අවසන් තර‍ගෙදි මගේ අයියටවත් මාව අඳුනගන්න බැරි වුණා | සිළුමිණ

අවසන් තර‍ගෙදි මගේ අයියටවත් මාව අඳුනගන්න බැරි වුණා

මෙවර මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරමින් එහි කිරුළ පැලැඳි වාසනාවන්තිය දිලිනි උමාෂායි. මිනි ඉවෙන්ට්ස් නවයක ජයග්‍රාහිකාවන් සමඟ තියුණු තරගයකින් අනතුරුව මැයි 28 වැනිදා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැති අවසන් තරගයේදී මිස් ග්ලෝබ් ලෙස ජයග්‍රහණය ලැබූ ඇය ලබන නොවැම්බර් මස පැවැත්වෙන ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වීමේ සූදානමින් පසුවන්නීය. ශ්‍රී ලංකාව තුළ මෙවන් ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. මිස් ෆිට්නස් ලෙස තේරී අවසන් වටය නියෝජනය කළ ඇය කිරුළ හිමිකර ගැනීමේ අත්දැකීම මෙසේ අප හා බෙදා ගත්තාය.

“මගේ ගම කුරුණෑගල මොරගොල්ලාගම. මං නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් වගේම ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. උසස් අධ්‍යාපනය සඳහා NSBM හරිත සරසවියට තේරුණා. එතැනදි තමයි මගේ මේ ගමනට අඩිතාලම වැටුණෙ. මේ වෙද්දි උපාධිය අවසන් කරලා වැඩිදුර අධ්‍යාපනය සඳහා ස්වීඩන් යෑමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. පොඩි කාලෙ ඉඳන්ම නර්තන හැකියාව තිබුණා. නිරූපණය පැත්තටත් ලොකු ඇල්මක් තිබුණා. කැම්පස් එකේදී මිස් NSBM වීමත් එක්ක නිරූපණය පැත්තට ඇල්මක් ඇති වුණා. ඩිග්‍රිය ඉවර වෙලා ගෙදර ඉද්දි අහම්බෙන් වගේ තමයි යාළුවෙක් ෂෙයාර් කරපු පෝස්ට් එකක් දැකලා මිස් ග්ලෝබ් එකට අයැදුම් කළේ. පෝස්ට් එක දැකලා අයැදුම් කළ දවසට පහුවෙනිදම ඔඩිෂන් එක තිබුණා.“

ඇය මිස් ග්ලෝබ් බවට පත්වන්නේ මිස් ෆිට්නස් මිනි ටයිට්ල් එකේ ජයග්‍රහණයෙන් පසුවයි. මෙය සියුමැලි යුවතියක් අවධානය යොමු නොකරන ඉසව්වක් වීමත් විශේෂත්වයකි. ඒ සඳහා ලොකු කැපවීමක් කළ බවත් ඇය අප හා පැවසුවා.

“ තරඟය සඳහා ළමයි 400ක් විතර ඉදිරිපත් වෙලා හිටියා. යාපනය, නුවර සහ කොළඹ පැවැත්වුණු ඔඩිෂන් තුනකින් පස්සෙ තමයි අවසන් වටය සඳහා 16 දෙනෙක් තෝරගත්තේ. මිනි ටයිට්ල් 9ක් ඔස්සේ තරග කළා. මං තරග කළේ “මිස් ෆිට්නස්“ ටයිට්ල් එකෙන්. ඒකෙ ජයග්‍රහණයත් එක්ක අවසානයේ මිස් ග්ලෝබ් කිරුළ හිමිකරගන්න හැකියාව ලැබුණා. මේක තමයි මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය. මම හිතුවෙ නැහැ මේ වගේ ජයක් ලැබෙයි කියලා. ඒත් මගේ හිතේ විශ්වාසයත් එක්ක කොහොමහරි දිනන්න ඕන කියන හැඟීම දැනුණා. අවසන් වටයට එද්දි හැමෝ අතරෙම ලොකු තරගයක් තිබුණා. අන්තිම වෙද්දි උනන්දුව තවත් වැඩි වුණා. කිරුළ සඳහා මුල ඉඳලම අපිව අධ්‍යයනය කරලා තිබුණා. ලස්සන විතරක් නෙවෙයි පෞරුෂත්වය, බුද්ධිය, හැසිරීම වගේ සියලුම අංශයන් කෙරෙහි අවධානය යොමු කරල තිබුණා. ඊට අමතරව අවසන් වටයේදි ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙන්නත් වුණා. මේ හැම දේකින්ම වැඩිම ලකුණු ලැබුණු කෙනාට තමයි කිරුළ හිමි වුණේ. “

මිස් ග්ලෝබ් ලෙස කිරුළ හිමිකර ගන්නට වෙහෙසුණු උමේෂා මේ තරගයේ ඇය ලද අත්දැකීම් අප හා බෙදාගත්තා.

