
- වසර 18කට පෙර විදුහල්පති පුටුවට පැමිණියේ අහම්බෙන්
- දරුවන්ට සමීප වීම නිසා වෙන්වීම ගොඩාක් සංවේදීයි
පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වූ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විඩියෝව බොහෝ දෙනෙක් හැඟුම්බරව නැරඹූ වීඩියෝවක් විය. ගම්පහ බණ්ඩාරනායක විදුහල් සිසු දරුවෝ සිය විදුහල්පතිවරයා සමීපයේ තුරුලු වී හැඟුම්බරව කඳුළු බිඳු වැගිරෙව්වේ වසර 6ක් සිය පාසලවෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් සිදුකළ සිය ගුරු පියාණන්ට සමුදෙන්නටය. පාසලක නායකත්වය ගත් විදුහල්පතිවරයකුට එසේ සිසු දරුවන් හඬමින් සමුදීම මෙන්ම විදුහල්පතිවරයා දෙනෙතේ කඳුළු පුරවා ගනිමින් සමුගැනීම වත්මනේ විරල සිදුවීමකි.
යූ. දර්ශන ඉරාජ් චම්පික ද සිල්වා දැන් කොළඹ නාලන්දා විදුහලේ වර්තමාන නියමුවාය. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ හිටපු නියමුවා විය. වසර 6ක සිය විදුහල්පති භුමිකාව නිමා කරන්නේ පාසල වෙනුවෙන් සිසුන්ගේ හදවතටම කිඳා බැසූ විශිෂ්ට යුග මෙහෙවරක් අවසන් කරමිනි. ගම්පහ බණ්ඩාරනායකයේ දරුවන්ට පමණක් නොව වසර 11ක් පමණ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විදුහල මේ තරුණ නායකත්වය පෝෂණය වූ අධ්‍යාපන තෝතැනිය. මේ පාසල් ද්විත්වයේදී දරුවන්ට සමීප වෙමින් ගත් තීන්දු තීරණ, ගුණාත්මක අධ්‍යාපනික සංකල්ප හරහා පාසලට ලබා දුන් දැවැන්ත ජයග්‍රහණ මේ තරුණ නායකත්වය අමරණීය චරිතයක් වූයේ සිසුන්ට පමණක් නොව ගුරු මවුපියන්ටත්ය.
කොළඹ නාලන්දා විදුහල් මුල් පුුටුවට පැමිණ නව විදුහල්පතිවරයාගේ ජීවන ගමන් මඟ ආරම්භ වන්නේ පානදුර පින්වත්ත ගමෙනි. පානදුර පින්වත්තේ රූපවතී ද සිල්වාට හා ලයනල් සිල්වාගේ එකම දරුවා වූ ඉරාජ් චම්පික උපන්නේ 1975 වසරේ මාර්තු 13 වැනිදාය.
“ පවුලේ සිටි එකම දරුවා මම. පාසල් ගියේ නිවෙසට කිලෝ මීටරයක් දුරින් වූ පානදුරේ සුමංගල විදුහලට. එදා මේ පාසල තිබුණේ රන්කොත් විහාර පරිශ්‍රයේ. පාසල් ගමන අද මගේ ජීවිතයට එක්කරන්නේ අමරණීය මතකයන් ගොන්නක්. මම ඉගෙන ගන්න දක්ෂ නැහැ. රේල් පීල්ල දිගේ පාසලට යෑම මගේ විනෝදාංශයක් වුණා. එත් පාසල ඇතුළට යාම මට ගෙන දුන්නේ හරිම වදයක්. සමහර දවස්වලට පාසලට ගිහින් පන්තිය කට් කරලා හොරෙන් ගිහින් පන්සලේ බැම්මක වාඩිවෙලා ඉන්නවා. මෙහෙම ඉන්නකොට දවසක් ප්‍රින්සිපල් සර් ජැක් පෙරේරාගේ අතටම මාව අහුවුණා. මම වරදක් කරපු නිසා බයටම අඬන්න ගත්තා. එදා මම හිතුවා මට ලොකු දඬුවමක් ප්‍රින්සිපල් සර් දෙයි කියලා. ඒත් සර් කිව්වා‘ අඬ අඬා හෝ මේ දරුවා පාසලට ආවනේ. ඒක මම අගය කරනවා කියලා‘ කියලා ටොෆියක් දීලා විදුහල්පතිවරයා මාව පන්තියට යැව්වා. ඒ සිදුවීම මගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති කළා. හතරේ පංතියෙන් පස්සේ මම ආසාවෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒත් ශිෂ්‍යත්වය පාස් වෙන්න බැරි වුණා. .....“
සාමාන්‍ය පෙළ විභාගයට ඩී සාමාර්ථ හතරක් හා සී සාමාර්ථ හතරක් ඇතිව ඉරාජ් සමත් විය. උසස් පෙළ වාණිජ අංශයෙන්ම ඒ පාසලේදී හැදෑරු ඔහු ඒ සාමාර්ථ 2ක් හා බී සාමර්ථ 2ක් ලැබීය.
