ගොඩක් අය ජනප්‍රියත්වයට ආදරේ කරන්නෙ මෙයත් එහෙමද කියල බය හිතුණා | Page 2 | සිළුමිණ

ගොඩක් අය ජනප්‍රියත්වයට ආදරේ කරන්නෙ මෙයත් එහෙමද කියල බය හිතුණා

- මගේම කියලා නිර්මාණයක් ලංකාවට ඇවිත් කරන්න අදහස තියෙනවා
- එයාගේ ප්‍රතික්ෂේප කිරීම තමයි මට එයා ගැන ආදරයක් ඇති වෙන්න හේතුව
- රංගන ශිල්පියෙක් හැටියටත් ලොකු කට්ටක් කෑවා

ආනන්ද වික්‍රමගේ හා මානෙල් වානගුරු කියන්නේ සිනමාව, පුංචි තිරය වගේම වේදිකාව රංගනයෙන් ආක්‍රමණය කළ කලා යුවලක්. මේ දෙන්නගේ හුරතල් පොඩි පුතා තමයි සංකේත් වික්‍රමගේ කියන්නේ. ඔහුව බොහෝ දෙනෙක් දන්නේ ළමා නළුවෙක් හැටියට. රංගනය ඕපපාතිකයක් නොවුණු ඔහු දැන් ඉන්නේ එංගලන්තයේ. ඒ නිසා ඔහු ගැන කතා කරන්න හිතුවා.

ජනප්‍රිය බොහෝ දෙනෙක් කලාවෙන් ඉවත් වෙලා අනාගතය ගැන හිතලා විදෙස්ගත වෙනවා. සංකේත් ඔබත් ඒ තීරණය ගත්තා නේද ..?

අනාගතය ගැන හිතලා මම විදෙස්ගත වුණේ නැහැ. කෙටි විවේකයක් ගත්තේ. මගේ බිරිඳ හා දරුවා ජීවත් වෙන්නේ මෙහේ. පවුල් ජීවිතයක් ගත කරන්න නම් අපි එකට ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක පවුලක් වෙන්නේ නැහැ. විවාහ වෙලා දෙපැත්තක ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසයි මම එංගලන්තයට පදිංචියට ආවේ. දැන් ඉතිං මෙහේ සතුටින් ජීවත් වෙනවා.

ආයේ ලංකාවට යන්න අදහසක් නැද්ද? එතකොට රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලාද ඉන්නේ..? 

නැහැ මම මෙහේ හිටියත් අපේ රටේ කලා නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ නරඹනවා. කලාවෙන් ඉවත් වෙලා නැහැ. මෙහේ කාලයක් ජීවත් වෙලා ලංකාවට යන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. යන්නේ මගේම කියලා නිර්මාණයක් කරන්න බලාගෙන කිව්වොත් හරි. මගේ නිර්මාණයක් කරද්දී මගේ ඔළුවේ තියෙන දේ තමයි නිර්මාණයක් ඔස්සේ එළියට එන්නේ. වෙන නිර්මාණකරුවෙකුගේ නිර්මාණයකට සම්බන්ධ වෙද්දී ඔහුගෙ ඔළුවේ තියෙන අදහස් තමයි මගේ ඔළුවට දීලා මගෙන් ඔහුගේ අවශ්‍ය රංගනය ඉටු කරගන්නේ. මම ඇත්තටම සිදු වුණු දෙයක් කියන්නම්. ඇතැම් නිර්මාණ වල ඔවුන්ගේ අදහස කියද්දි මම අධ්‍යක්ෂකට හෝ නිෂ්පාදකට කියලා තියෙනවා මේක මෙහෙම කළොත් සාර්ථක වෙන්න පුළුවන් නේද මීට වඩා කියලා. එතකොට එයාලා හිර වෙනවා. ලොකු වියදම් දරන්න බැහැ බජට් වෙන් කරලා තියෙන්නේ මෙච්චරයි කියලා ඔවුන් කියලා තියෙනවා. ඉතිං අර හොඳ අදහස් යට යනවා. මම සීමාවකට කොටු වෙලා තියෙනවා කියලා හිතෙනවා. ඒ නිසා මට අවශ්‍ය වෙලා තියෙනවා මගේම කියලා නිර්මාණයක් ලංකාවට ඇවිත් කරන්න.

කොහොමද එංගලන්ත ජීවිතේ. සුර සැප විදින්න ලොකු කැපකිරිමක් කරන්න ඕන නේද ..?

