ඒ වේලාවෙ ශලනිගෙ ඇස්වලට කඳුළුත් ආවා | සිළුමිණ

ඒ වේලාවෙ ශලනිගෙ ඇස්වලට කඳුළුත් ආවා

පෙම්වතා ගැන දන්නෙත් නෑ විවාහ වෙන දිනයකුත් නෑ

ශලනි තාරකා කියන්නේ ජනතාවගේ ටෙලි නිළිය හැටියට රසික හදවත් අතරේ ජනප්‍රියත්වය නොඅඩුව ලබන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. වසරේ ජනප්‍රියම මෙන්ම දක්ෂතම රංගන ශිල්පිනියක් ලෙස සම්මානිත වූ ඇය ජීවිතේ ස්වර්ණමය කඩඉමක් පසු කරන්නට සුදානමින් ඉන්නා බව ද මේ වෙද්දී නොරහසක්. කෙසේ වෙතත් ඇය අතිනත ගන්නේ කවුරුන් සමඟද යන්න මෙතෙක් හෙළි කර නැහැ.

කොහොම නමුත් ශලනි වෙනුවෙන් පළමු Bridal shower එකක් පසුගිය දිනෙක පවත්වා තිබුණා. එය සංවිධානය කර තිබුණේ අක්ෂි කණ්ඩායම විසින්. ශලනි එම Bridal shower එකේ ජායාරූපයක් සමඟ මුහුණු පොතට එකතු කර තිබුණේ මෙවැන්නක්. 

“මාල නෑ
වළලු නෑ
මේකප් නෑ
රන් මුතු මැණික් ඔබ්බවපු සාරි නෑ
ගෝල්ඩ් පාට කරපු රේන්ජ් රෝවර් නෑ
මල්කුමාරියෝ 100ක් නෑ
මහ ලොකු මැන්ෂන් එකක නෙමේ
ලොකේ ගරා වැටුණු බිල්ඩිමක දුන්න
පළවෙනි Bridal shower එක

Thank you අක්ෂි team

මේ surprise එක දුන්නේ අක්ෂි දෙවන අදියර රූගත කරද්දි අධ්‍යක්ෂක ශාන් සහ රංගන ශිල්පී කලණ අයියගේ මූලිකත්වයෙන්

අනේ මන්දා මේ දවස්වල මෙයාලත් මට විහිළු කරනවා“ යන්නයි.

කෙසේ වෙතත් මේ හැර කිසිවක් සිය විවාහ මංගල්‍ය ගැන ඇය තවමත් මාධ්‍යයට පළ කර නොතිබීමත් විශේෂත්වයක්. ඒ නිසාම ශලනිට ආදරේ කරන සුවහසක් ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ ලබන මස තුළ දී පැවැත්වෙන ශලනිගේ විවාහ මංගල්‍යය සිදුවෙන ආකාරය සහ ඇයගේ අතිනත ගන්නා ඔහු ගැන තොරතුරු දැන ගන්නයි.

ඒ නිසාම ශලනිට පළවෙනි Bridal shower එක සංවිධානය කළ අක්ෂි කණ්ඩායම එක්ක මේ ගැන ටිකක් කතා කරන්නට හිතුවා. මේ කතාබහට අපි සම්බන්ධ කර ගත්තේ අක්ෂි නාට්‍යයේ අධ්‍යක්ෂක ශාන් ජයරත්න.

“ශලනිට පළවෙනි Bridal shower එක දෙන්න දෙන්නේ අක්ෂි කණ්ඩායම. ඇයි එහෙම දෙයක් කරන්න හිතුවේ

ඇත්තටම අපේ අක්ෂි නාට්‍යයේ ප්‍රධාන චරිතය පරෙයි වත්තේ ආදි කියන්නේ ශලනි තාරකා රංගනයෙන් දායක වන චරිතය. නමුත් පසුගිය දිනවල අක්ෂි නාට්‍යය එක පාරටම වෙනස් වුණා. ඒ වෙනස් වීමත් එක්ක ආදී කියන චරිතය පෙනෙන්න හිටියේ නැහැ. හැබැයි නාට්‍යය තුළ ඉදිරියට ශලනි එන්නේ ආදිනි රණසූරිය කියන වෙනස්ම චරිතයකින්. ඒ පැමිණීමත් ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ ස්ප්‍ර‍‍යිස් එකක් විදියට. පරෙයි වත්තේ ආදි කියන චරිතයෙන් මිදිලා ඉස්සෙල්ලම ආදිනි රණසූරිය විදියට ෂූටින් ආව දවසේ තමයි අපි මේ Bridal shower එක කළේ.“

Bridal shower එකදෙන්නේ ශලනිගේ සැබෑ ජීවිතේ සිදුවෙන මංගල කාරණාවටනේ. තවමත් ඇය විවාහ වෙන දිනය සහ අගේ පෙම්වතා ගැන හෝ මාධ්‍යයට කියලා නැහැ. ඒ සියල්ලත් ඇය ප්‍රේක්ෂකයින්ට සර්ප්‍රයිස් එකක් විදියට දෙන්න ඉන්න වෙලාවේ අක්ෂි කණ්ඩායම ඇයට දුන්න මේ සර්ප්‍රයිස් එක ගැන මොකද කිව්වේ? 

