භාවනානුයෝගීන් විනෝදකාමී පුද්ගලයන් බවට පත්වන අයුරු | Page 2 | සිළුමිණ

භාවනානුයෝගීන් විනෝදකාමී පුද්ගලයන් බවට පත්වන අයුරු

‘කාර්යබහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි විසි වැනි කොටසයි.

භාවනාව සම්බන්ධ ගැටලු 6ක් සම්බන්ධයෙන් අපි පසුගිය කලාපයෙන් හඳුනා ගතිමු. අද තවත් ගැටලු කිහිපයක් හඳුනා ගනිමු. 

•සත්වන ගැටලුව - බය

ඇතැම් අවස්ථාවලදී, වටහා ගත නොහැකි ලෙස භාවනාවේදී බියකරු හැඟීමක් ඇතිවිය හැකිය. මෙය සුලභ සිද්ධියක් වන අතර විවිධ කාරණා මෙයට හේතු කාරක වීමට ඉඩ ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ යටපත් වී තිබූ යම් කරුණක් ඔබ අත්දකිනවා විය හැකිය. සිතිවිලි පළමුව හටන්නේ අපගේ අවිඥානයේ බව මතක තබා ගනිමු.

සිතිවිලි සමුදායක චිත්තවේගයන් එය සිතිවිල්ලක් ලෙස ප්‍රකාශ වීමට පෙර ඔබගේ විඥානයට සෙමෙන් ගලා එනු ඇත. ඔබ එම බය පහව යනතෙක්ම එයට මුහුණ දුන් විට, එහි මතකය දරාගත හැකි මට්ටමකට ළඟාවෙයි. දෙවන හේතුවක් විය හැක්කේ, අප සියලුදෙනාම පාහේ බියක් දක්වන "නොදත් දේ පිළිබඳ බිය" සමඟ ඔබ ඍජුව ගනුදෙනු කිරීම විය හැකිය.

ඔබගේ භාවනා ජීවිතයේදී යම්කිසි අවස්ථාවකදී ඔබ සැබැවින්ම නිරතව සිටින කාර්යයේ බැරෑරුම්කම ඔබට දැනෙනු ඇත. තමාට ම ජීවිතය පිළිබඳව විස්තර කිරීම සහ තමා යථාර්ථයේ ගැඹුරෙන් වසා තැබීමට යොදාගත් මායාවේ බිත්ති ඔබ ඉරා දමමින් සිටියි.

පරම සත්‍යයට මුහුණට මුහුණලා හමුවීමට ඔබ සමීප වෙමින් ඇත. එය බියකරුය. නමුත් එය සමඟ කුමන මොහොතක හෝ ඔබ ගනුදෙනු කළ යුතුය. උත්සාහවන්තව ඒ පිළිබඳ ගැඹුරෙන් විමසා බලන්න.

තුන්වනුව, එය තමා විසින්ම ඇතිකර ගත් බියක් වීමට ද ඉඩකඩ ඇත. නිවැරදි නොවන සිත එකඟ කිරීමකින් එය මතුවනවා විය හැක. සමහරවිට "මතුවන දේ විභාග කිරීම" සඳහා ඔබ අවිඥානිකව (යටිසිතේ) වැඩපිළිවෙළක් සකස් කර ගන්නට ඇත. බියජනක මනඃකල්පිතයක් මතුවන විට සිතේ එකඟ බව එයට ආධාරක වී එම අවධානයේ ශක්තියෙන් මනඃකල්පිතය වර්ධනය වේ.

මෙහිදී පවතින සැබෑ ගැටලුව එළැඹි සිහිය මඳ බවයි. ශක්තිමත් අවදිමත් බවක් තිබුණා නම් අවධානය අන් අතකට යන මොහොතේ දී ම එය දැකගෙන, සාමාන්‍ය ආකාරයෙන් එය නිවැරදි කරනවා ඇත. කවර ආකාරයේ බියකට වුව ද පිළියම අවදිමත් බවයි. බිය පවතින ආකාරයෙන්ම එය නිරීක්ෂණය කරන්න.

