මට සැනසීම තියෙන්නේ බිමල් ඉන්න තැන | සිළුමිණ

මට සැනසීම තියෙන්නේ බිමල් ඉන්න තැන

 

ආනන්ද අබේනායකයන්ගේ රම්‍ය සුරම්‍ය නාට්‍යට පෙම්වතුන් වූ සුජානී මේනකා හා බිමල් ජයකොඩි ඒ රංගනයේ විවාහයකින් කෙළවර කර ගත්තා සේ නිර්මාණ රූගත කිරිම් අවසන් වෙද්දී පෙම්වතුන් සේ සම්බන්ධය හමාර කළා. දැන් මේ දෙන්නහේ විවාහ දිවියට අවුරුදු දාසයක්. හැමෝගෙම ප්‍රශංසාව හිමි වෙන මේ ආදරණීය යුවළගේ තොරතුරු රසඳුන එක්ක මේ විදිහට සුජානී මේනකා බෙදා ගත්තා. ඒ ආදරණීය හිත කියූ කතාබහයි මේ.

 

ඇෆෝඩයිට් මල් කොල්ලය එක්ක දැන් සුජානී වේදිකාවට ගොඩවෙලා වගේ..?

ඔව්. මාස හයක විවේකයකට පස්සේ ගොඩක් වැඩ පැත්තකින් තියලා ඇෆෝඩයිට් මල් කොල්ලය නාට්‍ය එක්ක වේදිකාවට නැග්ගා. හොඳ පිටපතක් හා දක්ෂ නිළි පිරිසක් එක්ක වැඩ කරන්න අවස්ථාව උදා වුණා. වේදිකා නාට්‍යකට සම්බන්ධ වෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ. ඒ නිසා වැඩිපුර කාලයක් ඒ සදහා යොදවලා අනිත් වැඩ ටිකක් පැත්තකට කළා. මට ලැබුණු නාට්‍ය හා චිත්‍රපටයකුත් ප්‍රතික්ෂේප කළා.

වේදිකාව කියන්නේ සජීවී රසවින්දනයක් ගෙන එන තැනක්. නමුත් ඒ රසවින්දනය හෝ ගුණාත්මක බව නැත්නම් ප්‍රේක්ෂකයින් වේදිකාව වැලඳ ගන්නේ නැහැ?

ඒක ඇත්ත. මේ වේදිකා නාට්‍ය වේදිකාගත කළේ මැයි මාසේ. ඊට සති දෙකකට විතර කලින් තමයි ටිකට් ඉෂූ කළේ. ටිකක් ඉෂූ කරලා දවස් කිහිපයයි ගියේ ඔක්කොම ටිකට්ස් විකිණිලා. වේදිකා නාට්‍ය වේදිකාගත කළ දවසේ බොහෝ දෙනෙක් ආපසු හැරි ගියා ටිකට් නැතුව. එදා මට දුකත් හිතුණා. හොඳ අලෙවියක් තිබ්බා. ආයෙමත් ආදරණීය ජනතාව වේදිකා නාට්‍ය බලන්න ආසාවෙන් ඉන්නවා කියලා ප්‍රතිචාර වලින් තේරුණා. මේ නාට්‍ය ප්‍රේක්ෂකයන් වැලඳගත් නාට්‍යක් බවට පත් වුණා. නැවත එය වේදිකාගත කරන්න සූදානම්. මේ මාසේ 15 දා ලයනල් වෙන්ට් හිදී.

 

වේදිකා නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන් එන්න ජනප්‍රිය නළු නිළියන් හේතුවක් වෙන්න පුළුවන්?

ඒක එක හේතුවක් විතරයි. පිටපත අධ්‍යක්ෂණය සාර්ථක නැත්නම් නළු නිළියන්ටත් ඒ නිර්මාණය තුළ රඟපාන්න දෙයක් නැහැ. එතකොට ප්‍රේක්ෂකයන් පවා ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කාලයක් වේදිකා නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන් ඇවිත් කාලයක් ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබ්බා. නමුත් ආයෙමත් වේදිකාවට ගුණාත්මක නිර්මාණ බිහි වෙනවා. ඒකත් එක්ක මුදලක් ගෙවලා නිර්මාණ රසවිඳින්න පිරිස් එනවා කියන්න පුළුවන්. ඒක ඇත්තටම සතුටට කරුණක්.

