මාව තේරුම් ගන්න ප්ලීස්... අනේ මාව තේරුම් ගන්නකො... ඇයි ඔයා මාව තේරුම් ගන්නේ නැත්තේ... ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි ...
ඔය වගේ කතා මේ සමාජේ ඉන්න අපිට අලුත් නැහැ. නිතරම හැමතැනම ඇහෙනවා .
වැඩිපුරම ඇහෙන්න ගැහැනු සහ පිරිමි අතරේ.
ඇත්තටම ගැහැනුන්ට පිරිමින්ව සහ පිරිමින්ට ගැහැනුන්ව තේරුම් ගන්න ඔය කියන තරමටම අමාරුද ?
අපි වැරදියට වටහාගෙන පටලගෙන හිටියට උත්තරය හරිම සරලයි .
ඔතැනදි අපි තේරුම් ගන්න ඕනේ එකම එක දෙයයි.
ගැහැනු කියන්නේ ගැහැනුන්ට. පිරිමි කියන්නේ පිරිමින්ට. ඔන්න ඕකයි උත්තරේ
ගැහැනු හිතාගෙන ඉන්නේ ගැහැනු හිතන පතන විදිහට පිරිමි හැසිරිය යුතුයි කියලා. ඒ වගේම ගැහැනු ඒ අනුවම විය යුතුයි කියලා පිරිමිත් හිතාගෙන ඉන්නවා. ඇත්තම කිවුවොත් එහෙම හිතාගෙන ඉන්නවා විතරක් නෙමෙයි, මේ දෙගොල්ලොම ජීවිතේ තීරණ ගනිද්දීත් ඒක එහෙමයි කියල උපකල්පනය කරලා තීරණ ගන්නවා .
ඔන්න ඔතැනදි තමයි ගැහැනු සහ පිරිමි තේරුම් ගැනීම ගැන ප්‍රශ්න පත්තරයක් හැදෙන්න පටන් ගන්නේ .
මොන තරම් සමාජ විකාශන අවධි පහු කලත් තවමත් නොවෙනස්ව පවතින බහුතරයක් නියෝජනය කරන පොදු ස්ත්‍රී ගති ගුණ තියනවා. ඒවා එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම වෙනස් කරන්නත් බැහැ.
ප්‍රේම සම්බන්ධයකදී ගැහැනු ඒ ප්‍රේමය තමන්ගේ මුළු ජීවිතයම කරගන්නවා. හැබැයි බහුතරයක් පිරිමි එහෙම නෙමෙයි. ඔවුන්ට ප්‍රේමය ආදරය කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ එක කොටසක් විතරයි.
ගැහැනු තමන්ගේ මුළු ලෝකයම ප්‍රේමය වටා නිර්මාණය කරගන්න කොට පිරිමි තමන්ගේ ජීවිතයේ අවශ්‍ය කොටසට පමණක් ප්‍රේමය ඇප්ලයි කරගන්නවා .
ඔන්න ඔතැනදි එයාට මාව ගානක් නැහැ... එයා මට ආදරේ නැහැ... එයාට මාව වටින්නේ නැහැ... කියලා ගැහැනු චෝදනා කලාට ඇත්තටම වෙලා තියෙන්නේ පිරිමින්ගේ සිතුවිලි ක්‍රියාත්මක වීමේ නියමාකාර ස්වභාවය ගැන ගැහැනුන්ට අවබෝධයක් නැති එක විතරයි.
ඕකෙම අනිත් පැත්තත් වෙනවා.
පිරිමින් විසින් ගැහැනුන්ට කරන චෝදනාත් තියනවා.
එයා කියවනවා වැඩියි... වැඩේම කියවිල්ල... කියවන්න පටන් ගත්තම නවත්තන්නේ නැහැ... කනක් ඇහෙන්න නැහැ කියවනවා...කියලා පිරිමි කියනවා.
හැබැයි ඔහොම චෝදනා කර කර ඉන්නවා මිසක් පිරිමි වුණත් ගැහැනුන්ගේ කියවිල්ල අස්සේ ඒ හැංගිලා තියන පණිවිඩය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ .
