
ලංකාවේ ස්වභාවික උරුමයන් අතර වන කලාපයන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ජෛව විවිධත්වය සුරැකීම පමණක් නොව හරිත නිල්වන් පරිසරයක් මිහිකතට උරුම වන්නේ මේ වන සම්පතය. නමුත් මේ වන සම්පත දිනෙන් දිනට අඩු වී යමින් යන අතර වසරකට අවම වශයෙන් වන ඝනත්වයෙන් සුළු ප්‍රමාණයක් හෝ ගිනි ගැනීම්වලට ලක්වීම ඛේදවාචකයකි.
ළැව් ගිනි පැතිර යන විදේශීය රටවලට සාපේක්ෂව ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ප්‍රමාණාත්මකව මේ ප්‍රතිශතය අඩුවැඩි වූවත් මෙරට ස්වභාවික වනාන්තර විනාශ වීමට බලපෑ ප්‍රධානම හේතු අතර මුදුන් තැන ගන්නේ වනාන්තර ආශ්‍රිතව ඇතිවන ගිනි ගැනීම්ය. ජුනි, ජූලි හා අගෝස්තු යන මාස ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් වැඩියෙන් අසන්නට දකින්නට ලැබෙන මාසයන්ය. ඊට හේතුව මේ මාස ත්‍රිත්වයේ වියළි කාලගුණික තත්ත්වය හා සුළං හැමීමේ වර්ධනය ය. විදේශ රටවල මෙන් ලංකාවේ ස්වාභාවික ළැව් ගිනි ඇති නොවන අතර, වනාන්තර ප්‍රදේශවල හට ගන්නා ගිනි ගැනීම් සියල්ල මිනිසාගේ නොසැලකිල්ල නිසා ඇතිවන ගිනි ගැනීම් හෝ අහඹු ලෙස ඇතිවන ගිනි ගැනීම්ය.
කෙසේ වෙතත් වන ගිනි ගැනීම් හේතුවෙන් ස්වභාවික පරිසර පද්ධතීන්ට හා ජෛව විවිධත්වයන්ට සිදුවන හානිය සුළු පටු නොවේ. ලංකාවේ සමස්ත භූමියෙන් වන ඝනත්වය 29.6% කි. ලංකාවේ වනාන්තර ගිනි ගැනීම්වලට බලපාන හේතු අතර හේන් ගොවිතැන හේතුවෙන් සිදුකරන ගිනි තැබීම්, ඉඩම් පුළුල් කිරීම්, විනෝදය සඳහා සතුන් දඩයම් කිරීමට සහ ගව පාලකයන් ගවයන්ට ආහාර සැපයීමට අලුත් තණකොළ වැවීම යන හේතු මත ගිනි තැබීම් සිදු වන්නට, සිදු කරන්නට පුළුවන.
“බොහෝ විට ලංකාවේ ගිනි ගන්නේ තෘණ බිම්. මිනිස් ක්‍රියාකාරකම් නිසා යම් තැනකට ගින්දර දැමූ විට මේ බිම් පත්තු වෙමින් දිගින් දිගටම ගමන් කරනවා. ඊට සුළඟ හා වියළි කාලගුණය බලපානවා. බොහෝ විට මේ ගින්න ඝන වනාන්තර අසලට ගොස් නතර වෙන්න පුළුවන්. සමහර විට ෆයිනස්, යූ කැලිප්ටස් වනාන්තරවල යටි කැළයටත් ගිනි පත්තු වෙනවා. විශාල ගස්වලට හානි නොවෙන්න පුළුවන්. කලින් වසරේ ගිනිගත් ප්‍රදේශ මේ වසරේදීත් ඒ ආකාරයෙන් එහි කොටසක් ලෙස හෝ ගිනි ගැනීමකට ලක්විය හැකියි. මේ නිසා ගිනිගත් වනාන්තර හෙක්ටයාර් ප්‍රමාණය සඳහන් කිරීමේදී පසුගිය වසරේ ගිනිගත් කොටස ඉවත්ව ගණන් බැලිය යුතු වෙනවා. ද්විත්ව ගණනය කිරීම්වලින් වැරදි අදහසක් ඉස්මතු විය හැකියි.