කොයි රටට ගියත් සුර සැප විඳින්නේ නැහැ . ලංකාවේ මිනිස්සුන්ට වැරදුණු තැන ඒක තමයි. සුර සැප තියෙන්නේ ලංකාවේ. පැය දෙකතුනකින් දේශගුණය වෙනස් වෙන රටක් ලංකාව කියන්නේ. රූගත කිරිම්වලට පවා ගැළපෙන හොඳම රට ලංකාව කියලා ශාරුක් ඛාන් කියලා තියෙනවා. ඉතිං වෙන රටකට යන්න ඕන ඒ වෙනස්කම් දැනෙන්න. මම රංගන ශිල්පියෙක් හැටියටත් ලොකු කට්ටක් කෑවා. හුස්ම තියෙනකල් කට්ට කාලා කීයක් හරි හම්බ කරගෙන කන්න තමයි තියෙන්නේ. මෙහේ කියලා වෙනසක් නැහැ. ඒ මහන්සිය මගේ බිරිඳයි පුතාවයි දැක්ක ගමන් මට නැති වෙනවා. හරියට බැට්‍රි ලෝ ෆෝන් එකක් ෆුල් චාජ් කරා වගේ. ඒ දෙන්නා නිසා සතුටින් ජීවත් වෙනවා

ඔබ රංගන ශිල්පියෙක් බව දැන හඳුනාගෙන කතාබහ කරන අය මුණගැහෙනවද..? කොහොමද ප්‍රතිචාර සමහරු මාව අඳුනගෙන කතාකරනවා. ප්‍රතිචාර හොඳයි. මෙහේ ලංකාවේ අය ගොඩක් ජීවත් වෙනවා. අවුරුදු උත්සවවලට එහෙම ගියාම ඔයාව දැකලා පුරුදුයි. ඔයා සංකේත් නේද කියලා අහන අය ඉන්නවා. කතාබහ කරන අය ඉන්නවා. අවුරුදු ගාණක් තිස්සේ ලොකු කට්ටක් කාලා රංගන ක්ෂේත්‍රයේ රැඳුණේ. එහි ප්‍රතිඵල ප්‍රතිචාර විදිහට ලැබෙද්දි සතුටුයි.

අම්මා තාත්තා කියන්නේ නැද්ද ඉක්මනින් විවාහයක් කර ගත්තා මදිවට රටිනුත් ගියා කියලා ..?

නැහැ එහෙම කිව්වේ නැහැ. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ විවාහයක් කරගෙන ලස්සනට ජීවත් වෙනවා බලන්න. මගේ අම්මයි තාත්තායි දන්නවා එයාලා මට ආදරේ කළා වගේම මාව බලා ගන්න මට හොඳ බිරිඳක් ලැබුණා කියලා. විදෙස්ගත වුණා කියලා බණින්නෙත් නැහැ. මෙහේ ආවට මගේ හිත එයාලා ළඟ කියලා දන්නවා මගේ. බිරිඳත් ලාංකික සිරිත් විරිත් සංස්කෘතිය අනුව ජීවිතේ ගෙනියන කෙනෙක්. අම්මයි තාත්තායි නිතරම කියන්නේ තනි කකුලෙන් නෙමෙයි කකුල් දෙකෙන්ම හිට ගන්න විදිහට ජීවිතේ හදා ගන්න කියලා.

පුංචි කාලේ දෙමාපියන් කලාවත් එක්ක කාර්යබහුල වෙලා හිටියා. දැන් ඔවුන් විවේක සුවෙන්. ඒත් ඔබ කාර්යබහුලයි. ඔවුන් හිත් අමනාපයෙන්ද..?

එහෙම දෙකක් නැහැ. හැමදාම මම අම්මා තාත්තට කතා කරනවා. ඉස්සර ඒ දෙන්නා කාර්යබහුල වුණා. දැන් මම කාර්යබහුල වෙලා. ඒක ඇත්ත, නමුත් ඒ කාලෙත් ඒ දෙන්නා කොච්චර කාර්යබහුල වුණත් පවුලට මුල් තැන දුන්නා. හොඳම උදාහරණය තමයි ඒ දෙන්නා රූගත කිරීම්වලට ගිහිං ඔවුන්ට ලැබෙන කෑම එක පවා මටයි අයියටයි ගෙනැත් දීලා තියෙනවා. කෝල් කරලා නිතරම අපි ගැන හෙව්වා. මමත් කොච්චර කර්යබහුල වුණත් අම්මා තාත්තා ගැන හොයලා බලනවා. ඒ නිසා අමනාපයක් නැහැ. සතුටු වෙනවා මේ ගෙවන ජීවිතේ ගැන

කොහොමද ආදරණීය බිරිඳ මුණගැහෙන්නේ. ඇය ගැනත් කියමු..?

