
- සා.පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 99%ක් සමත්
- A 9 සාමාර්ථ 79ක්, A 8 සාමාර්ථ 53ක් A 7 සාමාර්ථ 25ක්
- දිනකට දෙවරක් අධ්‍යයන කටයුතු කළමනාකරණ කමිටු අධීක්ෂණයට
- සිසුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නංවන්න ඉංග්‍රීසි කාර්ය සාධන බළකායක්
- පුහුණුකරුවන් 26 දෙනකු යටතේ ක්‍රීඩා 18ක්
කොළඹ නගර මධ්‍යයේ අතිශය ජනාකීර්ණ සහ වටිනා ආර්ථික වටිනාකමක් සහිත මනරම් හරිත භූමියක පිහිටි මෙරට ප්‍රකට සිංහල බෞද්ධ පාසලක් ලෙස කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන මහානාම විද්‍යාලයේ ආරම්භය 1956 වසර දක්වා අතීතයට දිවෙයි. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගෙන් පුනර්ජීවය ලැබ ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන පනත හරහා පාසල් ආගමික සිද්ධස්ථානවලට අනුබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මහානාම විද්‍යාලයේ නිර්මාතෘ කොල්ලුපිටියේ වාලුකාරාමාධිපතිව වැඩ විසූ අපවත් වූ රාජකීය පණ්ඩිත මාවිත්තර රේවත හිමියන්ය. 1956 ජනවාරි මස 5 වැනිදා කනිෂ්ඨ පාසලක් ලෙස ආරම්භ වූ මහානාම විද්‍යාලයේ ආරම්භක සිසුන් සංඛ්‍යාව 87කි. ප්‍රථම විදුහල්පති ලෙස ගරු වේගොල්ලේ ධම්මානන්ද හිමියෝ කටයුතු කළහ. 1976දී මහ විදුහලක් බවට උසස් වූ මහානාම විදුහල ඉකුත් වසර 67 පුරා විශාල ගුණාත්මක සහ භෞතික දියුණුවක් ලබා ඇත. මේ වන විට සිසුන් 4,200 කගේ අධ්‍යාපන ඉලක්ක සාධනය කරන මහඟු තෝතැන්නක් බවට පත්ව ඇති මහානාම විදුහලේ 1-13 ශ්‍රේණිය දක්වා පන්ති ක්‍රියාත්මක වන්නේ 164ක් වන ගුරු මණ්ඩලයේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 39 දෙනකුගේ සහායෙනි. මහනාම විද්‍යාලයේ වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන්නේ වසර ගණනාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අධ්‍යාපනවේදියකු මෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන ප්‍රභාත් විතානගේ ය.
මේ දක්වා මහානාම විදුහල ලබා තිබෙන ජයග්‍රහණ අතරෙන් 2021/2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ජයග්‍රහණ ප්‍රමුඛ වේ. එම විභාගයට සිසුන් 362ක් ඉදිරිපත් වූ අතර, එයින් සිසුන් 357ක් එනම්, 99%ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුස්සෝ වූහ. A9 සාමාර්ථ 79ක්, A8 සාමාර්ථ 53ක් සහ A7 සාමාර්ථ 25ක් ලබා ගැනීමට මහානාම පුත්තු සමත් වූහ. එකී ප්‍රතිඵලවලට අනුව බොහෝ විෂයන්ගෙන් සමත්වීමේ ප්‍රතිශත ද ඉතා ඉහළ අගයක් ගන්නා අතර, සිංහල සහ ඉතිහාසය සමත්වීමේ ප්‍රතිශතය 99%කි. ඉංග්‍රීසි සහ විද්‍යාව 98%ක් සහ බුද්ධ ධර්මය සහ ගණිතය සමත්වීමේ ප්‍රතිශතය 97%කි. මෙවැනි විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට සිසුන්ගේ අධ්‍යාපනික සංවර්ධන සහ ප්‍රගතිය ප්‍රමුඛ කොට සලකා ගනු ලැබූ ක්‍රියාමාර්ග වෙසෙසින් ඉවහල් විය. ඒ සඳහා කොවිඩ් වසංගත සමයේදී මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුළින් විෂයය නිර්දේශය ආවරණය කිරීම සහ ශිෂ්‍ය ඇගැයීම් සාර්ථකව සිදු කිරීමට කැපවීමෙන් කටයුතු කළ ගුරු මණ්ඩලටත් ඒ සඳහා අගනා නායකත්වයක් දුන් එවකට මහානාමයේ හිටපු විදුහල්පති ඒ. එම්. ඒ. ඒ. සී. පෙරේරාටත් මෙම ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුතු බව වත්මන් විදුහල්පති ප්‍රභාත් විතානගේ සිහිපත් කළේය. 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔහු මහානාම විදුහල්පති ලෙස පත්වීම් ලැබ පැමිණීමට පෙර නැඟෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර සැලසුම් අධ්‍යක්ෂවරයකු ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතීය පාසල් දහසක් සංවර්ධනය කිරීමේ සහ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ ලෙස මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය.