ලංකාවේ වනාන්තර ස්වභාවිකව ගිනි ගන්නේ නැහැ. වියළි කාලය නිසා ගිනි ගැනීම් වාර්තාවීම් වැඩි විය හැකියි. විවිධ ආකාරයෙන් මේ ගිනි නිවීමට උත්සාහ කළත් ගිනි නිවීම තරමක් අසීරු කාර්යයක්. ගිනි ගැනීම් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අඩුවෙමින් යනවා. ඒ පැවැති වර්ෂාව නිසා. කැළයකට ගිනි තැබීම් නීතිමය වශයෙන් විශාල වැරැද්දක්. පයිනස් කැළයකට ගිනි තැබීම රුපියල් 10,000 සිට ලක්ෂය දක්වා වූ දඩයකට යටත්වන්නක්. මේ පුද්ගලයන් සොයා ගැනීම ඇත්තෙන්ම තරමක් අසීරු කරුණක් වුවත් ඔත්තු හරහා අදාළ වැරදිකරුවන් සොයා ගන්නවා. ගිනි ගැනීම් අහඹු ලෙසත් සිදු විය හැකියි. එක්තරා අවස්ථාවක කැළයක් තුළ වූ ආරණ්‍යයක හිමිනමක් විසින් කුණු ගිනි තැබීම නිසා කැළයක් ගිනි ගත්තා. බොහෝ විට කෝච්චියෙන් විසිවන ගිනි පුපුරු හරහා ගිනි ගැනීම් සිදු වෙන්න පුුළුවන්. හබරණ ප්‍රදේශයේ ඒ ආකාරයෙන් ගිනි ගැනීමකට ලක්වුණා. හරක්ට තණකොළ කැවීම සඳහා කැළෑ හා මාන පදුරුවලට ගිනි තියන අවස්ථා ඕනෑ තරම්. මෙසේ ගිනි තැබීමෙන් පසු වර්ෂාවත් සමඟ සතුන්ට ලබාදීමට සුදුසු අලුත් තණකොළ මතුවීම නිසා මෙසේ ගිනි ගන්නා අවස්ථා ඕන තරම්. වන්දනාවේ යන අය පාරේ ඉවුම් පිහුම් කිරීමත් මේ ගිනි ගැනීම්වලට තවත් හේතුවක්......... මෙම ගිනි නිවීම පහසු දෙයක් නොවුණත් ගින්න පැතිරීමට පෙර පටියක් ලෙස අදාළ ප්‍රදේශයකින් තණකොළ හා ගස් ඉවත් කිරීමෙන් ගින්න පාලනය කරනවා. “ ඒ අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහය. රජය විසින් වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇත්තේය. ඒ වසරක් සඳහා රුපියල් මිලියන 10ක් පමණය. මෙම මුදල් ප්‍රමාණය බොහෝ අවස්ථාවලදී ප්‍රමාණවත් නොවේ. වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම හා වළක්වාලීමේ අරමුණින්, වනාන්තර තුළට ගිනි ගැනීම් පැතිරීම වළක්වාලන පරිදි ගිනි ආරක්ෂණ බිම් තීරු (fire belts) ඇති කිරීම, ගිනි ගැනීම් බහුලව වාර්තා වන ප්‍රදේශ ආශ්‍රිතව ගිනි නිවීම් හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම මේ යටතේ සිදු කළ යුතුව ඇත.
“ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් බහුලව සිදුවන්නේ ජුනි, ජූලි හා අගෝස්තු යන මාස තුනේදි. ඊට හේතුව වියළි කාලගුණය හා සුළං තත්ත්වය වැඩිවීම. මීට මිනිස් ක්‍රියාකාරකම් හේතුවක් වුණත් එය මිනිසා විසින් සිතා මතා සිදු කළ එකක්ද නැතිනම් වුවමනාවෙන් සිදු කළ එකක්ද යන්න අතර දෝලනය වෙනවා.
මම හිතන්නේ මෙසේ ඇති වූ ගිනි ගැනීම්වලින් බහුතරයක් සිදුව ඇත්තේ අහඹු ලෙසයි. සිගරට් බී ඉවත දමන කොටය, ගිනි පුපුරු වැනි දේ හරහා නොසිතූ ආකාරයෙන් වනාන්තර විනාශ වෙන්න පුළුවන්. නමුත් අප්‍රිකා රටවල මෙන් ලංකාවේ ගස් ඇතිල්ලීමෙන් සිදුවන ස්වභාවික ගිනි ගැනීම් ඇතිවන්නේ නැහැ. ලංකාවේ සියලු වනාන්තර ගිනි ගැනීම් සිදුවන්නේ මානව ක්‍රියාකාරකම් හරහා හෝ අහඹුවෙන්. නමුත් ඊට මිනිසා අදාළයි. “ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සරත් කොටගමය.
ලංකාවේ පමණක් නොව ලෝකයේ ස්වභාවික පරිසර පද්ධති විනාශ වීම සඳහා සෘජුව බලපාන්නේ වනාන්තර ගිනි තැබීමය. මේ නිසා ජනතාවට අහිමිවන ස්වභාවික පරිසර පද්ධති සුළුපටු නොවේ. සෝදාපාළුව, උල්පත් සිඳීයාම, ශාඛ සහ සත්ත්ව ප්‍රජාව විනාශ වීම, ජලාශවල රොන්මඩ පිරීම, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම, ආක්‍රමණික ශාඛ විනාශ වීම වැනි දේ මේ හරහා සිදුවෙයි.
