- මං වැඩිපුරම සින්දු ලියන්නේ බස් එකේ යමින් එමින් ගමන්
- මගේ ගීවලට වැඩිපුරම හඳ එක් වුණා
කලාව සහ මිනිසා යනු වෙන් කිරීමට නොහැකි තරමට එකිනෙකට බද්ධ වූවකි. අවට ලෝකය රස විඳීමට මිනිසා කලාව විවිධාකාරයෙන් යොදා ගත්තා සේම ඒ හරහා නිර්මාණය කරගන්නා වු සුපෝෂිත නිර්මාණය කලාව ලෙස අපි රස විඳින්නෙමු. මෙම නිර්මාණාත්මක කලාව තුළින් බිහි වු ගීතය අතීත සහ වර්තමාන සමාජයන් තුළ මහත් පෙරළියක් සිදු කරන්නට සමත්ව තිබේ. එදා මෙන් ම අදත් එහි වෙනසක් නැත.
සංජා කල්පනී ගුණවර්ධන අතින් ලියැවෙන චිත්තරූපික ව්‍යංජන ගුණයෙන් පොහොණි රමණීය කාව්‍යෝක්තියක් බඳු මෙකී පද වැලට ධ්වනිතාර්ථපූර්ණ තනු නිර්මාණයක් එක් කරන්නේ විමල් දයානන්දයන්ය. ළයාන්විත බසකින් සුවිශද කරන සුභාණි හර්ෂනී මුතුකුමාරණගේ හඬ ශ්‍රාවකයන්ගේ හදවතට ම කිඳා බසින්නේ නිරායාසයෙන්මය. මේ එකී පද වැලේ අයිතිකාරිය සංජාගේ හඬට අප වෙන් කළ ඉඩ කඩයි.
සංජාගේ ලේඛන ජීවිතයට අඩිතාලම වැටෙන්නේ කොහොම ද?
ඉස්කොලේ යන කාලයේ ඉඳලාම සඳැස් සහ නිසඳැස් කවි ලියන්න ආසයි. මම ඉස්කෝලේ යන දවස්වල ඉඳලම ලියනවා. ගිය අවුරුද්දේ තමයි මුල්ම ගීතය ලියන්නේ. අද වෙන කොට ගීත 15ක් විතර ලියලා තියෙනවා. මේ ගීත වලින් 10ක් විතර ජනතාව අතරට ගිහින් තියෙනවා.
පළමු වැනි ගීතය සුභානි හර්ෂණි මුතුකුමාරණ ගායනා කරන “හැම රෑ සිහිනයක නුඹ දකිනවා“. මේකේ තනුව හදලා දුන්නේ විමල් දයානන්දයන්. මේ ගීතයත් එක්කම හුඟක් ඇරයුම් ලැබුණා ගීත ලියන්න කියලා. ඇත්තටම ඒකම තමයි මම පන්නරයක් කර ගත්තේ.
ගිය සතියේ අලුත්ම ගීතය ඉවර කළා.
සංජාගේ ගීතවල සඳ විශේෂ වෙන්නේ ඇයි ?
එහෙම විශේෂ හේතුවක් ම නෑ. හැබැයි මම පොඩි කාලේ ඉඳල ම හඳට කැමැතියි. ඒක තමයි විශේෂත්වය. හොස්ටල් ජීවිතයක් තමයි මට වැඩිපුරම තිබුණේ. ඒ පුරුද්දටම මම හඳට වැඩිපුර ළං වුණා කිව්වොත් හරි. අන්තිමට කරපු ගීතයට විෂුවල් එක උදේනි අල්විස් එක්ක කළෙත් මමමයි. රංගන ශිල්පියෙක් මේකට සම්බන්ධ වුණා. ඒ විජිත් හේවාවිතාරණගේ. මේකේ තිර පිටපත සමන් කුමාර ගමගේ මහත්මයාගෙ. පුන්සඳා සියැසි ගීතය ගායනා කරන්නෙ. ඒ ගීතය සුසන්ත මදුරප්පෙරුම තමයි සංගීතවත් කළේ. සුජිත් පතිරගේ තමයි අධ්‍යක්ෂණය කළේ.
ඒ ගීතයත් අත්දැකීමක් ද?
ඇත්තෙන්ම. ඒක මගේ අත්දැකීමක් එක්ක ලියැවුණු ගීතයක්. සාර්ථක දේවල් පිටිපස්සේ මොනවා හරි දෙයක් තියෙනවා. මම මගෙ සැමියා වෙනුවෙන් ලියපු ගීතයක්. හැබැයි ඔහුට ඒ ගීත රස විඳින්නට වෙලාවක් තමයි නැත්තේ.