මගේ යාළුවෙක් හරහා තමයි මට ඇයව මුණගැහෙන්නේ. එයා එක්ක කතාබහ කරන්න පටන් ගද්දි මට බයක් දැණුනා. මොකද ගොඩක් අය ජනප්‍රිය අයට කැමතියි. ජනප්‍රියත්වට ආදරේ කරන්නේ පුද්ගලයාට නෙමෙයි මෙයත් එහෙමද කියලා බයක් තිබ්බා. නමුත් ආශ්‍රය කරද්දී තේරුණා ඇය හොඳයි කියලා. මට විවාහ වෙන්න ඕන වුණේ මගේ තාත්තාට අම්මා සලකනවා වගේම හොඳ බිරියක් මට ලැබෙන්න. මගේ අම්මා මට ආදරේ කරනවා වගේ මට ආදරේ දෙන කෙනෙක් හොයා ගන්න. ඒ බලාපොරොත්තුව මගේ බිරිඳ ඉටු කරනවා.

ළමා නළුවෙක් හැටියටත් ජනප්‍රිය වෙලා හිටපු නිසා ඔබේ කලා ජීවිතේ ඇය හොඳින් දැනගෙන ඉන්න ඇති. ඔබ ආදරේ ප්‍රකාශ කරද්දී ඇය ප්‍රතික්ෂේප කළේ නැද්ද ..?

මම ආදරේ ප්‍රකාශ කරද්දී එයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව මම නළුවෙක් වීම. එයාගේ ප්‍රතික්ෂේප කිරිම් තමයි මට එයා ගැන පැහැදීමක් හා ආදරයක් ඇති වෙන්න හේතුව කිව්වොත් හරි. කෙටි කාලීන ආදරයකට හෝ ජනප්‍රියත්වයට මාව ආශ්‍රය කරන්නේ නැහැ කියලා යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දි තේරුණා. දිගු ගමනකට ගැළපෙන කෙනා එයා කියලා හිතුවා. ඒ නිසා ප්‍රතික්ෂේප කරද්දි කරද්දී ඇය වෙනුවෙන් ඉඳලා ඇගේ ආදරේ ලබා ගත්තා.

ඇයද ඔබට අනුබල දුන්නේ විදෙස්ගත වෙන්න..?

අනේ නැහැ. හැමදේම අත ඇරලා රට යමු කිව්වේ නැහැ. එයා දකිනවා ලංකාවේ හිටියත් මෙහේ හිටියත් මට ලොකු රසික පිරිසක් ඉන්නවා කියලා. එයා කියන්නේ හොඳ නිර්මාණයක් ලබුණොත් භාර ගන්න කියලා. අම්මා තාත්තා දුන්න දේ අරන් යන්න කියලා එයා කියනවා.

දැන් හිතන්නේ නැද්ද කලාවෙන් ඉවත් වෙලා විදෙස්ගත වුණේ අපරාදේ කියලා ..?

එහෙම දුකක් නැහැ. මම පසුතැවිලි වෙන්නේ නැහැ. පවුලේ අයගෙන් දුරස් වුණු එක තමයි දුකක් විදිහට දැනෙන්නේ . ඒකත් දැන් තාක්ෂණය දියුණු නිසා ලොකුවට දැනෙන්නේ නැහැ. ළඟින් ඉන්නවා කියලා හිතෙනවා වීඩියෝ කෝල්ස් එහෙම අරන් නිතරම කතා කරන නිසා. කුමන හෝ කලා කටයුත්තක් මම කරාවි. ඒ නිසා දුකක් නැහැ. මගේ ආදරණීය අම්මා තාත්තා මේ වෙලාවේ මතක් කරනවා ඔවුන්ට පිං මාව වැදුවාට. අත පය නොකඩා මාව හැදුවාව. ඒ වගේම නොදන්න රටකට ඇවිත් ජීවත් වෙන්න පාර පෙන්නූ මගේ ආදරණීය බිරිඳගේ පියාට ස්තූතියි කියනවා.

Comments