ජනප්‍රිය රැල්ල තුළ මම තාමත් නැහැ | සිළුමිණ

ජනප්‍රිය රැල්ල තුළ මම තාමත් නැහැ

 

2006 වසරේ මෙරට ගීත කලාවට අත්පොත් තැබූ ඔහු ගැයූ පළමු ටෙලිනාට්‍ය ගීතය වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ කිරිකවඩි ටෙලිනාට්‍ය තේමා ගීතයයි. එතැන් පටන් සිරිගේ ඉරණම ටෙලි නාටය ඇතුළු නාට්‍ය කිහිපයකම තේමා ගීත ගණනාවක් ඔහුගේ හඬින් රසවත් විය. “හන්තාන පමණමද“ ඒකපුද්ගල ගී ප්‍රසංගය සමඟ කාර්යබහුල වී සිටින යොවුන් ගායන ශිල්පී ඉන්දික ලියනගේ සමඟය අද කතාබහ.

 

ගායනයේදී හඬ කියන්නේ ඔබේ අනන්‍යතාවය, ඉතිං ඒ ගැන කතා කළොත්?

ගායකයෙක් ගයනකොට ඔහුව හඳුනගන්න පුළුවන් විදියේ අනන්‍ය හඬක් තිබිය යුතුයි. එහෙම නැත්නම් ඔහු ගායකයෙක් නෙමෙයි. මටත් තියනවා අනන්‍ය හඬක්. මම විවිධ ගායන ස්වර අලංකාර පිළිබඳව තනියම අධ්‍යයනය කරනවා. මට අනුවනම් මගේ විශිෂ්ටතම ගායන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ ලංකාවේ ගායකයෙන් නෙමෙයි. ඔහු ක්‍රිෂෝර් කුමාර් කියන හිතුවක්කාර ගායකයා. ඇත්තටම මම ඔහුගේ ගායන ශෛලීන් අධ්‍යයනය කරනවා.

 

ඔබ ගායකයෙක්. ඒ වගේම ඔබ රැකියාවකත් නිරත වෙනවා. මේ දෙක සමබරව කරගෙන යන්නේ කොහොමද?

මම 2011 වර්ෂයේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකරණ සහකාරවරයෙක් හැටියට සේවය කරනවා. ඇත්තටම ජයවර්ධනපුර රෝහල මගේ දෙවෙනි මව හා සමානයි. ඒ වගේම සසර පුරුද්දක් නිසා ලැබුණ දෙයක් වෙන්න ඇති මට ඉතාම ඉක්මණින් ගීතයක තනුවක් ග්‍රහණය කර ගන්න පුළුවන් හැකියාවක් තියනවා. ඒ වගේම රැකියාවට යන එන ගමන් වාහනේ ගත කරන පැය දෙක මම මගේ පුහුණුවීම් වෙනුවෙන් යොදා ගන්නවා. උනන්දුව තියනවා නම් පුහුණුවීම් වෙනුවෙන් වෙලාව හදාගන්න පුළුවන්. කවුරුහරි කියනවා නම් මට වෙලාව නෑ කියලා ඒක පිළිගන්න බැරි කතාවක්.

 

ඉන්දික කියන්නේ ජනප්‍රියත්වයට වැඩි කැමැත්තක් නැති කෙනෙක්ද?

අපි හරවත් නිර්මාණයක් සමාජගත කරන්න උත්සාහ කළාට ඒ නිර්මාණය ජනගත කරන්න අපිට තනියම බෑ. ඒකට මාධ්‍ය ප්‍රධානීන් සහ අනුග්‍රාහක පිරිසක් අවශ්‍යයි. ඇත්තටම මම බලෙන් සින්දු අරගෙන කොහේවත් යන්න කැමති කෙනෙක් නෙමෙයි. මගේ ගීත වලට වෙනම රසික පිරිසක් නිර්මාණය වෙලා තියනවා. රටේ විවිධ ප්‍රදේශවලින් සමහර අම්මලා මට දුරකතන ඇමතුම් ලබා දෙනවා. මගේ ගීත අගය කරනවා. ඇත්තටම මට ඉන්නේ වෙනස්ම රසික පිරිසක්. මට රසික පදනමක් නෑ කියන්න බෑ. නමුත් ජනප්‍රිය රැල්ල තුළ මම තාම නැහැ කියන එක ඇත්තක්.

 

ඔබේ ගමනට පවුලේ අයගෙන් ලැබෙන සහය මොන වගේද?

මගේ තාත්තා පොඩි කාලෙදිම මිය යනවා. මේ වෙනකොටත් මගේ අම්මා ඉන්නේ මාත් එක්ක. ඇයගෙන් මට ලොකු ආශීර්වාදයක් ලැබෙනවා. මට පාසල් වයසේ දුවලා දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම පුතා තාම පෙර පාසල් යන්නේ. මගේ බිරිඳ ගැන කතා කළොත් මම පාසල් යන අවධියේදී තමයි ඇයත් එක්ක ප්‍රේමයෙන් බැඳෙන්නේ. ඇය මගේ ප්‍රථම ප්‍රේමය. පසුකාලීනව ඇය මගේ සහකාරිය වුණා. ඇත්තටම ඇගේ සහාය නැත්නම් මට මේ ගමන එන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම මගේ වැඩිමහල් සහෝදරිය. ඇයත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

 

අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති නේද?

මම ගායන ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලේ ප්‍රසංගයක් ඉවර වෙලා ගෙදර එන්න පාරට ආවා. ඉතිං රෑ වෙලා මම බස් නැවතුම්පළේ බලාගෙන ඉන්නවා. ඒත් ඒ වෙලාවේ බස් එකක් තිබුණේ නෑ. මහන්සියට එදා රෑ මට බස්නැවතුම්පළේම නින්ද ගිහිල්ලා. උදේ හයට විතර එතැනට ආපු අම්මා කෙනෙක් තමයි මාව නින්දෙන් අවදි කළේ. ඒ කටුක අත්දැකීම් මගේ ජීවිතේට ලොකු පන්නරයක්.

 

අද වෙනකොට ප්‍රසංග වේදිකාව තුළ රැළි නිර්මාණය වෙමින් තියනවා. ඒ ගැන ඔබේ අදහස ?

එදාට වඩා අද ප්‍රසංග වේදිකාවේ ලොකු වෙනසක් තියනවා. සමහර වෙලාවට සංවිධායකවරු මට කියනවා මල්ලි අපි පොඩ්ඩක් අලුත් පරපුර වෙනුවෙනුත් මොකක් හරි වෙනසකින් ගයමු නේද කියලා. සමහර විට මම ඒ වෙනස වෙනුවෙනුත් ඉදිරියේදී ගයාවි. නමුත් අවර ගණයේ ගීත නිර්මාණ නම් ගයන එකක් නෑ. කොහොම නමුත් ඉදිරියේදී ප්‍රසංග වේදිකාවට ගැලපෙන ගීත දෙක තුනක්නම් ගැයේවි.

 

ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?

ගාමිණී හේවාවිතාරණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් වෙනුවෙන් මම ගීතයක් ගායනා කළා. ඒ වගේම තවත් චිත්‍රපට ගීත තුනකට ගායනයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම ඉදිරියේදී යම් මූල්‍ය අනුග්‍රහයක් ලබා ගන්න හැකියාව ලැබුණොත් මගේ “හන්තාන පමණමද“ ඒකපුද්ගල ගී ප්‍රසංගය රට පුරා අරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා.

 

Comments