ඔය නාට්‍යයේ සුජානීගේ රඟපෑම බලන්න ඕන නිසාම ඔබේ ආදරණීය සැමියා බිමල් විදෙස් සංචාරයක් ප්‍රතික්ෂේප කරලා නාට්‍ය නරඹන්න ඇවිත් හිටියාලු..?

බිමල්ට විදෙස් සංචාරයකට ආරාධනාවක් ලැබිලා ඒකට සම්බන්ධ වෙන්න හිටියේ. වේදිකා නාට්‍ය වේදිකගත කරන දවස් තුනේම එයාට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මම නිකමට කිව්වා ඔයත් ඒ දවස් ටිකේ හිටියා නම් තමයි හොඳ කියලා. මම එයාට කිව්වේ නැහැ නොයා ඉන්න කියලා. නමුත් අන්තිම මොහොතේ එයා විදෙස් සංචාරයට සම්බන්ධ නොවී දවස් තුනම මාත් එක්ක හිටියා. එයා නාට්‍ය නැරඹුවා. ඇත්තටම බිමල් ඒ වගේ විශේෂ අවස්ථා පවා මඟ ඇරලා මට හයියක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම හරි අමුතු කියන්න බැරි බැඳීමක්. මට එදා හරියට සතුටු හිතුණා.

 

සුජානී කාලයක් නිර්මාණ වලින් දකින්න ලැබෙනවා , කාලයක් නිහඩව ම ඉන්නවා. නිහඬව ඉන්න කාලෙට වැඩිපුරම බණින්නේ බිමල් නේද ..?

එයා කැමති නැහැ. මම එක දිගට නිහඬව ලොකු කාලයක් ඉන්නවට. මම එයාගෙන් වැඩිපුර ම බැණුම් අහන්නේ ඒකට තමයි. ඔයා මොකටද ඔච්චර ලොකු බ්‍රේක් එකක් ගන්නේ කියලා අහනවා. එයා කියන්නේ ලැබෙන හැම නිර්මාණයම භාර ගන්න ඕන නැහැ. ඒත් ඇයි හොඳ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නේ කියලා. ඒකට නම් නිතරම බැණුම් අහනවා. එයා කැමතියි මම රඟපාන එකට. මම ආස නැහැ නිතරම කාර්‍යබහුල වෙන්න. මට ලොකු බ්‍රේක් එකක් ඕන එක නිර්මාණයකට සම්බන්ධ වෙලා ඊළඟ නිර්මාණයට සම්බන්ධ වෙන්න. මම කාලයක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිත්. මුල් කාලේ ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වුණා. සමහර නාට්‍යවල පිටපත් ගෙදරට ගෙනැත් දෙන්නද කියලත් අහනවා. ඒත් මට ඕන කාර්‍යබහුල නොවී බිමල්ටත් උදව් කරගෙන මේ ගමන යන්න .

ඔබ වැඩිපුරම බණින්නේ බිමල්ට ඔහු කාර්යබහුල වෙන එකට වෙන්න ඇති..?

මම බණින්නේ නැහැ. මොකද එයාට නිර්මාණ භාර ගද්දි මමනේ දින හදලා දෙන්නේ. ඉතිං මම දන්නවා එයාට විවේකයක් ඕන කොයි දවසටද කොහොමද එයා ඒ විවේකය ගන්න කැමති කියලා. ඒ විදිහට බලලා දින නිර්මාණ සඳහා යොදවන නිසා අපි දෙන්නටත් ජීවිතේ විඳින්න කාලේ තියෙනවා. විවේක කාලයක් ලැබුණම එයා කැමති කොහේ හරි යන්නද, එහෙම නැත්නම් ගෙදර ඉඳලා විවේකයෙන් ඉන්නද කියලා මම දන්නවා. ඒක දැන් පුරුදුයි. එයාට ඕන නිදහස මම එයාට කැමති විදිහට හදලා දෙනවා. එයා වැඩිපුර කාලයක් මම වෙනුවෙන් යොදවන නිසා එයාගේ වැඩ ගැන මට දුක් වෙන්න හේතුවක් නැහැ. ඒ වගේම කියන්න ඕන අපි හැමදාම මොන දේ කරත් ප්ලෑන් කරලා කරන්නේ කියන එක. ඒ නිසා ජීවිතේ ගෙනියන්න පහසුයි.

