අපගේ නිෂ්පාදන සියල්ල කාබනිකයි පරිසර හිතකාමියි | සිළුමිණ

අපගේ නිෂ්පාදන සියල්ල කාබනිකයි පරිසර හිතකාමියි

- අප Open Top Grow Bag හඳුන්වා දී තිබෙන්නේ විශේෂයෙන් පොලි ටනල්වල මහා පරිමාණයෙන් සිදු කෙරෙන වගා කටයුතු සඳහායි.
- වී, තේ, රබර් ,පොල්, බුලත් එළවළු, පලතුරු, මල් ඇතුළු සියලුම බෝග වර්ග සඳහා ඇග්‍රි කොකෝ ඉතා යෝග්‍යය යි.
- ඇග්‍රි කොකෝ පොහොරවලට රෝග සහ පළිබෝධ හානි අවම කිරීමේ හැකියාව පවතිනවා. අහිතකර පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ද වර්ධනය කරනවා.

ඇග්‍රි කොකෝ පුද්ගලික සමාගම යනු, රසායනික පොහොරවලින් දශක ගණනාවක් විනාශ වූ මේ ශ්‍රී ලංකා මහපොළොව සුවපත් කිරීමේ නියැළෙන තවත් එක් දේශීය පොහොර සමාගමකි. දේශීය පොහොර නිෂ්පාදනයෙන් නොනැවතී, මහ පොළොවට දිරා පත් වන පොල් ලෙල්ල කොහුබත් බවට පත්කොට, රටට ඩොලර් ඉපැයීම එම සමාගමේ තවත් විශේෂත්වයකි.

නවෝත්පාදන සමඟ ඉදිරියට යන එම සමාගම පිළිබඳ, එහි මෙහෙයුම් කළමනාකරු අවන්ත ශිහාන් දෙයාල අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

"අපගේ නිෂ්පාදන පෙළ වන්නේ, කාබනික ඝන පොහොර, කාබනික දියර පොහොර, කොහුබත් නිෂ්පාදනය සහ දේශීය එළවළු සහ මල් වගා කළ හැකි Open Top Grow Bag වර්ග කිහිපය යි.

ඇග්‍රි කොකෝ පුද්ගලික සමාගමෙන් නිෂ්පාදනය කරන කොහුබත්, කැටයක් ලෙස Value-added නිෂ්පාදනයක් බවට පත් කර අපනයනය සිදු කරන්නේ අපගේ ම කොන්සාර්ක් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයෙන්. එය වසර 30ක් පුරා ක්‍රියාත්මක වූ අපගේ ප්‍රධාන අපනයන ආයතනය යි. ඇග්‍රි කොකෝ පුද්ගලික සමාගම බිහි වන්නේ, දේශීය සැපයුම සඳහා, එම කොන්සාර්ක් ප්‍රයිවට් ලිමිටඩ් හි සහෝදර සමාගමක් ලෙසිනුයි.

මාසෙකට කොහුබත් කැට ටොන් 200ක් පමණ කොන්සාර්ක් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් අපනයනය කෙරෙනවා. කැනඩාව, ඇමෙරිකාව, ජර්මනිය සහ දකුණු අප්‍රිකාව අපගේ මෙම කොහුබත් කැට සාර්ථක වගා මාධ්‍යයක් ලෙස භාවිත කරනවා. විශේෂයෙන් සරුසාර පසක් නැති බොහෝ රටවලින් අපගේ මෙම කොහුබත් කැට සඳහා ඉල්ලුම් ලැබෙමින් පවතිනවා.

ඒ වගේම, අපගේ කාබනික පොහොර පිළිබද විශේෂයෙන් කිව යුතුයි. අපගේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ, මේ රටේ පස සරුසාර කරවන සහ සුවපත් කිරීමේ කාර්යයට දායක වීම අරමුණු කොට ගෙනයි.

රජයේ පොහොර සහනාධාරයට අප පොහොර දීම ආරම්භ කළේ 2022 යල සහ මහ කන්නයෙන්. පසුගිය 2023 යල කන්නයටත් අප පොහොර සැපයීම සිදු කළා.