“වනාන්තරයක් ගිනි ගැනීම් සියලු අංශවලට ඇති කරන්නේ හානියක්. ගහ කොළ, දැවමය වටිනාකමින් යුතු ශාක, ජල පෝෂක ප්‍රදේශ, සත්ත්ව වාසස්ථාන හා පැටවු විනාශ වීම, පළාතේ දේශගුණය පවත්වා ගෙන යාම, කාබන් සංචිතයේ පැවැත්මට හානි වීම, භූමියේ සරුබව විනාශ වීම, ක්ෂද්‍ර ජිවීන් විනාශ වී වනාන්තරය කාන්තාරයක් බවට පත්වීම වැනි ආපදා මේ හරහා බහුලව සිදුවෙනවා. ස්වභාවික තත්ත්වයන් හරහා සිදුවන ගිනි ගැනීමට වඩා අපේ නොසැලකිලිමත් බව නිසා වන ගිනි ගැනීම් හානිය වැඩියි. වැඩිපුර ගිනි ගැනීම්වලට ලංකාවේ ලක් වන්නේ තෘණ බිම් අවට පැවැති වනාන්තරයි. සෙවණගල පළාතේ ඉරිඟු වගා කිරීම නිසා එම භූමිය නිතර පුලුස්සා දමනවා. ඒවා බොහෝ විට අවට කැළෑ දක්වා පැතිර යා හැකියි.
දඩයක්කරුවන් මරපු සතා සොයා කැළෑ එළි කර ගැනීමට ගිනි තැබීම් කරනවා. කැලිෆෝනියා වැනි වෙනත් රටවලට සාපේක්ෂව වසරකට ලංකාවේ වනාන්තර ගිනි ගැනිම් සිදුවන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයකින්. ලංකාවේ තැන තැන මෙවන් සිදුවිම් වාර්තා වුණත් වන ඝනත්වය හා සංසන්දනයේදී හානියකට ලක්වන්නේ ඉතා අඩු ප්‍රමාණයක්....“ ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහය.
වන ගිනි තැබීම් සම්බන්ධව ඇති නිති රීති පද්ධතිය ශක්තිමත් නොවන බව පරිසරවේදීන්ගේ චෝදනාවය. මෙවැනි වරද සිදුකරන්නන්ට එරෙහිව වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙන්ම 2009 අංක 65 දරන සංශෝධිත ආඥා පනතින් කැලෑ ගිනි තැබීම යටතේ දඬුවම් නියම වුවද ඒවා ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතුය. එසේම ලංකාවේ වන ගිනි ගැනීම් නිවීම සඳහා ශක්තිමත් තාක්ෂණයක් නොමැතිවීමටද ගැටලුවකි. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ගිනි පටි හෙවත් fire belt උපක්‍රමය පමණි.
“නිල්ගල, නකල්ස්, කඳුකර රක්ෂිත නිරන්තරයෙන්ම ගිනි ගන්නවා. වනාන්තර ගිනි ගැනීම් නිසා පරිසර පද්ධතීන්ට සිදුවන හානිය සුළු පටු නැහැ. මේවා සමහරක් යථා තත්ත්වයට පත්වන අතර සමහරක් යථා තත්ත්වයට යළි පත් වන්නේ නැහැ. ගිනි ගන්නා ප්‍රදේශය කුඩා වුවත්, ඒ කලාපයේ සිටින උරගයන් උභය ජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ වන්න පුළුවන්. ඒ වගේම කෘෂි කාර්මික, නාගරික, අර්ධ නාගරික ඉඩම්වල ගිනි තැබීම් සම්බන්ධව කිසිදු නීතිමය තත්ත්වයක් නැහැ. වියළි කලාපයේ වගා කටයුතු කරන ගොවීන්ට ද මේ ආරක්ෂිත ගිනි පටි ගැන දැනුම්වත් වීමක් නැහැ. සමහර අය බීඩි කොළ දලු ලෑමට හිතාමතා ගිනි තියෙනවා. නමුත් මේ සියල්ල සඳහා නීති රාමුව ශක්තිමත් නැහැ. එය ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ, පහසුකම් හිඟයක් පවතින්න පුළුවන්. තවමත් කැළෑ ගිනි නිවීම සඳහා ගිනි පටි යොදා ගන්නවා මිස අපේ රටේ තාක්ෂණය යොදා ගන්නේ නැහැ....අපි ඉදිරියට ගමන් කරන්නට නම් මේ අඩුපාඩු ශක්තිමත් කළ යුතුයි.....“ඒ පරිසරවේදී පුබුදු වීරරත්නය.
පරිසරවේදීන් හඬ නඟා පවසන්නේ හුස්ම පොදක් ලබා ගන්නට නම් අපේ පරිසර පද්ධතිය ආරක්ෂා විය යුතු බවකි. එසේ නොවුණහොත් අදට වඩා හෙට තත්ත්වය භයානක විය හැකිය. මේ පිළිබඳ අදාළ අංශ මීට වඩා අවධානය යොමු කරන්නේ නම් ලස්සන රටක් අනාගතයට ඉතිරි වනු ඇත.