නපුරට එරෙහිව සටන් වදින වීරයකු පිළිබඳ කතාවක් කියන්නට ජවාන් සමඟ එන ෂාරුක් ඛාන් | Page 2 | සිළුමිණ

නපුරට එරෙහිව සටන් වදින වීරයකු පිළිබඳ කතාවක් කියන්නට ජවාන් සමඟ එන ෂාරුක් ඛාන්

ෂාරුක් ඛාන් රඟ පෑ ‘පතාන්’ චිත්‍රපටයෙන් පසු දැන් ඔහුගේ ඊළඟ සිනමාපටය ගැන ද විශාල උණුසුමක් ගොඩනැගෙමින් තිබෙනවා. මෙම අලුත්ම සිනමාපටයේ නම ‘ජවාන්’. ‘ජවාන්’ ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශේෂ කතාබහක් ඇති වූයේ එහි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමඟයි. ඉතා ත්‍රාසජනක, උද්වේගකර දර්ශන පෙළකින් සමන්විත මෙම පූර්ව ප්‍රචාරක පටයට සිනමාලෝලීන්ගෙන් මෙන්ම සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් ද උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. 

මෙම ප්‍රචාරක පටයෙන් පැවසෙන්නේ ‘ජවාන්” සැප්තැම්බර් 7 වැනි දින ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙනු ඇති බවයි. මෙය නැරඹූ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් ඊට ඉතා හොඳ සහතිකයක් ලබා දී තිබුණා. ‘වාව්, මෙය සුපිරි බ්ලොක්බස්ටර් (Blockbuster) චිත්‍රපටයක් වනු ඇති. නරඹනතුරු නොඉවසිල්ලෙන්’ තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඔහු සඳහන් කර තිබුණා.

‘ජවාන්’ පිළිබඳව පළවන ඇතැම් මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ එහි ෂාරුක් එකවර චරිත දෙකක් නිරූපණය කරන බවයි. ඒ පිය පුතු දෙදෙනෙකුගේ චරිත දෙකක්. ඔහු මෙහි දී විවිධ වූ ස්වරූප කිහිපයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙන බවත් පැවසෙනවා. එක් ස්වරූපයක ෂාරුක් හිස මුඩු කර සිටින ආකාරයත් දැකිය හැකියි. එය ෂාරුක්ගේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ස්වරූපයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා එයත් ‘ජවාන්’ නරඹන රසිකයන්ට තවත් අලුත් අත්දැකීමක් වනු ඇති.

‘ජවාන්’ හි කතා පුවත ගැන තවමත් වැඩි විස්තරයක් මාධ්‍ය තුළින් අනාවරණය වී නැහැ. කෙසේ නමුත් එය සමාජයේ නපුරට එරෙහිව සටන් වදින ‘වීරයකු’ පිළිබඳ කතාවක් බව සඳහන්. එහි දී ඔහුට හමුවන, කිසිවක් හමුවේ පසු නොබසින බිහිසුණු සතුරකු සමඟ ඔහු කරන අරගලය තමයි ‘ජවාන්’ ට පසුබිම් වන බව පැවසෙන්නේ. මෙය සාමාන්‍යයෙන් මෙවැනි ජනප්‍රිය චිත්‍රපටවල නිතර හමුවන තේමාවක් වුවත් “‘ජවාන්’ හි එය අලුත්, අපූරු ආකාරයකින් ඉදිරිපත් වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා.

දකුණු ඉන්දියානු සිනමාවේ තවත් දක්‍ෂ, ජනප්‍රිය නළුවකු වන විජේ සේතුපති ද මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා. ‘පතාන්’ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ දීපිකා පදුකෝන් ‘ජවාන්’ හි කෙටි චරිතයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා. මෙහි ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ ජනප්‍රිය නිළි නයන්තාරා යි. දෙමළ සිනමාවේ සුපිරි නළු විජේ ද මෙහි කෙටි චරිතයක් රඟපාන බවක් මාධ්‍ය වාර්තාවල සඳහන්.

2018 වසරේ තිරගත වූ Zero චිත්‍රපටයෙන් පසු වසර කිහිපයක් රංගනයෙන් ඉවත්ව සිටි ෂාරුක් එයින් අනතුරුව පළමු වරට සිය රසික රසිකාවියන් හමුවට ආවේ ‘පතාන්’ චිත්‍රපටයෙනු යි. එය මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය බවට පත් වූ අතර ඉන්දියානු සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ඉපැයූ චිත්‍රපට අතර පස්වැනි ස්ථානයේ පසුවෙනවා. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ‘පතාන්’ ලැබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,000 කට ආසන්න යි. 

‘පතාන්’ හි සාර්ථකත්වයත් සමඟ ෂාරුක්ගේ රසික රසිකාවියන් ඔහුගේ ඊළඟ සිනමාපටය තිරගත වනතුරු බලා සිටින්නේ මහත් බලාපොරොත්තු සහගතව යි. එම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ‘ජවාන්’ සමත් වේවි ද? සැප්තැම්බර් 7 වැනිදායින් පසු ඊට පිළිතුරු ලැබෙනු ඇති.

‘ජවාන්’ හි තිරනාටකය ලියා අධ්‍යක්‍ෂණය කළේ දකුණු ඉන්දියානු සිනමාවේ දක්‍ෂම අධ්‍යක්‍ෂවරයකු වන ඇට්ලි කුමාර්. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘මර්සල්’, ‘බිජිල්’ වැනි සිනමාපට ද ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගත්තා. ‘ජවාන්’ ඉන්දියානු රුපියල් කෝටි 200 කට වැඩි වියදමක් දරා නිෂ්පාදනය කරන ලද සිනමාපටයක්.

මෙම සිනමාපටයෙන් පසු ෂාරුක්ගේ තවත් චිත්‍රපටයක් මේ වසර තුළ තිරගත වීමට නියමිතයි. ප්‍රකට අධ්‍යක්‍ෂවරයකු වන රාජ්කුමාර් හිරානි අධ්‍යක්‍ෂණය කරන එහි නම ‘දුන්කි’. ‘3 ඉඩියට්ස්’ වැනි අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේත් හිරානි යි. ‘දුන්කි’ චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියානු සංක්‍රමණිකයන් පිළිබඳ කතාවක් බව පැවසෙනවා. විකී කෞෂාල් සහ තාප්සි පන්නු ද මෙහි චරිත නිරූපණය කරන බව සඳහන්.

ෂාරුක් ඛාන් ඇ‍ෙමරිකාවේ කිසියම් රූපගත කිරීමකට සහභාගි වෙමින් සිටිය දී අනතුරකට මුහුණ දීමෙන් ඔහුගේ නාසයට තුවාල සිදු වූ බවට කතාවක් පසුගිය දිනවල වේගයෙන් සංසරණය වන්නට පටන් ගත්තා. නමුත් පසුව හෙළි වූයේ එහි කිසිදු සත්‍යතාවක් නොවූ බවයි. ෂාරුක් කිසිදු උපද්‍රවයකින් තොරව සිටින ආකාරය ඔහු ආපසු පැමිණෙද්දී ගුවන් තොටුපලේ දී ගත් විඩියෝවක සටහන්ව තිබුණා.

Comments