ඒ සියලු අත්දැකීම් තුළින් 21 වැනි සියවසට ගැළපෙන පුරවැසියන් මහානාම විදුහලෙන් බිහි කිරීම සිය ප්‍රමුඛ අපේක්ෂාව කරගත් විදුහල්පති ප්‍රභාත් විතානගේ 2025 නව දැක්මක් සහිත විදුහලක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇත. ඒ සඳහා විශාල දායකත්වයක් දක්වන විදුහලේ කළමනාකරණ කමිටුව නිශානි අල්විස්, සඳමාලි බණ්ඩාර සහ ගාමිණි සමරකෝන් යන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් සහ සුමිත් චන්ද්‍රසිරි, කේ.කේ.සී.රත්නායක සහ ලසන්ති ඩී. මුතුකුඩ යන සහකාර විදුහල්පතිවරුන්ගෙන් සමන්විත වේ. ඉහළ කළමනාකරණ කමිටුවට පූජ්‍ය කනවරැල්ලේ සුමේධ හිමි (ප්‍රධාන ධර්මාචාර්ය, විනය පාලක), ටී.එම්. සුනේත්‍රා (6-7 අංශ ප්‍රධාන), රනිල් ගුණසේකර (8-9 අංශ ප්‍රධාන), මහී පුංචිහේවා (10-11 අංශ ප්‍රධාන), හේමන්ති රෙජිනෝල්ඩ් (කලා අංශ ප්‍රධාන), උත්තරී දේවිකා (වාණිජ අංශ ප්‍රධාන), දිල්හානි ධර්මරත්න (විද්‍යා,ගණිත අංශ ප්‍රධාන), ශානිකා ද සිල්වා (තාක්ෂණ අංශ ප්‍රධාන), ඉෂාරා විමලරත්න (ක්‍රීඩා පරිපාලක,01) සහ ජයන්තා බණ්ඩාර (ක්‍රීඩා පරිපාලක,2) ඇතුළත්ය. සිසු දරුවන්ගේ සහ විදුහලේ උන්නතිය වෙනුවෙන් ගන්නා සෑම ක්‍රියා මාර්ගයකදීම ගුරු මණ්ඩලය, මවුපියන් සහ ආදි ශිෂ්‍ය කමිටුවත් පාසල් සංවර්ධන කමිටුවත් දක්වන සහයෝගය ද ඉතා විශිෂ්ටය.
අ.පො.ස උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත, වාණිඡ, කලා සහ තාක්ෂණ විෂයය ධාරා හතරම ක්‍රියාත්මක වන අතර, 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහතික කරන වැඩපිළිවෙළ යටතේ වෘත්තීය දැනුම ලබා දෙමින් NVQ මට්ටමේ නිපුණතා සංවර්ධනය කිරීම සිදු වෙයි. ඒ සඳහා වෘත්තීය නිපුණයන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම්ගත ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා සම්පාදනය කර ඇති අතර, ඒ තුළින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂිතය. පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා කාලය සම්පූර්ණයෙන්ම අධ්‍යයන කටයුතු සඳහා වෙන්කර ඇති අතර, විෂයය සමඟාමී කටයුතු සහ ක්‍රීඩා සඳහා සිසුන් සහභාගි වන්නේ පාසල් වේලාවෙන් පසුව හෝ පාසල් නිවාඩු දිනයන්හිදී පමණි. ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සෑම මසකම අවසන් සිකුරාදා මාසික තක්සේරුකරණය සිදු කරන අතර, සියලු සිසුන්ගේ අධ්‍යයන කටයුතු දිනකට දෙවරක් කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ අධීක්ෂණයට ලක්වීම විශේෂත්වයකි.
දැනුමෙන් කුසලතාවෙන් මෙන්ම මනා පෞරුෂයෙන්ද පරිපුන් අනාගත පරපුරක් බිහි කිරීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් 26 දෙනකු යටතේ ක්‍රිකට්, පැසිපන්දු,බොක්සින්, රගර්, පිහිනුම්, බැඩ්මින්ටන්, වායු රයිෆල්, ස්කොෂ්, ටේබල් ටෙනිස් ආදී ක්‍රීඩා 18ක් විදුහල තුළ ක්‍රියාත්මක වන අතර, පාසලේ ක්‍රීඩා අංශය සඳහා ආදි ශිෂ්‍ය සංගමයෙන් අගනා සහායක් ලැබේ. මහානාම පුතුන් සිවුදෙනකු 2023/24 19න් පහළ ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන අතර, ජාතික බොක්සින් තරගාවලි රැසක් ජයග්‍රහණය කර රන් පදක්කම් 21ක්, රීදි පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 24ක් දිනා ගැනීමට මහානාම පුතුන් සමත් විය. මහානාම සිසුන් කිහිප දෙනකු 2012 සිට මේ දක්වා ජාතික රගර් කණ්ඩායම නියෝජනය කරන අතර, කණ්ඩායම දිනා ඇති ජයග්‍රහණ රාශියකි. මහානාම පැසිපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 14න් පහළ ඒ කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන අතර, විද්‍යාලයීය වායු රයිෆල් කණ්ඩායමට ශ්‍රී ලංකා වර්ණලාභීන් 5 දෙනකු ඇතුළත්ය. 2023 වයස අවු 11න් පහළ ජාතික හා සමස්ත ලංකා පිහිනුම් ශූරයා ද මහානාමයෙන් බිහි වූ අතර, මලල ක්‍රීඩා අංශය නිෙයා්ජනය කරමින් 2022 වසරේ මීටර් 100,මීටර් 100x4, මීටර් 400 තරග ඉසව් ජාතික මට්ටමේ ජයග්‍රහණ මහානාමය සතුය. ජාතික කනිෂ්ඨ ආධුනික ස්කොෂ් තරගාවලිය නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා ගැනීමට කෙටි කලක් තුළ මහානාම ස්කොෂ් කණ්ඩායම සමත් වූ අතර, ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලිය සහ අවුරුදු 15න් පහළ 2022 ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීමට මහානාම සිසුන් දෙදෙනකු සුදුසුකම් ලැබීම ද විදුහලේ ක්‍රීඩා ජයග්‍රහණ අතර වේ. කනිෂ්ඨ තූර්යවාදක කණ්ඩායමක් සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භට තූර්යවාදන කණ්ඩායමක් ද පාසල සතුය.