ඒ අනුව, කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 1,000ක් සහ කාබනික දියර පොහොර ලීටර 10,000ක් පමණ මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළත මෙම ව්‍යාපෘතිය යටතේ අප සැපයුම් කර තිබෙනවා. ගොවීන් එයින් හොඳ අස්වනු ලබා ගත් බව අප සමග පවසා තිබෙනවා.

කාබනික පොහොර ව්‍යාපෘතියට රජයේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා නම් ඉදිරි කන්න සඳහා අවශ්‍ය තරම් කාබනික ඝන සහ දියර පොහොර සැපයීමේ හැකියාව සහ ශක්තිය අප ආයතනයට තිබෙනවා.

අපගේ කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ කුරුණෑගල කුලියාපිටිය පාරේ කොටිකාම්බේ, කිතලව ග්‍රාමයේ. මේ ගම්මානය අවට විසිපස් දෙනකු පමණ අප කර්මාන්තය හා වක්‍රව සම්බන්ධ වී කටයුතු කරනවා. විශේෂයෙන් කුකුළු පොහොර, ගොම පොහොර සහ එළු පොහොර කියන වර්ග තුනම අප භාවිත කරන නිසා, මේ පළාතේ කුකුළු ගොවිපළවලින් හ සුළු පරිමාණ සැපයුම්කරුවන්ගෙන් අප විශාල ලෙස අමුද්‍රව්‍ය මිල දී ගන්නවා.

ගොම පොහොර, අනුරාධපුරය නිකවැරටිය වැනි ප්‍රදේශවලින් සැපයුම්කරුවන් ගෙනැවිත් දෙන අතර, වියළි ගොම මිලදී ගන්නා විට එහි අන්තර්ගත වැලි ප්‍රතිශතය පිළිබඳව අප විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වගේම ගිණිසීරියා, ඉපිල් ඉපිල් වල්සූරියකාන්ත සහ සැල්වීනියා ටොන් ගණනින් භාවිත වන නිසා, ඒවා මේ ගම්මානය අවට බොහෝ සැපයුම්කරුවන් අපට ගෙනැවිත් දී යම් ආර්ථිකයක් හදාගෙන තිබෙනවා. අතු කපන, එකතු කරන සහ ප්‍රවාහනය කරන විවිධ අංශවල පිරිස් වෙතත් මේ ඔස්සේ රැකියා අවස්ථා උදා වී තිබෙනවා.

ඒ වගේම, ඉවතලන පලතුරු කොටස් අමුද්‍රව්‍යයක් ලෙස පොහොර සඳහා භාවිත කරනවා. මොකද, පලතුරුවල පොටෑසියම් බහුල යි. ඒ නිසා එවැනි දේ අප වෙත ගෙනැවිත් දී ආර්ථිකයක් හදා ගත් පිරිසක්ද සිටිනවා. පොහොර නිෂ්පාදනයේ දී හොඳ පෝෂක ද්‍රව්‍යයක් වන හෙයින්, අපේම වතු ආශ්‍රිතවත් විශාල වශයෙන් ගිණිසීරියා වගා කර තිබෙනවා.

ඒ වගේම, දියර පොහොර නිෂ්පාදනයේ දී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ මාළු ඔළුවලින් නිෂ්පාදනය කරන ෆිෂ් ටොනික් එකයි. ඊට අමතරව මුහුදු පැළෑටි, ඛනිජ වර්ග, මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක වර්ග, වර්ධක උත්තේජන ලෙසින් භාවිත කරනවා. මේ ෆිෂ් ටොනික් සහිත දියර පොහොර සඳහා මාසිකව මාළු ටොන් දහයක් පමණ අපට අවශ්‍ය වනවා.

මෙසේ නිෂ්පාදනය කරන දියර පොහොරවල ශාකයේ සමබර වර්ධනයට අවශ්‍ය පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, සින්ක් යන පෝෂක වර්ග සහ ඇමයිනෝ අම්ල ඉතා හොඳින් අන්තර්ගතයි.

අපි දැනට කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන රැසක් පිටරට යවනවා. ඉදිරියේදී කාබනික පොහොර අපනයනය කිරීම පිළිබදවත් සලකා බලනවා.