තමන්ට පීඩනයක් දැනුනහම, තරහක් ආවම, නොරිස්සුම් ගතියක් දැනුනහම හෝ අවධානය තමන් වෙතට හරව ගන්න ඕනේ වුණාම ගැහැනුන්ගේ වචන පිටකිරීමේ වේගය සහ කතා කිරීමේ අවශ්‍යතාව වැඩිවෙනවා .
හේතුවක් ඇතුව හෝ නැතුව ගැහැනු පමණට වඩා කියවන්න පටන් ගන්නවා. කාන්තාවකගේ දෛනික වචන පිටකිරීමේ අවශ්‍යතාව වචන විසිදහසක් පමණ වෙන නිසා කෙනෙකුගේ මානසික පීඩනයත් ඕකට හේතුවක් වුණාට , නිතරම අනවශ්‍ය විදිහට කියවන ගැහැනු කෙනෙක්ගේ හිත ඇතුළේ තියන හැඟීම් ගොන්නෙ, ඒ පීඩනය ඒ දෙන්න හදන පණිවිඩය බොහෝ විට පිරිමි තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ.
ඇත්තටම අහන් ඉන්න බැරි වුණත් තමන්ට සවන්දෙනවා කියල දැනුනහම තමන් ගැන අවධානයෙන් ඉන්නවා කියලා දැනුනහම ගැහැනු සිත බොහෝ විට සමනය වෙනවා කියල හුඟක් පිරිමි දන්නෙත් නැහැ.
මේ අතෝරක් නැතුව කියවන වචන අස්සේ තියෙන හැඟීම මොකද්ද ඇයට අවශ්‍ය මොනවද කියල පොඩ්ඩක් ඔළුවෙන් හිතලා පුංචි අවධානයක් සැලකිය යුතු දයාවක් මඟින් ස්ත්‍රී හිත් අසීමිතව නිවන්න පුළුවන් කියලා පිරිමි තේරුම් ගත්ත දවසට මේ සමාජයේ අහේතුකව කියවන ගැහැනු අඩුවෙලා යනවා .
පිරිමි සරලව හිතාගන්න දේවල් දිහා ගැහැනු ගැඹුරෙන් බලනවා. ගැහැනු මතක තියාගන්න දේවල් ගැන පිරිමි දුක්වෙනකොට පිරිමි අමතක කරන දේවල් ගැන හිතලා ගැහැනු හඬාවැටෙනවා .
මේ දෙකම කාගේවත් වැරද්දක් වත් අඩු පාඩුවක් වත් නෙමෙයි. මේ තමයි හැටි. ගැහැනු සහ පිරිමි නිර්මාණය වෙලා තියන හැටි.
සමාජ විද්‍යාව මනෝ විද්‍යාව වගේ විෂයයන්වල විතරක් මේ ගැන කථා කළාට සාමාන්‍ය ජන ජීවිතයේදී අපි සහායකයා සහායිකාව පෙම්වතා පෙම්වතිය අතර ඇතිවෙන ගැටලු සහ අවබෝධය ගැන ප්රශ්නවලදී ඔය න්‍යායාත්මක කොටස මඟ හැරගන්නවා .
ස්ත්‍රී පුරුෂ දෙගොල්ලෝ නිර්මාණය වෙලා තියෙන්නෙම ක්‍රම වේද දෙකක. ඔය දෙක ශරීර අංගවලින් විතරක් නෙමෙයි සිතන පතන හැසිරෙන විදිහෙන් පවා වෙනස්. ඔන්න ඔය නිර්මාණාත්මක ක්‍රමවේදය නිවැරැදිව තේරුම් ගන්නේ නැතුව දෙගොල්ලෝ එකිනෙකාට චෝදනා කරගැනීම හරියට තුවාලය වහලා පිටින් බෙහෙත් බඳිනවා වගේ තේරුමක් නැති වැඩක් .
සොබාදහමේ ඔන්න ඔය න්‍යාය නිවැරැදිව තේරුම් ගත්ත දාට ගැහැනු පිරිමින්ට කරන චෝදනා වගේම පිරිමි හිත් ගැහැනුන්ට කරන චෝදනා ගොන්නත් නොදැනීම අවම වෙලා යයි.