“ මම උසස් පෙළ හොඳට ඉගෙන ගත්තා. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ, වාණිජ විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන්න. විශේෂවේදි ගෞරව උපාධියත් සමඟ පන්ති සාමාර්ථයක් ලබා ගත්තේ විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර අත්දැකීම් එක්ක. මම නවකවද විරෝධි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයකු වුණා.
දවසක් මගේ යාළුවෙක් පෝස්ට් ඔෆිස් එකට ඇවිත් තිබුණේ අධ්‍යාපන පරිපාලන සේවය සඳහා ඉල්ලුම්පතක් දාන්න. මටත් එකක් දාන්න කියලා ඔහු මට කිව්වා. මාත් රුපියල් 150ක් දීලා ඇප්ලිකේෂන් එකක් නිකමට වගේ දැම්මා. පළමු විභාගයෙන් අපි දෙන්නම සමත් වුණා. දෙවැනි එකින් මම පමණයි සමත් වුණේ. උදවු කරපු යාළුවා හැලුණා..“
2005 වසරේ අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත් වූ ඉරාජ් 2006 ජනවාරි 8 මුල්ම පත්වීම ගෙන යන්නේ කඩුවෙල බෝමිරිය මධ්‍ය විදුහලේ විදුහල්පතිවරයා ලෙසය. වසර 29 දී ප්‍රථම පත්වීමෙන්ම විදුහල්පති වූ ඉරාජ්ට නව පාසල හැදීමේ ගැම්මක් තිබුණි. මුල්ම පත්වීමෙන්ම වසර 11ක් ඒ පාසලේ විදුහල්පති වූ ඉරාජ් බෝමිරිය මධ්‍ය විදුහල ඉහළටම ඔසවා තැබීය. මේ අවධිය ඔහුගේ ජීවිතයට තවත් අත්දැකීමක් එක් කළේය. ඒ මුල්ම පත්වීම ගෙන පාසලට ගිය මේ විදුහල්පති ඒ වසරේදීම එරංගි නදීෂා වීරවර්ධන තරුණිය සමඟ විවාහ වීමය. ඉරාජ් චම්පික විදුහල්පතිවරයාගේ දියණියන් වන චෙනුලි ඩිනෙත්මා සාමාන්‍ය පෙළට සැරසෙන්නීය. චිරති ටිනායා තවමත් වසර දහයකි. දෙදෙනාම කොළඹ විශාකාවේ අධ්‍යාපනය ලබති.
“ මේ කාලයේ පාසල් ඉතිහාසයේ ඉහළම ලකුණු වාර්තා කරන්නට මට හැකි වුණා. ගම්පහ බණ්ඩාරනායක විදුහලින්ද ඒ ජයග්‍රහණය ලබන්නට හැකි වුණා. මගේ ගමන් මඟේ රහස තමයි දරුවන්ට සමීප වෙමින් මේ ගමන යෑම. මම හැමවිටම අපේක්ෂා කරන්නේ දරුවන්ගේ අරමුණු ඉටු කිරීම. මේ නිසා එක් පාසලකින් තවත් පාසලකට මාරු වීමේදී ඒ අවස්ථාව හරිම සංවේදී සමුගැනීමක් වුණා.“
විදුහල්පති ඉරාජ් චම්පික සිය වසර 18ක විදුහල්පති භූමිකාවේදී ප්‍රාථමික අංශ සහිත පාසලක පළමු වරට සේවය කරන්නේ කොළඹ නාලන්දා විදුහලේය. නාලන්දා විදුහලේ හිටපු විදුහල්පති තිලක් වත්තුහේවාගෙන් පසු මේ නව විදුහල්පතිවරයාගේ අපේක්ෂාව වන්නේ නාලන්දා විදුහල තවත් ඉහළට ඔසවා තැබීමය. ප්‍රාථමික අංශයේ සිට සිසුන් 5000කගේ පමණ වගකීම ඔහු උරට ගෙන ඇත්තේ මහා බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ ගෙනය. නාලන්දාව අලුත් ගමනාරම්භයක් සඳහා මේ නව විදුහල්පතිවරයා අවශ්‍ය අඩිතාලම මේ වන විට දමමින් සිටින්නේය. නාලන්දාවේ දරුවන්ට දයාබරිත පියකු ලෙස ආදරය කරුණාව දක්වමින් මේ ගමන යෑම ඔහුගේ අපේක්ෂාවය.
සේයාරූ - නිශ්ශංක විජේරත්න