යුරේනි නොෂිකා මේ දිනවල බොහෝ ජනප්‍රිය චරිතයකි. ඩ්‍රාමා ක්වීන් මියුසික් වීඩියෝව සමඟින් කාගේත් කතාබහට ලක්වුණු ඇගේ රුව තවත් වර්ණවත් කළේ ඇගේ හඬින් ගැයෙන රැප් ගායනයයි. අද දවසේ කලාවේ නියැළෙන කාන්තාවගේ නව පෙනුමට උත්තේජකයක් වූවේ ඇයයි. ඇය නිරතුරුවම වෙනස අත්දකින්නියකි. ඩ්‍රාමා ක්වීන් ද මියුසික් වීඩියෝ කලාවට එවන් වෙනසක් සිදු කළ නිර්මාණයකි. ඩ්‍රාමා ක්වීන් සමඟ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිමින් සිටින යුරේනි අපේ කතාබහට එක් වූවාය.
යුරේනි මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය ඩ්‍රාමා ක්වීන් විදිහට. මොකක්ද මේ හැමෝම උන්මාදයට පත්කළ ඩ්‍රාමා ක්වීන් කතාව?
දුලාන් ARMගෙ වැඩක්. එයා තමයි මට මියුසික් වීඩියෝවට කතා කළේ. ඒත් එක්කම ගායනයෙන් දායක වෙන්න කියලත් ආරාධනා කළා. ගායනය ගැන මට ලොකු හැකියාවක් නැතත් මම රැප් එකකින් දායක වෙන්න කැමැති වුණා. කොහොමත් අද අපේ අලුත් පරම්පරාව කැමැති රැප්වලටනෙ. ලියල එව්ව වචන ටිකත් මටම ගැළපෙනව කියල හිතුණා. අපි ස්ටුඩියෝ එක බුක් කරලා පැයක් වගේ කාලයක් ඇතුළතදි රෙකෝඩින් එක කළා. රෙකෝඩින් එකේදි සංජුල මල්ලි ගොඩක් උදවු කළා. ඩ්‍රාමා ක්වීන් කියන්නෙ මං ලොකුවට ප්ලෑන් කරලා කරපු වැඩක් නෙවෙයි. මගේ ළඟට හොයාගෙන ඇවිල්ලා භාරදුන්න වැඩක්.
ඩ්‍රාමා ක්වීන් ෂූට් එක මියුසික් වීඩියෝ කලාවේ ලොකු වෙනසක් කළා නේද?
අපි මුලින් අදහස් කරගෙන හිටියේ ස්ටුඩියෝ එකක් ඇතුළෙ ෂූට් කරන්න. මගේ රැප් එක නිසා එයාලට ආස හිතුණා ඒක යොට් එකක ෂූට් කරන්න. ලංකාවෙ තියෙන සුඛෝපභෝගීම යොට් එක තමයි අපට ලැබුණෙ. ඒ වෙද්දි ඒක තිබුණෙ ත්‍රිකුණාමලයේ නිලාවේලිවල. මේ වැඩේදී සේන් ලංකා ආයතනය ගැන මතක් කළ යුතුමයි. ඔවුන් අපට විශාල සහායක් ලබාදුන්නා. හරිම ආසාවෙන් කළ වැඩක්. ඒ වගේම ඒ කටයුත්තට විශාල පිරිවැයක් දරන්නත් වුණා. අපිට ඕන වුණා අලුත්, වෙනස් දෙයක් කරන්න. අපේ ප්‍රේක්ෂකයන්ට වෙනස් රසයක් දෙන්න. රැප් තමයි ගොඩක් කට්ටිය අහන්නෙ. ඒ රැල්ලට යමින් මං උපරිමයෙන් ඒක කළා. දැන් ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනව. තාමත් ට්‍රෙන්ඩිං ලිස්ට් එකේ ඉන්නවා. ගොඩක් සතුටුයි.
ටෙඩී කියන්නෙ ඔබේ පළවෙනි කෙටි චිත්‍රපටය. ඒක ගැනත් කතා කරමු?
මට ආසාවක් තිබුණා මගේ රංගන පරාසය පෙන්නන්න. මට කාලෙකින් අවස්ථාවක් ලැබුණෙ නැහැ මට රිසි සේ රංගනයේ යෙදෙන්න. මගේ රංගන පරාසය පෙන්නන ගමන්ම සමාජයට පණිවුඩයක් දෙන්නත් මට ඕනෙ වුණා. එතැනදි තමයි මට හිතුණෙ විවාහක කාන්තාවන් යුග ජීවිතේ පවත්වාගෙන යන්න ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා වුණත් සමාජයේ ඒව ගැන කතා කරන්නෙ නැහැ කියන එක. පිටතට දෙන්නෙ නැතුව ඒව දරාගෙන ගෙවන ඒ ජීවිතවලට කතා කරන්නයි මට ඕනෙ වුණේ. ඒ වගේම පිරිමින්ටත් ඒ වගකීමෙ කොටසක් තියෙනව කියන පණිවුඩය දෙන්නත් මං මේ චිත්‍රපටයෙන් උත්සාහ කළා. මේක ගෝලීය ප්‍රශ්නයක් නිසයි ටෙඩී ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න තීරණය කළේ. මේක සිංහල උපසිරැසි සහිත බව ගොඩක් අය දන්නෙ නැහැ කියලා තේරුණා. යූටියුබ් එකට ගිහින් කැප්ෂන් කියන ඔප්ෂන් එක ඕන් කළා නම් ඒක සිංහල උපසිරැසි සමඟ බලන්න පුළුවන්.