“ෆිට්නස් පැත්තෙන් තරග වදිනවා කියන අදහස මුලදි තිබුණේ නැහැ. මේකට තේරුණාට පස්සෙ ජිම් එකට යන්න උනන්දු වුණා. ජිම් එකට ගියාම ඒකෙ ඇක්ටිවිටීස් එක්ක නිකන්ම ෆිට්නස් හැදුණා. මේකට එද්දි මගේ බර ගොඩක් වැඩියි. මහත නිසා අනිත් ළමයින්ට වඩා මාව කැපිල පෙනුණා. මහත අඩු කරගන්න මං ලොකු දුකක් වින්දා. මාසයක් එකහමාරක් බත් කෑවෙත් නෑ. ඒ තමයි මං ගොඩක් දුක්වින්ද කාලය. අන්තිමට මං කොතරම් වෙනස් වුණා ද කියනව නම් අවසන් තරගෙදි මගේ අයියටවත් මාව අඳුනගන්න බැරි වුණා. ගෙදර අයටත් මාව අඳුනගන්න බැරි තරමට ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒක තමයි මට තිබුණ ලොකුම අභියෝගය. මගේ ලොකු අම්මා තමයි මට ගොඩක්ම උදවු කළේ, මාව උනන්දු කළේ.

ටැලන්ට් වටයට මං කළේ ගිනි පිඹීම සම්බන්ධ ඇක්ට් එකක්. ජීවිතේ පළමු වතාවට මං එහෙම එකක් කළේ. භූමිතෙල් දාලා කටට ගින්දර දා ගත්තා. ෆයර් ඇක්ට් එකට උදවු කළේ නාමල් සඳුසේන සර්. එයා තමයි මගේ හිතේ විශ්වාසය ඇති කළේ. වෙනදා නිකන් ගින්දර ගෑවුණත් පිච්චෙන එකේ එදා මට දැනීමක්වත් තිබුණෙ නෑ. එක දවසින් පුහුණු වුණෙත්. ඒක නම් මට අමතක වෙන්නෙ නෑ.“

මිස් ග්ලෝබ් තරගාවලිය සංවිධානය කිරීම ගැන ස්තුතිය පළ කරන්නත් උමේෂා අමතක කළේ නැහැ.

“මිස් ග්ලෝබ් තරගය සංවිධානය කළේ ට්‍රොනික් එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය. එහි සභාපති මාධව වත්තේගම සර් වගේම තරගයේ ජාතික අධ්‍යක්ෂ චතුනි සේනානායක මිස් විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම රොසෑන් ඩයස් මිස් පුහුණුවීම්වලට ගොඩක් උදවු කළා. හිල්ටන් හෝටල් කළමනාකාරිත්වයත් මතක් කරන්න ඕන.

මේකෙ ජාත්‍යන්තර තරගය ලබන නොවැම්බර් මාසෙ ලංකාවෙ පැවැත්වෙනවා. මිස් ග්ලෝබ් තරගයේ 50 වැනි සංවත්සරයට සමගාමීව යමින් තමයි ජාත්‍යන්තර තරගය ලංකාවෙ පවත්වන්න සූදානම් කරල තියෙන්නෙ. මගේ රට වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ඒකට මගේම රටේදී ඉදිරිපත් වෙන්න ලැබීමත් ලොකු ආඩම්බරයක්. මගේ ගෙදරිනුත් ලොකු සහායක් ලැබෙනවා. ජාත්‍යන්තර තරගයට හොඳින් මුහුණ දීල මගේ රටට ජයග්‍රහණයක් ලබා දෙන්න මං ගොඩක් උත්සාහ කරනවා. “

 

Comments