අල්ලස, දූෂණය තුරන් කරන මඟ හෙළි කරන නව අල්ලස් පනත | Page 2 | සිළුමිණ

අල්ලස, දූෂණය තුරන් කරන මඟ හෙළි කරන නව අල්ලස් පනත

ප පසු කරමින් සිටින්නේ මේ රටේ ඉතිහාසයේ ඉතාමත් කේන්ද්‍රීය සන්ධිස්ථානයකටය. රජය විසින් රටේ ඉදිරිය වෙනුවෙන් විධිමත් පියවර රැසක් අනුගමනය කරමින් පවතී. ඒ අනුව රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක්ද සිදු කරමින් පවතියි. නව දූෂණ විරෝධි පනත හරහා එම කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි අපේ විශ්වාසයයි. සමස්ත රටේ ජනතාවගේම අපේක්ෂාවක් වූ දූෂණ විරෝධී පනත යටපත් කිරීමට ඇතැම් බලවේගය උත්සාහ දරයි.

මේ දූෂණ විරෝධී පනත යටපත් කිරීමට ඇතැම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇත. අල්ලස හා දූෂණය සටන් පාඨයක් කර ගැනීමට ඉඩ නොතබා ඒවා මර්දනය කිරීම පිණිස මෙවලමක් ලෙස දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කර තිබෙන බවත්, නව දූෂණ විරෝධී පනත හරහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ පුර්ණ ස්වාධීනත්වය තහවුරු වෙයි. නව දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් වැඩිදුරට සඳහනක් කළහොත් අල්ලස හා දූෂණය යන්න අද ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම මුහුණ දෙන ගැටලුවකි.

ඕනෑම රටක් දූෂිත රාජ්‍යයක්ද යන කාරණය එම රටේ ආර්ථීකයට සෘජුවම බලපායි. ඒ නිසා තම රට දියුණුව කරා ගමන් කිරීම පිළිබඳ ප්‍රසාදය දක්වන මිනිසුන්, රටට ආදරය කරන නායකයන් මෙන්ම ජනතාව අල්ලස හා දූෂණය අවම කර ගැනීමට උත්සාහ කරනු ඇත.

වසර 2004 දී ලෝක ප්‍රජාව එක් වී අල්ලස හා දූෂණයට එරෙහි ප්‍රඥප්තියක් සකස් කර ගත්තේ මේ අනුවයි. තම රට අල්ලස හා දූෂණයෙන් තොර අභිමානවත් රටක් බව පෙන්වීමට අවශ්‍ය ඕනෑම රටකට එම ප්‍රඥප්තියට එකඟ විය හැකියි. අප රට 2004 දී ඊට අත්සන් තැබූවද අද වන තුරු අප ඊට අනුගත වී නොතිබීම කනගාටුව කරුණකි. අපේ රටේ සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රය, පුද්ගලික අංශය අල්ලස හා දූෂණයෙන් පිරී තිබෙන බව ජනතාවගේ විශ්වාසයයි.

මූලික වශයෙන්ම අල්ලස හා දූෂණය තුරන් කළ රටවල් එම තත්ත්වය අත්පත් කර ගත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම වැදගත්ය. සිංගප්පුරුව, භූතානය ඉන්දුනීසියාව, මැලේසියාව යන ආසියාතික රටවල් මෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල් අල්ලස හා දූෂණය තුරන් කළ ලැයිස්තුවේ ඉහළින්ම සිටියි. අල්ලස හා දූෂණය සුදුසු නොවෙයි; යන කාරණය ඔවුන්ගේ උපතින් ම ලැබී ඇති අාභාෂයකි. නමුත් එම හරයන් අපේ රටේ ජනතාවගේ ලේ සමඟ බද්ධ වී නොමැති නිසා එම හරයන් ජනතාවට කාවැද්දීමට සිදුව තිබෙයි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ණ වෙනසක් අවශ්‍යයි. ඒ මෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

අප මේ පසු කරමින් සිටිනුයේ මෙරට ඉතිහාසයේ ඉතාමත් කේන්ද්‍රීය අවධියකට බව අප මුලින් ම සඳහන් කළෙමු. අලුත් පනතක් ගෙන ඒමෙන් රටක් ලෙස අපට යම් අභිමානයක් ඇති වෙයි. නමුත් අලුත් පනතක් ගෙන ආ පමණින් රටේ අල්ලස හා දූෂණය තුරන් නොවනු ඇත.

1954 සම්මත කෙරුණ අල්ලස් පනත 1994 සංශෝධනය කර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. එදා සිට වසර 30කට ආසන්න කාලයක් පුරා වෙනත් කිසිවක් මේ සම්බන්ධයෙන් සිදුවී නැත. අප එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අනුගත වී දැන් වසර 20කට ආසන්න වෙයි. මෙහි වැදගත්ම කරුණ වන්නේ මෙම පැමිණිලි භාරව සිටින ආයතනය වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධානීන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන විය යුතුයි. ඔවුන් ස්වාධීන ලෙස තීන්දු ගත යුතුයි.

