මේ දිනවල විකාශය වන නාට්‍යය නිර්මාණ කිහිපයකම එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් ඩිලුක්ෂි කාවින්ද්‍යා කියන්නෙ. ඩිලුක්ෂි වැඩියෙන්ම ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන තියෙන්නේ “ලොක්කි“ හි “අනා“ ලෙසින්. ඒ ගැන වගේම කලා ලොවේ ඉදිරි නිර්මාණ ගැනඈ සමඟ කළ සොඳුරු කතාබහයි මේ.
මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?
ලොක්කි 2 සහ ශක්ති නාට්‍යයේ ශූටින් සිදුවෙනවා. මැස්සා නාට්‍යය ෂූට් කරලා ඉවරයි. ඒකත් මේ දිනවල විකාශය වෙනවා. සංසාරිණි නාට්‍යයේත් මම ඉන්නවා. තව අලුතින් නාට්‍යයක් පටන් ගන්නවා එන මාසේ 15 ඉඳන් “බේකරි ගෙදර“ කියලා ඒකෙත් ඉන්නවා. ඔය දේවල් තමයි මේ දවස්වල නිර්මාණ.
මඟ තොටේදි අනා ලෙසින් ප්‍රතිචාර ලබද්දී මොකද හිතෙන්නෙ
ඒක නිළියකට ලබන්න පුළුවන් ඉහළම සතුටක්. මම මේ ක්ෂේත්රයට එන්නෙ 2016 දී. ඒ වුණත් මාව ප්‍රේක්ෂකයන් හඳුනන චරිතයක් වෙන්නෙ 2021දි ලොක්කි 1 කොටස විකාශය වෙද්දි. එක දවසක් මම නිදාගෙන ඇහැරෙද්දි මිනිස්සු මාව දන්න චරිතයක් වෙලා. ඒක ඇත්තටම සුන්දර අත්දැකීමක්. මිනිස්සු මාව අඳුනගෙන කතාකරනවා. සෙල්ෆි ගන්නවා. මිනිස්සු අතරට යනවා කියන්නෙ වෙනමම සතුටක්. ජනතාවගෙන් මේ ලැබෙන ආදරේ දැක්කම සම්මානයක් ලැබෙන්න ඕනෙත් නැහැ. ඇත්තටම ඒක වචන වලට පෙරළන්නත් බැහැ.
ලොක්කි හි ප්රවීනානේ, අනා ලෙසින් ජනප්‍රිය වෙන්නෙ, ඒ චරිතය කොහොමද අභියෝගයක් වුණාද?
ලොක්කි පටන් ගනිද්දී 2021 දී හර්ෂ උඩකන්ද මට මේ ස්ක්‍රිප්ට් එක දුන්නම. ඒක මම කියවලා බෑ කිව්වා. හේතුව මේක හාස්‍යජනක චරිතයක්. ඇත්ත ජීවිතේ හිනාවෙලා හිටියට කෲ එකක් ඉස්සරහ චරිතයක් කරද්දී මට බයයි. අපිට තව මනුස්සයෙක් හිනාගස්සන පුළුවන් ද කියලා හිතුණා. හාස්‍යය කියන එක හැමෝටම කරන්න බැහැ. ඒ නිසා මම මේක මුලින්ම රිජෙක්ට් කරපු ස්ක්‍රිප්ට් එකක්. හර්ෂ අයියා තමයි කිව්වෙ නැහැ අපි නංගි මේක කරලා බලමු. ඔයාට පුළුවන් කියලා. පළමුවෙනි සීන් තුන කරාට පස්සෙ හර්ෂ අයියාගෙන් අහද්දි කොහොමද කියලා. එයත් කිව්වෙ මමත් බයෙන් හිටියේ, මෙච්චර දෙයක් මේ චරිතයට දෙයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම මට ලොකු අභියෝගයක් වුණා. දැන් නම් ඒ චරිතය ඇඟටම ගිහින් තියෙන්නේ. සැබෑ ජීවිතේ තියෙන දැඟලිලි කෑලිත් දාලා මේ චරිතය කරන්නේ.
2016 - 2023 මේ කාලය තුළ ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද ?
ඇත්තටම සතුටුයි. මට ඕනේ වුණේ චරිතාංග නිළියක් වෙන්න. අදටත් අනන්තවත් කරන්න ආසාවෙන් ඉන්න චරිත ගොඩක් තියෙනවා. මගේ වාසනාවට දක්ෂ ප්‍රවීණ ආටිස්ලා එක්ක මට වැඩ කරන්න ලැබුණේ. ඒ නිසා ලැබුණු පොඩි චරිතයක් පවා මම කළා. ඒ ලැබුණු චරිත එක්ක මම ගොඩක් සතුටු වෙනවා. දැන් නම් චරිත බෙදාගෙන මට දෙයක් කරන්න පුළුවන් විවිධාකාර වෙනස් චරිත කරන්න තමයි ආස.
චරිත තෝරද්දි සීමාවන් තියෙනවා ද?
මගේ ජීවිතේ තමයි රංගනය. ඒ නිසා මම චරිතවලට සීමාවන් පනවගෙන නැහැ. ඒ නිසා සීමාවන් පැනවූවොත් එහෙම මට ඕනේ ඉලක්කයට මට යන්න වෙන්නෙ නැහැ. මේක කොහොමත් ඇක්ෂන් කට් අතරේ තියෙන්න ඕනේ දෙයක්. අපි ආදරේ කරන හොලිවුඩ් බොලිවුඩ්වල අය ඔය කියන සීමාවන් දාගෙන නැහැ. අපේ රටේ ඔය දේවල් තියෙන්නේ. හැබැයි ඒ දේවල් කතාවේ ලස්සනත් එක්ක තමයි තියෙන්න ඕනේ. නිර්මාණයට සාධාරණයක් විදියට තියෙන කිසිම දෙයකට මම සීමාවන් පනවන්නෙ නැහැ. මට ලොකු ගමනක් යන්න ඕනේ. තාම මම මේ ගමන පටන් ගත්ත විතරයි.