 

වචනවලට සීමා නොවී ආරක්ෂාව ආදරේ වගේම වගකීම් ඉටු කරන සැමියෙක් ද බිමල් කියන්නේ ..?

මම කෙටියෙන්ම කිව්වොත් මගේ ජීවිතේ ඇතුළේ සැනසීම තියෙන්නේ බිමල් ඉන්න තැන කියලයි මට හිතන්නේ. ඒ තරම් එයා මට විශේෂයි.

 

බිමල් ජයකොඩි කියන රංගන ශිල්පියාව පැත්තකින් තියලා කතා කළොත්..?

අපි විවාහ වෙන්නෙත් ආදරේ කරලා. රම්‍ය සුරම්‍ය නාට්‍ය කරන කාලේ අඳුර ගන්නේ. අධ්‍යක්ෂක ආනන්ද අබේනායක අංකල් බිමල් එක්ක රඟපාන්න තියෙන්නේ එයා තමයි පෙම්වතාට ඉන්නේ කියද්දි අයියෝ එයා එක්කද රඟපාන්න තියෙන්නේ කියලා මම අම්මට කිව්වා. මම අකමැත්තෙන් රඟපාපු එකම නළුවා. මොකද එයා ඒ කාලේ හරි නිශ්ශබ්ද චරිතයක්. මම හිතුවේ ආඩම්බර චරිතයක් කියලා. ඒ ආදර ජවනිකා ඉවර වෙද්දී අපි පෙම්වතුන් දැන් විවාහ වෙලා අවුරුදු 16යි. අවුරුදු හතරක් ආදරේ කළා. මම ඒ වෙන කොට බිමල්ව අවුරුදු විස්සක් තිස්සේ දන්නවා. අපි අතරත් නොගැළපීම් නැතුව නෙමෙයි. නොගැලපීම් ගොඩක් තියෙනවා. නමුත් ප්‍රශ්නයක් ආපු තැන එක්කෙනෙක් නිශ්ශබ්ද වෙනවා. හරි එහෙම නම් ඔයාට ඕන දේ කරන්න ඒ දේ කරලා වැරැදුණොත් වැරැද්ද ඔයාම භාර ගන්න, ප්‍රතිචාර ඔයා විඳගන්න කියලා දෙන්නගෙන් කෙනෙක් පැත්තකට වෙනවා. ජීවත් වෙන්න අවබෝධය තියෙන්න ඕන. ප්‍රශ්නයකදි එය අඳුරගන්න ඕන. මම නම් දැන් දන්නවා හැරෙනකොට මොකක්ද වෙන්නේ කියලා. ජීවිත ඉව අපි අතර තියෙනවා .

ඒ වගේම මට ඕන තරම් පිරිමි යාළුවෝ ඉන්නවා. නමුත් මගේ ප්‍රථම ප්‍රේමය ඔහු. මොන යාළුවා කවුරු හිටියත් මගේ ජීවිතේ විශ්වාසවන්ත පුද්ගලයා බිමල්. මට පහසු තැන ඔහු. බය නැතුව ඕනම දෙයක් කට ඇරලා කතා කරන්න පුළුවන්. මම හිතන්නේ අපි ජීවිතේ විඳින්නේ ඒ නිසයි. ගැහැනියක් තේරුම් ගත හැකි පිරිමියෙක් ඔහු. මට ඔහුව දැනෙන්නේ එහෙම.

 

බිමල් සුජානී කියන යුවළගේ පවුල් ජීවිතේ ආදරණීය ආදර්ශමත් එකක් කියලා බොහෝ දෙනෙක් හිතනවා,..?