2025 නව දැක්මක් සහිත පාසලක් බවට පත්කිරීම සඳහා සුහුරු පාසල් සංකල්පය යොදාගැනීම සඳහා සියලු පන්ති කාමර සඳහා සුහුරු පුවරු සවි කිරීම නුදුරේදීම සිදුවේ. ඊට සමඟාමීව පාසල් කළමනාකරණය, ඉගෙනුම් කළමනාකරණය, අන්තර්ගත කළමනාකරණය, ශිෂ්‍ය තොරතුරු කළමනාකරණය ඇතුළත් සංයුක්ත තොරතුරු පද්ධතියක් ද හඳුන්වා දීමට අපේක්ෂිතය. 2003දී මහානාම විදුහල ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කළ අතර, මේ වන විට ඉංග්‍රීසි කාර්ය සාධන බළකායක් ද ක්‍රියාත්මක වන්නේ සිසුන්ට පාසල තුළ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අරමුණිනි. සිසුන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා ශිෂ්‍ය නායක ව්‍යුහයට නව ප්‍රතිසංස්කරණ එක් කිරීමට ද නියමිතය.
විෂයය සමගාමී කටයුතු වෙනුවෙන් සංගම් 34ක් ක්‍රියාත්මක වන අතර, වාණිජ, නව නිපැයුම්, කථික හා විවාද, රතුකුරුස, රිය නියාමක, ප්‍රථමාධාර ඒකකය, තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ බාලදක්ෂ යනාදී සංගම් සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඒ අතර වඩාත් ක්‍රියාකාරී වේ. එම සංගම් සියල්ලම ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙන්ම සැකසූ විෂයය සමගාමී ප්‍රතිපත්ති මාලාවක් යටතේය. විද්‍යාලයීය කුසලතා සංවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන මඟින් දරුවන් වෙනුවෙන් කෙටි කාලීන පාඨමාලා 25ක් සහ සා.පෙළ ප්‍රතිඵල අපේක්ෂිත දරුවන් සඳහා පැය 100ක දිගුකාලීන පාඨමාලා ක්‍රියාත්මක වේ. විද්‍යාලයීය ගරුතර සංඝරත්නයේ අනුශාසනා යටතේ බෞද්ධ සංගමය මඟින් පුණ්‍ය කටයුතු රාශියක් ක්‍රියාත්මක කරන අතර, “මහානාමය පින්බිමක්“ යන්න එහි එක් වැඩසටහනකි.
විද්වතා සෑම තැනකදීම පැසසුම් ලබන බව සිය ආදර්ශ පාඨය කරගනිමින් සමබර පෞරුෂයකින් යුතු පුරවැසියන් සමාජයට දායාද කිරීමේ වැදගත්කම ඉතා මැනවින් වටහාගෙන කටයුතු කරන මහානාම විද්‍යාලයේ ප්‍රාථමික අංශය ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන අවධි තුනක් යටතේය. දරුවාට ප්‍රීතිමත් ආරම්භයක් ලබා දෙමින් පළමු ප්‍රධාන අවධිය ආරම්භ වන අතර, දරුවාගේ කුසලතා හඳුනා ගන්නා වාර්ෂික ප්‍රදර්ශනය මෙන්ම නායකත්වයට මුලපුරන ප්‍රාථමික ශිෂ්‍ය නායක සංචිතය, සිසු නැණ ගුණ සමබර කරන ආගමික වැඩසටහන්, සිඟිති පෝතක බාලදක්ෂ ක්‍රියාකාරකම් ප්‍රාථමික අංශයට සුවිශේෂී වේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ඒකකයක් ද මහානාම විදුහල සතු වන අතර, වෙනස්කම් අවඥාවට ලක් නොකර සියලු දෙනාට එක සේ මානුෂීයව සැලකීමේ උදාර ගුණදම් මහානාම පුතුන්ට දායාද කරන්නට ඒ තුළින් අවකාශ සලසා ඇත.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න