සංජාගේ පවුල් පසුබිම කොහොම ද?
අම්මයි, තාත්තයි, මල්ලියි. ඔවුන් ඉන්නේ දෙනියායේ. මල්ලී සෞඛ්‍ය අමාත්්යාංශයේ වැඩ කරනවා. මගේ සැමියා නලීන් චින්තක. ඔහු මාතර සහකාර දිස්ත්‍රික්ක තක්සේරුකරු ලෙස කටයුතු කරනවා. දනිරු සහ ගනූල පුතාලා දෙන්නයි, හිරුණි දුව තුන් දෙනාම තවම පාසැල් යනවා.
නිර්මාණකරණයට වෙලාවල් වෙන් කර ගන්නේ කොහොමද?
මම ලියන කියන දේවල් කරන්නෙ බස් එකේ පාසල් යන එන වෙලාවට. ගමනට පැය දෙකක් විතර යනවා. ඒ කාලය මට වැඩක් කර ගන්න පුළුවන්. දුවට මේ සින්දු ඔක්කෝම කට පාඩම්.
සංජාගේ මුල්ම රැකියාවත් ගුරු වෘත්තියම ද?
ගුරු වෘත්තිය අහඹු දෙයක්. මම ගුරු වෘත්තියට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. මම කාලයක් කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකාර සහකාර විදියට වැඩ කළා. ඔය අතර, සහකාර තැපැල් ස්ථානාධිපතිවරියක් විදියටත් වැඩ කරලා තියෙනවා. කොහොමත් මම පරස්පර දේවල් තමයි වැඩියෙන්ම කරලා තියෙන්නෙ.
අපේ තාත්තාගේ පවුලේ වැඩිම පිරිසක් ගුරු වෘත්තියට සම්බන්ධයි. ඒ කාලයේ ඉඳලම මට මගේ අත්තම්මා වගේ වෙන්න ඕනෑ වුණා. අත්තම්මා මට කියපු දෙයක් තමයි නමක් තියෙන දෙයක් කරන්න කියලා. කොටපොල කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය පාස්වෙලා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට එන්නෙ. අ.පො.ස උසස් පෙළ වාණිජ විෂයන් හැදෑරුවේ. එච්. එන්. ඩී. ඒ. පුද්ගලික විශ්වවිද්‍යාලයෙන්. උපාධිය හදාරලා තමයි දැනට මාතර දෙහිගස්ප අනගාරික ධර්මපාල ප්‍රාථමිකයේ ඉංග්‍රීසි ගුරුවරියක් විදියට වැඩ කරන්නේ. ඒකත් බොහෝම ග්‍රාමීය දුෂ්කර පාසලක්. ළමයි 89ක් ඉගෙන ගන්නවා. ඒ ළමයිනුත් ගොඩක් ආසාවෙන් මගේ නිර්මාණ රස විඳිනවා. විශේෂයෙන් විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය මට ලොකු ශක්තියක් මේ කටයුතු කිරීමේදී ලබා දෙනවා.
හැම රෑම සිහිනයක නුඹ දකිනවා
මුළු රෑම සිහිනයෙන් නුඹ විඳිනවා..
නුඹ නමින් හද තාම ඉකි බිඳිනවා
සිහිනයෙන් මා නුඹගෙ නෙතු සිඹිනවා...
හඳ තාම රෑ අහස හැඩ කරනවා
තරු රෑන පුර හඳට පෙම් බඳිනවා..
මම තාම හිනැහෙන්න වෙර දරනවා
නුඹ ගාව මගෙ හීන ඉකි බිඳිනවා....
පෙරදාක බැඳි මතක සිත දවනවා
ඔය දෑස යට තාම මං නිදනවා
නුඹ තාම දැකගන්න නෙතු හඬනවා
රෑ සිහිනෙ දිගු වෙන්න මං පතනවා....
දන්නවද නුඹ
මහන්සියි මට
සඳට තාමත් කවි ලියා...
නුඹට හැකිනම්
සඳත් අහසින්
අයින් කරලා කල්තියා.
ගඟක් තරමට
සිහිල දුන්නට
නුඹට තාමත් හිත තියා
නුඹට හැකිනම්
ඉවුරු බැඳලා
ගලන ගඟ යයි නවතලා
රැයක් දිගටම
සිහින දුටුවට
දුකට තාමත් නුඹ නිසා
නුඹට හැකිනම්
ඉරට කලියෙන්
නැඟිටවිත් මා ඇහැරලා..