“ඇත්තටම එයා දැනගෙන හිටියේ නැහැ. ලොකේෂන් එකට එනකම්ම මේ වගේ දෙයක් එයා වෙනුවෙන් තියෙන වග. ශලනි කියන්නේ මගේ ජිවිතේ පෞද්ගලිකවම මා දන්නා හිතවතියක්. ඒ අපේ තියෙන යාළුකම එක්ක තමයි මම හිතුවේ කවුරුත් කරලා නැති විදියේ සර්ප්‍රයිස් එකක් කරන්න. ශලනි තාරකා කියන්නේ මේ වෙද්දී ඉන්න දක්ෂතම ජනප්‍රියම නිළිය. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් එයාට දෙන්න පුළුවන් හොඳම ගෞරවයක් සහ අපේ එයා වෙනුවෙන් කළ යුතුයි කියලා හිතුන දෙයක්. ශලාට ඇත්තටම හිතාගන්න බැරි වුණා. එයා මුලින්ම හිතුවේ කාගේ හරි උපන්දිනයක් කියලා. අන්තිමට මම ගිහින් එයාට Bride To Be සඳහන් Bridel Sash එක දාද්දි තමයි ශලා දැනගත්තේ එයා වෙනුවෙන් මේ හැමදේම කළේ කියලා. ඒ වෙලාවේ ඇය සෑහෙන්න විනෝද වුණා සහ ඇයට සතුටු කඳුළු ආවා.“

විවාහයෙන් පස්සේ ශලනි රංගනයට සමුදෙනවා වගේ කතාත් පැතිරෙනවා. අක්ෂි එකේ ඉදිරියටත් ඇය ඉන්නවද?

“ඒ දේවල් බොරු කතා. මොකද අක්ෂි එකේම ඉදිරි ෂූටින්වලට අපිට දින දීලා තියෙනවා. අක්ෂි හි ප්‍රධාන චරිතය ශලනි. එයා නැතුව කතාව ඉදිරියට යන්නේ නැහැනේ. මම වගකීමෙන් කියනවා ශලනි කියන්නේ Unprofeshinol විදියට වැඩ කරන කෙනෙක් නෙවෙයි කියන එක. එයාගේ වෘත්තීය වෙනුවෙන් එයා නිසියාකාරව දින කළමනාකරණය කර ගන්න කෙනෙක්. මාස කිහිපයකට කලින් අපිට දැනුම්වත් කිරීමක් කළා මෙන්න මේ අදාළ දිනයන් බැහැ කියන එක. පිටපතට අනුවයි ඇය කතාවේ පේන්න නැත්තේ. ඒ හැර විවාහ මංගල්‍යය නිසා හෝ විවාහයෙන් පස්සේ රංගනයට සමුදීලා එහෙම නෙවෙයි. මගේ මේ අක්ෂි නිර්මාණය වගේම ධනුෂ්ක රත්නායකගේ අලුත් නිර්මාණයක සහ මගේ චිත්‍රපටයක ශලනි වැඩ කරනවා. ඒ නිසා වගකීමෙන් කියනවා විවාහයෙන් පස්සේ ශලනි රංගනයට සමුදෙනවා කියා පැතිරෙන කතා බොරු.“

ශලනි විවාහ වෙන්න යනවා කියන රාවය කාලයක් තිස්සේ පැතිරුණත් එහි උණුසුම වැඩි වුණේ අක්ෂි කණ්ඩායම දුන් මේ පළවෙනි Bridal shower එක නිසා. එදා ශලනිගේ ඡායාරූප ගත්තේ ඡායාෑප ශිල්පි දුමිල කල්ප. වෙඩින් එක දවසට මොන වගේ දෙයක් ද කරන්න ඉන්නේ කියලා ඇහුවාම ඔහු දුන්නේ මේ වගේ උත්තරයක්.

“ඒක නම් වෙඩින් එකෙන් පස්සෙම තමයි බලන්න වෙන්නේ. මොකද එහෙම නැත්නම් සර්ප්‍රයිස් එකක් වෙන්නේ නැහැනේ.“

Comments