මං විතරයි මෙහෙමවත් අඩියක් නටන්නෙ | සිළුමිණ

මං විතරයි මෙහෙමවත් අඩියක් නටන්නෙ

- ඉස්කෝලෙ යන කාලෙවත් චන්දන වික්‍රමසිංහ මගේ තාත්ත කියන එක මං කාටවත් කියල නෑ
- අපේ තාත්ත කියන්නේ අවුරුදු විසි පහ වෙනකල් ‘නෝ බෝයි ෆ්‍රෙන්ඩ්‘ කියලා

මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වන දෙවංගි වික්‍රමසිංහ ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහගේ දියණියයි. බොහෝදෙනා නොදන්නා ඇය පිළිබඳ හඳුන්වා දීමට එය හොඳටම ප්‍රමාණවත්ය. හැකියාව මෙන්ම වේදිකාව ද සහජ උරුමයක් වූ දෙවංගි තම පියාගේ නමින් බැබළෙන්නට උත්සාහ නොකරන්නීය. බොහෝදෙනා හඳුනන්නෙත් නැති දෙවංගි ගැන මේ දවස්වල කතාබහට ලක්වෙලා. ඒ “චන්දනගේ දුව වුණ පළියට මමත් නටන්නම ඕන කියලා දෙයක් නෑනෙ“. කියා ඇය කළ ප්‍රකාශයත් එක්ක.

ඇයි ඔබ ඒ වගේ දෙයක් කිව්වේ?

ඇත්තම කිව්වොත් ඉස්කෝලෙ යන කාලෙවත් චන්දන වික්‍රමසිංහ මගේ තාත්තා කියන එක මං කාටවත් කියල නෑ. මං හරි ලැජ්ජයි. ඒ කාලෙත් තාත්තා ඩාන්සර් කෙනෙක් විදිහට ගොඩක් ජනප්‍රියයි. ඒ නිසා මං චන්දනගෙ දුව කියල ඒ නම පාවිච්චි කරල දේවල් කරගන්න කැමැති වුණේ නැහැ. කවදාවත් මං එහෙම කරල නෑ. කරන්නෙත් නෑ. මගෙ යාළුවො සමහර වෙලාවට මාව එහෙම අඳුන්නල දෙද්දි මං එපා කියනවා. චන්දනගෙ දුව කියන තැන මං කවදාවත් හිටියෙත් නෑ. ඉන්නෙත් නෑ.

තාත්තා ඒ නම හදා ගත්තෙ ගොඩක් මහන්සි වෙලා. අපි ඒක ඇස් දෙකටම දැක්කා. මං නිකන් ඒක පාවිච්චි කළොත් ඒකෙ වටිනාකම නැති වෙනවා. අම්මා නර්තනය දන්න කෙනෙක් නොවුණත් එයා දැක්කා තාත්තා මේ තැනට එන්න වින්ද දුක. අම්මා වුණත් මට කිව්වෙ ඉගෙනගෙන ඉවර වෙලා නර්තනයට යොමුවෙන්න කියලා. 

ඒ කියන්නෙ ඔබ නටන්නෙ නැද්ද?

මම නටනවා. ඒත් චන්දනගෙ දුව වුණ පළියටම නටන්න ඕනෙ කියල දේකුත් නෑනෙ. තාත්තා එක්ක ඩාන්සින්වලට එයාගෙ ටුවර්ස්වලට සහභාගි වෙනවා. තාත්තගෙ නර්තන කණ්ඩායම වුණා කියල මං ඉස්සරහම නටන්නෙත් නෑ. සමහරදාට ඉස්සරහ නටනව වගේම පස්සෙමත් නටනවා. මං එයාගෙ දුව තමයි. ඒත් නටන්නෙ කොතැනද කියන එක මට ගැටලුවක් නෙවෙයි. දාන්නෙ කොතැනට ද මං එතැන නටනවා. අනික තාත්තගෙ කණ්ඩායමේ මට වඩා දක්ෂ, ලස්සන ළමයි ඉන්නවා. මං එහෙම කරනව කියන්නෙ එයාලට කරන අසාධාරණයක්.

දෙවංගි ප්‍රසිද්ධියට අකැමැති ද? තාත්ත කියල නැද්ද නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න කියලා?