හිරු නාළිකාවේ හැපී අවර් වැඩසටහනත් මේ දිනවල ගොඩක්ම ජනප්‍රියයි. ඒක විනෝදය අතරින් ජීවිත අත්දැකීම් බෙදාගන්න වැඩසටහනක් කිව්වොත්?
මට වැඩක් භාරදුන්නම මං කැමැතියි මගේ විදිහට කරන්න. මේකත් වැඩසටහන් ආකෘතියට අනුකූලව යමින් මගේ ක්‍රමයට කරන වැඩසටහනක්. මේකට එන ගොඩක් අය අවංක වෙලා එයාලගෙ ජීවිතය දිගහරිනව කියන එක මට හැඟිල තියෙනවා. ඒ ජීවිත අත්දැකීම් බෙදා ගන්න අතරේ සමාජයටත් දෙයක් ගන්න පුළුවන් විදිහටයි මං කරන්නේ. ඒ උත්සාහය සාර්ථකයි කියලා ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා. එක සේග්මන්ට් එකක් තියෙනවා ඩබල් මීනින් විදිහට යන. ඒකට සමහරු නම් බණිනව. ඕනෑම මනුස්සයෙකු අයිතියක් තියෙනව දෙයක් අගය කරන්න හෝ බණින්න. හැපී අවර් එකෙන් හැම තිස්සෙම මං කරන්න උත්සාහ කරන්නෙ විනෝද වෙන ගමන්ම සමාජයට යම්කිසි පණිවුඩයක් දෙන්න. අනිත් එක තමයි ප්‍රශ්නවලින් පීඩිත වෙලා ඉන්න මිනිස්සුන්ව සැහැල්ලු කරන්න. පිනවන්න. ඒකත් ලොකු පිනක්. කලාකරුවො විදිහට අපි ඇවිල්ල තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සුන්ව සතුටු කරන්න. මං සහභාගි වෙන වැඩසටහනකදි වුණත් මං මිනිස්සුන්ව හිනස්සලා, සතුටු කරලා, හිනා වෙලා ඉන්න කෙනෙක්. හැපී අවර් වැඩසටහන හරහා මට ඒක කරන්න ලැබීමත් ලොකු සතුටක්. පිරිසුදු චේතනාවෙන් කරන දෙයක් නිසා වෙන්න ඇති මේක සාර්ථක වෙලා තියෙන්නෙ.
හැපී අවර් කියන්නෙ ජීවිතේම දිගහැරෙන වැඩසටහනක්. එකට එන අය අපහසුතාවට පත්වෙලා නැද්ද?
සමහර ප්‍රශ්න ඍජුයි. අපහසුතාවට පත්වෙලත් ඇති පෙන්නුවෙ නැති වුණාට. ඒත් කවුරුත් මොනවත් කියන්නෙ නැහැ. මට අකමැති අයත් මේකට ඇවිල්ල තියෙනවා. සමහර විට එයාල ඇවිත් තියෙන්නෙ හස්බන්ඩ්ලට බෑ කියන්න බැරිකමට. හැබැයි එයාල වැඩසටහන අවසන් වෙලා යන්නෙ නම් මට ස්තුති කරලා. අපේ රටේ කලාවත් ලෝකයත් එක්ක යන්න ඕන. මං ක්ෂේත්රයට එද්දි කවුරුත් කොටට ඇඳල හිටියෙ නෑ. විලාසිතා කළේ නෑ. මං ඒ ට්‍රෙන්ඩ් එක ඇති කළා. දැන් කවුරුත් ලස්සනට අඳිනවා. විලාසිතා කරනවා. මට ඒ ගැන සතුටුයි.
හැමෝම සතුටින් තියන්න උත්සාහ කරන යුරේනිගෙ ආදරේ, සතුට රැඳිල තියෙන්නෙ කොතැනද?
මට මෙතෙක් ලැබිල තියෙන දේවල් ගැන මං තෘප්තිමත්. ජීවිතේ අපිට බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්නෙ නැහැ. මට මගේ වෘත්තීය ජීවිතේ ඉහළම දේවල් දීල තියෙනවා. විශ්වයේ ආශීර්වාද විදිහට මට ආදරේට වඩා දේවල් දෙවියන් දීල තියෙනවා. ආදරේම ඕන නෑ මිනිස්සුන්ට ජීවත් වෙන්න. ජීවිතේ කවදමහරි දවසක මාව තේරුම් ගත්ත ආදරේ, සෙනෙහස, දයාව බෙදාගන්න පුළුවන්. කෙනෙක් හමුවුණොත් මාත් ආදරය කරාවි. එතකල් මම ආදරේ කරන්නවත් විවාහ වෙන්නවත් හදිස්සි වෙන්නෙ නෑ.