ඒ වගේම කුලියාපිටිය, වෙරළුගම තමයි අපේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ. ඒ හරහා අපගේ කාබනික පොහොර අවශ්‍ය ඕනෑම කෙනකුට සෘජුව මිල දී ගන්නට පුළුවන්. අපි දැනට කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ප්‍රධාන පෙළේ සැපයුම්කරුවකු ලෙසත් කටයුතු කරනවා. මේ සියල්ල සලකා බලන විට මාසිකව කාබනික ඝන පොහොර ටොන් 1,500ක් පමණ සහ දියර පොහොර ලීටර 20,000ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තිබෙනවා.

අපගේ පොහොරවල විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් කාබනික පොහොරවල තිබිය යුතු NPK නයිට්‍රජන් අවශ්‍යතාව 2.5% කටත් වඩා අන්තර්ගත වීමයි. ඒ වගේමයි, පොස්පරස් පොටැසියම් ප්‍රතිශතයත්. 

ශාක වර්ධනයට අවශ්‍ය පෝෂණය, පසේ තෙතමනය රඳවා ගැනීම මෙන්ම, ක්ෂුද්‍රජීවී වර්ධනයත් අපගේ කාබනික ඝන සහ දියර පොහොර යෙදීම ඔස්සේ සිදු වනවා. ඒ සඳහා පස තුළ හොඳ පසුබිමක් නිර්මාණය කරනවා. ඒ නිසාම අපගේ මේ පොහොර වර්ග දෙකම වී, තේ, රබර් ,පොල්, බුලත් එළවළු, පලතුරු, මල් ඇතුළු සියලුම බෝග වර්ග සඳහා ඉතා යෝග්‍යය යි. මොකද ශාක වර්ධනයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය ඒ අදාළ අනුපාතයන් ගෙන්ම අපගේ පොහොරවල අන්තර්ගත නිසා.

ඒ වගේම, අපගේ පොහොර භාවිතය නිසා ශාකවල හට ගන්නා රෝග සහ පළිබෝධ හානි අවම කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අහිතකර පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ද වර්ධනය වනවා. ශාකයේ වර්ධනයට සහ ඉහළ අස්වැන්නක් සඳහා අවශ්‍ය පෝෂක කොටස් සහ ස්වාභාවික වර්ධක හෝමෝන මෙහි අඩංගු වන අතර, ඒවා පත්‍ර සහ මුල් මගින් ශාකයට පහසුවෙන් උරා ගැනීමේ ශක්තිය ඇති කරවනවා.

අප හඳුන්වා දී තිබෙන Open Top Grow Bag ගැනත් කිව යුතුයි. එම ග්‍රෝ බෑග් විශේෂයෙන් හඳුන්වා දී තිබෙන්නේ, පොලි ටනල්වල මහා පරිමාණයෙන් සිදු කෙරෙන වගා කටයුතු සඳහාම යි. ඒ වගේම, නාගරිකව සිදු කෙරෙන වගාවන්ටත් මේ ග්‍රෝ බෑග් වඩාත් සුදුසුයි. එය තනි බෑග් සහ දිගටි හැඩයෙන් යුතු බෑග් ලෙස දෙයාකාරයකින් නිෂ්පාදනය වනවා. කොහුබත් දමා නිර්මාණය කර තිබෙන මෙම බෑග් එක ජලය දමා පෙඟෙන්නට හැර බීජ හෝ පැළ සිටුවීම කළ හැකියි. එය මහල් නිවාසවල ජනතාවට වුවත් ඉතා ප්‍රයෝජනවත්.

මේ ආකාරයේ පරිසර හිතකාමී පොහොර වර්ග, වගා මාධ්‍යයන් සහ Open Top Grow Bag නිෂ්පාදනයට අමතරව, අපගේ ව්‍යාපාර ජාලයට හෝටල් සමූහයක් ද අයත් වනවා. ඒවා නුවරඑළියේ සහ නුවර සංචාරක හෝටල් ලෙස ක්‍රියාත්මක වනවා.

ඉදිරියේ දී තවත් නවෝත්පාදන කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන්නත් අප බලාපොරොත්තු වනවා..."

Comments