එහෙම කියල නැහැ. මගේ අධ්‍යාපන කටයුතු නිසා දැනට මං ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. ඒ නිසා එක දිගට නර්තනයේ නියැළෙන්න වෙලාවක් නෑ. ලංකාවට එන අවස්ථාවලදී මං තාත්තගෙ වැඩවලට සම්බන්ධ වෙනවා. පුහුණුවීම් කරනවා. තාත්ත වුණත් කියන්නෙ ඔයා එනව නම් නර්තනය ගැන හොඳ හැදෑරීමක් කරල එන්න කියලා. අද කාලෙ තරගයකින් දිනල එක දෙක වුණ ගමන් ටික් ටොක් හරි සමාජ මාධ්‍යවල හරි වීඩියෝ එකක් දාල ජනප්‍රිය වුණ ගමන් පන්ති පවත්වන අයත් ඉන්නවා. ඒත් මට ඒ තැනට වැටෙන්න ඕනෙ නෑ.

ඔබේ පියා ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවෙත් විශේෂ පිළිගැනීමක් තියෙන කෙනෙක්. ඒ තත්ත්වය ඔබට දැනෙන්නෙ කොහොමද?

එයාගෙම මහන්සියේ, කැපවීමේ ප්‍රතිඵල තමයි මේ. එයාටත් කැපිලි, කකුලෙන් ඇදිලි ගොඩක් තිබුණා. ඒ හැමදේම දරාගෙන එයාගෙම ශක්තියෙන් මහන්සියෙන් ආපු ගමනක් මේක. ඒ නිසා ඇත්තටම තාත්තා ගැන හරිම ආඩම්බරයි. මට මතකයි ඉස්සර මගේ කොන්සට් එකකට එන්න තරම්වත් එයාට වෙලාවක් තිබුණෙ නෑ.

ඔබ හැදුණෙ, වැඩුණෙ, ගැවසුණේ නර්තන පරිසරයක. එහෙම වෙලත් ඔබ තෝර ගත්තෙ අමුතුම පැත්තක්. විශේෂයෙන්ම ගැහැනු ළමයෙක් තෝරගන්නෙ නැති දුර්ලභ පැත්තක්?

මම පොඩි කාලෙ ඉඳන්ම ඇසුරු කළේ තාත්තගෙ නර්තන කණ්ඩායම. එයාලත් එක්ක හරිම එකතුයි. ඒත් මං හරි ලැජ්ජයි. තාත්ත ඉන්නව නම් නටන්න යන්නෙ නෑ. ඉස්කෝල කාලේ නර්තනය කළා. ගයනි ටීචර් තමයි මාව ඇදල ඩාන්සින්වලට යවන්නේ. මගෙත් එක්ක නටපු සමහරු සම්මාන ගත්තා. මේ වෙද්දි එයාල නර්තනයෙන් අයින් වෙලා. මං විතරයි මෙහෙමවත් අඩියක් නටන්නෙ. පොඩි කාලෙ ඉඳන්ම මං පරිගණක තාක්ෂණය පැත්තට තමයි කැමැති. උසස් පෙළත් පරිගණක පැත්ත තෝරගත්ත එකම ගැහැනු ළමයා මං. ගැහැනු ළමයි වැඩිය තෝරගන්නෙම නැති පැත්තක්. පාසල් ගිහින් අවසන් වුණ ගමන්ම මං ඔස්ට්‍රේලියා එන්නෙ වැඩිදුර අධ්‍යාපනයට. මං උපාධියට තෝරගත්තෙත් සයිබර් සිකියුරිටි. මේ වෙද්දි මං මාස්ටර්ස්වලට සූදානම් වෙනවා.

ඔබ තරුණියක් විදිහට පිටරටක තනි වුණහම පාළුව, තනිකම දැනෙනව ඇති. ආදරය ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක් ද?

මං ගොඩක්ම ෆැමිලි එකත් එක්කම ඉන්න කෙනෙක්. ඒ නිසා මට ඒ බැඳීමෙන් ඈත්වෙලා එහෙම දේකට යොමු වෙන්න හිතෙන්නෙ නෑ. අපේ තාත්තා වුණත් කියල තියෙන්නෙ අවුරුදු 25 වෙන කල් ‘නෝ බෝයි ෆ්‍රෙන්ඩ්‘ කියලා.

Comments