1954 සිට මේ දක්වා අපේ රටේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු කෙරෙන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සමත් පොලිස් නිලධාරීන්ගෙනි. නමුත් අල්ලස් හා දූෂණ වැනි සංකීර්ණ වරදවල් විනිවිඳ දැකිය හැකි බුද්ධියක් තිබෙන්නේ ගණිතය, ඉංජිනේරු විද්‍යාව, වෝහාරික විගණනය, ගණකාධිකරණය වැනි විෂයයන් හැදැරූ හසළ දැනුමක් ඇති විද්වතුන්ට පමණි. ඔවුන්ගේ ප්‍රාමාණික දැනුම් සම්භාරය නිසා ඉතා කෙටි වේලාවකින් යම් සිදුවීමක සුල මුල සොයාගත හැකියි. පොලිස් නිලධාරීන්ට එම කටයුතු සඳහා මාස කිහිපයක් ගත විය හැකියි.

හොංකොං හා භූතානය වැනි රටවල මෙම විමර්ශන සිදු කරන්නේ පොලිස් නිලධාරීන් නොවේ. ඉංජිනේරුවරු, වෝහාරික ගණකාධිකාරීවරුන්ය; නමුත් මේ සඳහා අපේ රටේ නිලධාරීන් බඳවා ගැනීමේදී අනුගමනය කෙරුණේ සිවිල් පරිපාලකයන් බඳවා ගනු ලබන ක්‍රමවේදයයි.

මෙම නව පනතින් තමන්ට අභිමත විශේෂඥයන් විමර්ශකයන් ලෙස බඳවා ගැනීමට අලුතින් බිහිවන කොමිෂන් සභාවට බලය දී තිබීම සාධනීය ලක්ෂණයකි. ඔවුන්ගේ සේවය යහපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකර සිටිය හැකියි. ඒ අනුව දක්ෂ විමර්ශකයන් බඳවා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව මෙම පනතින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දී තිබෙයි. මේ අනුව ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයට හෝ භාණ්ඩාගාරයට යාමට අවශ්‍ය නොවෙයි. පාර්ලිමේන්තුව හරහා භාණ්ඩාගාරයෙන් අදාළ මුදල් ලබාදීම සිදු වෙයි. එයත් යහපත් ක්‍රියාවලියකි. 

බැඳියාවන් අතර ඝට්ටනය, පුද්ගලික අංශය, අල්ලස් දූෂණය නිවාරණය ආදි සුවිශේෂ අංශ සඳහා බලය මෙම පනතින් හිමි වෙයි. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයේ විධායක නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට මෙම කොමිෂන් සභාවට ලබාදීම මෙමඟින් සිදු වෙයි. එසේම පෙර වැරදි සම්බන්ධයෙන් දැනටමත් අල්ලස් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබේ. ඒ නම් පැරණි නීති යටතේම විමර්ශනය සිදුකර ඒ යටතේම දඬුවම් කළ හැකි වන පරිදි මෙහි සංක්‍රාන්ති ප්‍රතිපාදන තිබෙයි.

අතීතයට බලපාන පරිදි සාමාන්‍යයෙන් නීති සකස් කළ නොහැකියි. මෙහි කොමසාරිස්වරුන් තෝරා ගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි. එමෙන්ම මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ තනි අභිමතයට පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සිදු වන්නේ ව්‍යවස්ථා සභාවෙනි. එසේ නිර්දේශ කරනු ලබන තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් විමසීමෙන් අනතුරුව පත් කිරීම සිදු කෙරෙයි.

ඒ අනුව නව දූෂණ විරෝධී පනත හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවක් තව නොබෝ දිනකින් බිහි වනු ඇත. එය යටපත් කිරීමට යම් බලවේගයක් කටයුතු කළහොත් ජනතාවගෙන් එම බලවේගය ප්‍රතික්ෂේප වෙනු ඇත, සොරුන් ඇල්ලීම, දූෂණය වංචාව පිටු දැකීම සම්බන්ධයෙන් ඉදිරිපෙළ සිටිමින් ක්‍රියාකරන පිරිස විසින් කියනු ලබන ප්‍රසිද්ධ සටන් පාඨය සම්බන්ධයෙන් විශ්වාසය තැබීමට පෙර මෙවැනි සැබෑ වන යථාර්ථයක් ඇති මේ වෙනස ඇති කිරීමට අදාළ රාජ්‍ය නායකයන්, නිලධාරීන් පෙලඹවීම ජනතාවගේ යුතුකමක් වෙනු ඇත.

එමෙන් නව කොමිසමට රාජ්‍ය ආයතන පිළිබඳ අවධානය යොමු කර අල්ලස හා දූෂණය ඇතිවන තැන් තිබේ නම් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් අදාළ නියෝග හා බලය ලබා දීමට ද බලතල ඇත. රාජ්‍ය අංශය තුළ අල්ලස සහ දූෂණය පිටුදැකීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට එය මහඟු රැකුලක් වෙනු ඇත.

Comments