයි බී පහයි."

යාළුව වෙනුවෙන් පහක් දාපු තරුන්ට දැනුනෙ පපුවෙ ගැස්ම වැඩි වුණා කියලා.

"අඩෝ... ආයි කියපං නොම්මරේ."

කොළේක ලියාගෙන ආපු නොම්මරේ ගැන තරුන්ට සැකයක් නම් නෑ. ඒත් යාළුවා ඒක හරියට ටයිප් කළා ද කියලා බලන එක නම් හොඳයි.

"මචං නියමයි, උඹට ඒ නවයයි."

තරුන්ට දැනුනෙ පුදුම සන්තෝසයක්. දෙයියො මූණ බැලුවා. ඔන්ලයින් පන්තිවලට යන්න සල්ලි නැතිව ඒ ඇස්වලට ආපු කඳුළුම තරුන්ගෙ ඇස්වල තිබුණා. ඒ කඳුළුවලයි මේ කඳුළුවලයි තිබුණෙ මොන වගේ වෙනසක් ද කියලා නම් තරුන්ට හිතාගන්න බැරි වුණා. යාළුවට තෑන්ක් යූ කියලා ගෙදර දිව්වෙ අම්මලාට පණිවුඩේ කියන්න. ගෙදර යනකොට ටී.වී එකේ නිවුස් යනවා. සාමාන්‍ය පෙළ විභාගෙ සිංහල මාධ්‍යයෙන් පළවෙනියා කියලා ඉවරයි.

"මුළු දිවයිනෙන් දෙවනි ස්ථානයට තුන්දෙනෙක් ඉන්නවා. මොරටු මහා විද්‍යාලයේ තරුන් නිශාන් මලවිආරච්චි."

ඒ නම ඇහිලා කුස්සියෙ හිටපු අම්මත් දුවගෙන ආවා.

"අම්මෙ මට ඒ නවයයි. ලංකාවෙන්ම දෙවනියා."

"මගේ පුතේ... උඹව දෙයියො බැලුවා."

තරුන් කල්පනා කළේ මේ ගැන වොයිස් කට් ගන්න එන අයට තමන් පාඩම් කරපු හැටි කියන්නෙ කොහොමද කියලයි.

lජයන්තිමාලා පෙරේරා

Comments