ඔව්. රසිකයින්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා අපි දෙන්නගේ ආදරේට. අපි ඉන්න විදිහට වෙන්න ඇති. ළඟදි මඩකලපුව පැත්තේ ගියා අපි දෙන්නා. මඟදි හමු වෙන හුඟ දෙනෙක් එයාලගේ ගෙදර එන්න තේ එකක් බීලා යමු කියලා කතා කළා. ඉතිං කොළඹින් පිටත් ඒ වගේ ප්‍රතිචාර ලැබෙන එක ගැන හරි සතුටක් දැනෙනවා. මට මිනිස්සුන්ගේ ආදරේ පුංචි කාලේ ඉඳලා ලැබුණා. මම ඉපදුණු නාරාහේන්පිට ගෙදරට අද ගියත් මම ආවා කියලා මාව බලන්න ගොඩක් අය එනවා. ඒ ආදරේ අපි ජනප්‍රිය නිසා ලැබෙන එකක් නෙමෙයි, හදවතින්ම දෙන ආදරයක්.

 

බිමල් දක්ෂ ගායකයෙක් , ඔහු අලුත් නිර්මාණයක් කළා. ඔබත් ඔහුගේ හඬට වශී වූ කෙනෙක්ද..?

එයා නළුවෙක් වෙන්න කලින් සංගීතයට සම්බන්ධ වෙලා හිටියේ. දක්ෂ වාදක ශිල්පියෙක්. පස්සේ තමයි රඟපාන්න එන්නේ. ලඟදි කරපු “එක හුස්මක්“ ගීතය රෙකෝඩ් කරලා මට අහන්න දුන්නා. ඒක පොඩි පොඩි අඩුපාඩු තිබිලා හදලා ජනතාව අතරට ගෙන ගියා. ඒ ගීතයට ප්‍රතිචාර ඉහළින් ලැබෙනවා. ඇත්තටම කිව්වොත් මම ඒ ගීතය තවම අහනවා. ඒ තරම්ම මට ඒ ගීතය හරි ලස්සනයි. එයාගේ කටහඬට මම කොහොමත් ආසයි. ගෙදර ඉන්න වෙලවට මම බිමල්ට කියනවා අනේ සින්දුවක් කියන්න කෝ කියලා. එයා ඒ වෙලවට සිංදු කියනවා. බොහෝ දෙනෙක් ඔහුගේ ගායනයට ආදරේ කරනවා මම වගේම. මම එයාට නිතරම කිව්වා සිංදු කරන්න කියලා. එයා හරි හරි ඉක්මනින් කරමු කියලා හරි ලස්සනට මඟ අරිනවා. එයාගේ කම්මැළිකම එයගේ ගායනය යටපත් කළා. දැන් ටිකක් උනන්දුයි වගේ. මේ ගීතය එක්ක තව කිහිපයක් කළා. මේක තමයි මුලින්ම එළිදැක්වුයේ.

 

බිමල් කියන්නේ නැද්ද සුජානී අපි දෙන්නා එකතු වෙලා සිංදුවක් කරමු කියලා ..?

එයා තියා වෙන කිසි කෙනෙක් ඒ යෝජනා ව කරන්නේ නැහැ . අනේ මට සින්දු කියන්න බැහැ . ගෙදර ඉන්න වෙලාවට මම සින්දුවක කෑල්ලක් කිව්වොත් සූ ඇති ඇති කියනවා බිමල්. එතකොට හිතාගන්න පුළුවන්නේ මගේ කට හඬගැන. ඇත්තටම මට සිංදු කියන්න බැහැ. මගෙ කටහඬ හරි කැතයි.

 

දෙන්නා එකට රඟපාන නිර්මාණයක් ලඟදි දැකගන්න පුළුවන් කියලා ආරංචියි ඒ ගැනත් කියලා මේ කතාබහට සමු දෙමු...?

අපි දෙන්නා කම්බිලි චිත්‍රපටයට රඟපෑවා හස්බන්ඩ් වයිෆ් විදිහට. සැබෑ ජීවීතයේ ජීවත් වෙනවට වඩා ඒ චරිත දෙක ගොඩක් වෙනස්. ඇත්තටම කැමරාව ඉස්සරහා හස්බන්ඩ් වයිෆ් විදිහට රඟපාන එක මට නම් හිතන තරම් පහසු වුණේ නැහැ

Comments