එය ඔබට ඇති කරන්නේ කවර හැඟීමක් ද? එය සිරුරට කරන බලපෑම දකින්න. බියජනක සිහිනයක ඔබ හසු වී සිටිනා බව දැනගත් විට එවැනි දේ නිරීක්ෂණය කරන්න. රූප, රූප අයුරින්ම සහ මතකයන්, මතකයන් ලෙස ම දකින්න. පැමිණෙන චිත්තාවේගාත්මක ප්‍රතික්‍රියා දෙස බලා ඒවා ඇති සැටියෙන් දැකගන්න. එම ක්‍රියාවලියට හසු නොවී, ඔබ පසෙකට වී සිටින්න. උනන්දුවෙන් බලා සිටින්නෙකු සේ මුළු ක්‍රියාවලියම සලකන්න.

විශේෂයෙන් එම තත්ත්වය සමඟ සටන් නොවදින්න. මතකයන්, හැඟීම් හෝ මනඃකල්පිතයන් හෝ යටපත් නොකරන්න. ඒවාට මතුවී ඔබ පසුකර යෑමට ඉඩ සලසමින් ඔබ පාරෙන් ඉවත්වන්න. එයට ඔබව රිදවිය නොහැකිය. එය හුදෙක්ම මතකයක් පමණකි. එය සිතින් මවා ගත්තකි. ඒ බිය මිස අන් කිසිවක් නොවේ.

විඥානික මතකයේ (උඩු සිතේ) සැරිසරන්නට බියට ඉඩ හැරිය විට, එය නැවත යටිසිතෙහි නොගිලෙනු ඇත. පසුව එය පැමිණ හොල්මන් නොකරනු ඇත. එය සදහටම ඉවත්ව යනු ඇත.

•අටවන ගැටලුව - නොසන්සුන් බව

බොහෝවිට, චංචල බව ඔබගේ යටි සිතේ සිදුවෙමින් පවතින ගැඹුරු අත්දැකීමක් සැඟවීමකි. මනුෂ්‍යයන් වන අපි බොහෝ දේවල් යටපත් කිරීමෙහි දක්ෂයෝ වෙමු. අමිහිර සිතිවිලිවලට මුහුණ දෙනවා වෙනුවට අපි ඒවා වළලා දැමීමට උත්සාහ කරමු.

මෙහිදී ප්‍රශ්නය සමඟ ගනුදෙනු කිරීමට අපට සිදුනොවේ. අවාසනාවකට එය මුළුමනින්ම සාර්ථක ක්‍රමයක් නොවේ. අප සිතිවිල්ල සඟවන නමුදු, එය සැඟවීම සඳහා යොදවන මානසික ශක්තිය ඒ මත සිට බුබුළු දමමින් පැසවයි.

එහි ප්‍රතිඵලය චංචල බව ලෙස හෝ කලබලකාරී බව ලෙස හඳුන්වන අපහසු ගතියයි. එයට නිශ්චිත හේතුවක් අපට දැක්විය නොහැකිය. නමුත් ඔබ සිටින්නේ අපහසුවෙනි. ඔබ නොසන්සුන්ය. භාවනාවේදී ඇතිවන මෙම තත්ත්වය දෙස හොඳින් බලන්න. ඔබව පාලනය කිරීමට එයට ඉඩ නොදෙන්න. පැනලා නොදුවන්න. එයට පවතින්නට ඉඩ හැර, සමීප වී එය දෙස බලන්න. එවිට යටපත් වූ කාරණය ක්‍රමයෙන් මතු වී ඔබගේ සිතට පීඩා කළේ කුමක්ද කියා ඔබ දැන ගනියි.

ඔබ මගහැරීමට උත්සාහ දරන අමිහිරි අත්දැකීම් කුමක් හෝ විය හැකිය. වරදකාරී හැඟීම්, කෑදරකම හෝ වෙනත් ඕනෑම දෙයක් විය හැකිය. එය සුළු වේදනාවක් හෝ සියුම් රෝගී තත්ත්වයක් හෝ ඔබ කරා පැමිණෙමින් පවතින ව්‍යාධියක් හෝ වීමට ද ඉඩ තිබේ.