කවදාහරි නිළියක් වෙන්න ඕනේ කියන සිහිනය ද දැක්කෙ?
ඇත්තටම ඔව්. ඉස්සර ඉඳන්ම මම ඩාන්සින් කළේ. භරත නාට්‍යයවල අරංග්රේත්ත්රම් කළා. තේරෙන වයසේ ඉඳන් ස්කෝලේ ස්ට්‍රේජ් ඩ්‍රාමා කළා. මගේ ඔළුවෙ තිබ්බෙ මට නිළියක් වෙන්න ඕනේ කියන එක. ඕලෙවල්වලට ඩාන්සින් කරපු නිසා ඩ්‍රාමා කරන්න බැරි වුණා. උසස් පෙළ දි ඩාන්සින් ඩ්‍රාමා කියන දෙකම කළා. නිළියක් වීම මගේ හීනයක්. ඒ හීනෙට තමයි තාම මේ නිදිමරන් හැමදේම කරන්නෙ. මට අවශ්‍යම තැනට තාම මම ගිහින් නැහැ.
කොහොමද ගෙදරින් ලැබුණු සහයෝගය
මට අක්කා කෙනෙක් ඉන්නවා. අක්කත් මේ ක්ෂේත්රයේ හිටිය කෙනෙක්. ඒ හින්ද මට ලේසි වුණා මේ ක්ෂේත්රයට එන්න. මගේ අම්මා තාත්තා අක්කා මට මාරම සපෝර්ට් එකක් දෙන්නෙ. විශේෂයෙන්ම මගේ අම්මා. එයා මම මේ දකින හීනෙට ගොඩක් ආසයි. එයා නොකිව්වට එයත් මගෙන් දකින හීනය මේකම තමයි. අම්මගෙන් ඒ ලැබෙන සහයෝගය නැත්නම් මට මෙච්චර දුරක් මේ ගමන එන්න ලැබෙන්නෙ නැහැ. මට ලැබෙන ස්ක්‍රිප්ට් එකක් ඉස්සෙල්ලාම කියවන්නෙ අම්මා. අම්මාට මට වැඩිය මේ ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
ඩිලුක්ෂි සැබෑ ජීවිතේ පෙම්වතියක් ද?
මේ කාලේ මම ආදරවන්තියක් නෙවෙයි. මම ආදරේ කරන්න ගොඩක් ආසයි. මම සොයන ආදරේ තවම මට ලැබිලා නැහැ. මම හිතන්නෙ තවම මගේ කාලය නෙවෙයි.
කවදාහරි ආදරේ කරන්න ලැබෙන කෙනා දැන් ඇති කලාව කළා කියලා කිව්වොත් මොකද කරන්නෙ.
එහෙනම් නම් ඉතින් දැන් ඇති අපි ආදරේ කළා කියලා තමයි කියන්න වෙන්නෙ. මොකද මගේ අම්මා තාත්තා පවා මට එපා කියන්නෙ නැත්නම් මම ඇයි මේ පිට කෙනෙක් කියන දේ අහන්නෙ. ඒවා බෑ. රංගනය මගේ ජීවිතේ. මට එයා කැමති වෙන්නෙත් නිළියක් කියලා දැනගෙනනේ. පස්සෙ ඒකට අකමැති වෙන්න බෑනේ. එහෙනම් හොඳයි බැඳීම් කිසිවක් නැතුව අම්මා තාත්තා එක්ක තනියම ඉන්න එක. මේ ජීවිතේ එක එක දවසට එක එක චරිත වෙන්න ලැබෙන එකට තමයි මම ගොඩක්ම ආස. ඒ නිසා මෑතකදී ජීවිතේට එකතු වෙන කෙනෙක් නිසා මෙච්චර කල් කට්ට කාලා ගොඩනඟා ගත්ත දේවල් නැති කර ගන්නෙ නැහැ. මම සබඳතාවකට යනවා නම් ඉස්සෙල්ලාම මම කියන්නෙ මම කවදාවත් රංගනය නවත්තන්නෙ නැහැ කියන එක.
ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නෙ?
මේ ලැබෙන ආදරේ කවදා වෙනකම් ලැබෙයිද දන්නෙ නැහැ. මේ අද තියෙන ප්‍රේක්ෂක ආදරේ වෙනස් වෙන්න පුළුවන්. මගේ ජීවිතේ ආසම දෙයක් තමයි මේ ප්‍රේක්ෂක ආදරේ. ඒකට මමත් ගොඩක් ආදරෙයි. මේ ළඟදි එක ෂූටින් එකකදි මට අසනීප වෙලා මාව එක්කගෙන ගියා පිලියන්දල පැත්තෙ නර්සින් හෝම් එකකට ගියා. එදා මට හිටගෙන ඉන්නවත් පණ නැහැ. එතැනදි නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවා ෆොටෝ එකක් ගමුද කියලා. මම හා කිව්වා. ඉන් පස්සේ එතැන හිටිය 100ක් විතර මාව වටකරගෙන ෆොටෝ ගත්ත. කොච්චර අමාරුකම් බැරිකම් තිබුණත් මම හිනාවෙලා ඒ ෆොටෝවලට හිටිය. ඒ නිසා මම මැරෙන මොහොතක වුණත් ෆොටෝ එකක් ගමුද ඇහුවොත් හිනා වෙලා ඉදීයි.