එය කුමක් වුවද එයට එන්නට ඉඩ හැර, සිහියෙන් එදෙස බලන්න. නිසලව වාඩි වී, ඔබගේ නොසන්සුන්තාවය දෙස බලා සිටින විට, එය ඉබේම නැති වී යයි. චංචල භාවය නොතකා, නොකඩවා භාවනාවේ යෙදී සිටීම ඔබගේ භාවනා දිවියේ සුළු දියුණුවක් ලැබීමකි. එය ඔබට බොහෝ දේ උගන්වයි. නොසන්සුන්කාරී බව සිතෙහි මතුපිටින් දුවන මානසික තත්ත්වයක් බව ඔබට පෙනෙයි. එය ස්වභාවයෙන් ම අස්ථිරය. ඔබ වෙත පැමිණෙන එය ඔබගෙන් ඉවත්ව යයි. එය කෙසේවත් ඔබ ග්‍රහණය කර නොගනී.

•නවවන ගැටලුව - අධික වෙර දැරීම

දියුණු තත්ත්වයක පසුවන භාවනානුයෝගීන් ඉතා විනෝදකාමී පුද්ගලයන්ය. මිනිසුන් අතර පවතින ඉතාම වටිනා ගුණාංගයක් වන හාස්‍යය දැකීම් හා දැන්වීමේ හැකියාව ඔවුන් තුළ පිහිටා ඇත. එය සංවාද වැඩසටහනක් (Talk Show) මෙහෙයවන්නෙකුගේ වැනි නොගැඹුරු මුඛරි ප්‍රති උත්තර දීමේ හැකියාව නොවේ.

එය සැබෑ හාස්‍ය රසයකි. තමාගේම මානුෂික දුර්වලතා පිළිබඳව ඔවුනට සිනහ විය හැකිය. පෞද්ගලික ආපදාවන්හිදී ද ඔවුනට සිනහසීමට පුළුවන. සමහරවිට භාවනාවට ආධුනිකයෝ, ආරම්භයේදී, තමන්ගේම සුබ සිද්ධිය සඳහා බැරෑරුම් බවක් පවත්වා ගනිති. භාවනාවේදී ලිහිල් බව හා සැහැල්ලුව ඉතා වැදගත් වෙයි. සිදුවන කුමක් හෝ දෙස පිටතින් බැලීමට අපි ඉගෙන ගනිමු. ඔබ දැඩි බවකින් හෝ ආතතියකින් සිටින විට මෙසේ කළ නොහැක.

ආරම්භක භාවනා පුහුණුවන්නෝ ප්‍රතිඵල ලබාගැනීමට මහත් ආශාවක් දක්වති. ඔවුන් පමණට වඩා පිම්බුණු බලාපොරොත්තුවලින් පිරී ඇත්තන්ය. ඔවුහු ඇදහිය නොහැකි ප්‍රතිඵල ක්ෂණිකව බලාපොරොත්තු වෙති. ඔවුහු ඉක්මන් වෙති. ආතතිය ඇතිකර ගනිති. බොහෝ වෙහෙසී එය ඉතා දරුණු හා බරපතළ කාරණයක් කර ගනිති. මෙවැනි ආතතිය සිහියට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. ඔවුන්ගේ දිනා ගැනීම් සැබැවින් ම ඉතා ස්වල්පයකි.

එවිට භාවනාව එතරම් ආකර්ෂණීය දෙයක් නොවන බවට ඔවුහු තීරණය කරති. එය ඔවුනට අවශ්‍ය වූ දෙය ලබා නොදුන් බැවින් ඔවුහු එය අතහැර දමති. ඔබ භාවනාව ඉගෙනගන්නේ එහි යෙදීමෙන් පමණක් බව සිහි තබා ගන්න. භාවනාව යනු කුමක්ද හා එය ඔබව කොතැනකට යොමු කරයිද? කියා ඔබ ඉගෙන ගන්නේ ඍජු අත්දැකීමෙන් පමණක්ය. මෙම පුහුණුව පිළිබඳ අවබෝධය අල්ප බැවින්, ආධුනිකයෝ තමන් යන්නේ කොහේද කියා නොදනිති.

ආධුනිකයාගේ අපේක්ෂාවන් යථාර්ථවාදී නොවූ හා අනවබෝධයෙන් යුක්ත වූවකි. භාවනාවට ආධුනික වන ඇය හෝ ඔහු වැරදි දේ පිළිබඳ අපේක්ෂාවන් ඇතිකර ගන්නා අතර එයින් සිදුවන යහපතක් නැත. ඒවා බාධා ඇති කරයි. මහත් වෙහෙසක් දැරීම, දැඩි ගතිය, දොම්නස, වරදකාරී හැඟීම හා ස්වයං හෙළාදැකීමට මඟ පාදයි.

අධික වෙහෙසක් දරන විට යාන්ත්‍රික බවට පත්වන ඔබගේ උත්සාහය, අවදිමත් බව ඇති වීමට පෙරම එය පරාජය කරයි. මේ සියල්ල අත්හරින ලෙස ඔබට අපි අවවාද කරමු. ඔබගේ අපේක්ෂාවන් සහ අධික ලෙස වෙහෙසීම නවත්වන්න. අචල හා සමතුලිත උත්සාහයකින් භාවනාවේ නිරත වන්න. මහත් පරිශ්‍රමයකින් තොරව ඔබගේ භාවනාව රස විඳින්න. හුදෙක්ම සිහියෙන් සිටින්න. අනාගතය ගැන භාවනාව විසින් ම බලා ගනු ඇත.

•දසවන ගැටලුව - අධෛර්යවත් බව

අධික වෙහෙසක් දැරීමේ අවසාන ප්‍රතිඵලය ඉච්ඡාභංගත්වයයි. ඔබ ආතතියෙන් පෙළෙයි. අපේක්ෂා කළ දියුණුව ලබා නැති බව වටහා ගැනීමෙන් ඔබ අධෛර්යයට පත්වෙයි. පැරදුණු පුද්ගලයෙකු ලෙස ඔබට දැනෙයි. මෙය ස්වාභාවික වූවත් මුළුමනින්ම මගහැරිය හැකි තත්වයකි. මෙහි මූලාශ්‍රය යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් පසු පස යෑමයි. කෙසේ වෙතත් මෙය ඉතාමත් සුලභ තත්ත්වයක් වන අතර කොතරම් අවවාද ලැබූව ද ඔබට ද මෙවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ තිබේ. එයට විසඳුමක් ඇත. ඔබ අධෛර්යයට පත් වූ විට එම මානසික තත්ත්වය පැහැදිලිවම නිරීක්ෂණය කරන්න. එයට කිසිවක් එකතු නොකරන්න. හුදෙක්ම බලා සිටින්න. අසමර්ථ වූවා යැයි යන හැඟීම තවත් එක ක්ෂණික චිත්තාවේග ප්‍රතිචාරයක් පමණි. ඔබ එය හා පැටලුණු විට ඔබගේ ශක්තිය උපයෝගී කරගෙන එය වර්ධනය වෙයි. ඔබ හුදෙක් ම පසෙකට වී බලා සිටින විට එය නැති වී යයි.

භාවනාව අසමර්ථ වීම හේතුවෙන් ඔබ අධෛර්යයට පත්වීම හසුරුවා ගැනීම විශේෂයෙන් පහසු කාර්යයකි. පුහුණුවේදී ඔබ අසමත් වූ බවක් ඔබට දැනෙයි. සිහියෙන් සිටීමට ඔබ අසමත් වී ඇත. එම නොහැකියාව ගැන සිහියෙන් සිටින්න. එයින්ම ඔබගේ සිහිය නැවත පිහිටුවා ගෙන තිබේ. ඔබගේ පරාජයට හේතුව මතකයක් පමණක් මය. භාවනා පුහුණුවේදී නොහැකියාව කියා දෙයක් නැත. පසුබැසීම් හා අසීරුතා ඇත. මුළුමනින් ම භාවනාව අතහැරීම හැරුණු කොට වෙන අසමර්ථ වීමක් නැත.

ප්‍රතිඵල රහිතව විසි අවුරුද්දක් වැනි දිගු කලක් වූව ද ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක සිහියෙන් සිටීම කළ හැකිය. එය ඔබගේ තීරණයයි. කනගාටුවීම සිහියෙන් නොසිටින තවත් ක්‍රමයක් පමණි. සිහියෙන් නොසිටි බව මතක්වීම ම සිහිය පවත්වා ගැනීමේ ක්‍රියාවයි. එබැවින් මෙම ක්‍රියාවලිය නොකඩවා කරන්න. චිත්තවේගාත්මක ප්‍රතික්‍රියාවක් හේතුවෙන් ඔබගේ අරමුණින් බැහැර නොයන්න.

(මාංශ පේශීන් ලිහිල් වී නාඩිවල පණිවිඩ හුවමාරුව වෙනස් වන්නේ කෙසේද යන්න මීළඟ කලාපයෙන් සාකච්ඡා කරමු)

Comments