හුස්මේ සැමදා රැඳුණා
සඳනාරී උපමා මැවුණා
සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා කිව්වේ නිකං නෙමෙයි. ගීතයක තිබෙන රසය, මිහිර විඳ ගන්න අපිට දැනුම අවශ්‍ය නෑ. ඇත්තටම අවශ්‍ය කරන්නේ රස හඳුනන සිතක් විතරමයි. ඒ වගේම තමයි ගීතයේ අඩංගු වන වචන ,ජාතිය, ආගම හා භාෂාවත්, මොන තරාතිරම, ගුරුකුලය නියෝජනය කළත් අර මුලින්ම කිව්ව රසයෙන් හා මිහිරෙන් නිර්මාණය සාර්ථක නම්, හදවතට දැනෙනවා නම් ඒක තමයි ගීතයකට කරන උපරිම සාධාරණත්වය.
නේපාලය දකුණු ආසියානු රටක්. අපිට නේපාලය සමඟ ආගමික සබඳතාවයන් තියෙනවා. ඒ වගේම නේපාල සංස්කෘතික අංග ලක්ෂණ ලාංකීය සංස්කෘතියේත් දකින්න පුළුවන්. සංගීතය කියන්නේ එයට ළඟම උදාහරණයක්.
ප්‍රමෝද් ( Pramod Kharel ) කියන්නේ නේපාලයේ ජාප
( Jhapa ) දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පවුල් පසුබිමකින් ආව තරුණයෙක්. අද වන විට ප්‍රමෝද් නේපාලයේ සිටින අතිශයින්ම ජනප්‍රිය ගායකයෙක්. කුඩා කාලයේ සිටම ගායනයට දස්කම් පෑව ප්‍රමෝදට ගායකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න ලැබෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් අවසන් කළාට පසුවයි. ප්‍රමෝද් රසායනික විද්‍යා උපාධිධාරී ගායකයෙක්.
දවසක් මේ අපූරු නේපාල ගායකයා එක්තරා සංගීත සංදර්ශනයකදී දෙනෝදහක් දෙනා බලාගෙන ඉන්න මොහොතක ඉංග්‍රිසි බසින් මෙන්න මෙහෙම කියනවා.
“හොඳයි මම තව ගීතයක් ගායනා කරන්න හදන්නේ. මේ තමයි මම කැමතිම ගීතය. මේක ශ්‍රී ලංකාවේ ගීතයක්. මට සිංහල භාෂාව තේරෙන්නේ නෑ. නමුත් මම මේ ගීතයට හරිම ආසයි. ඒ වගේම ආදරෙයි.“
ඊට පස්සේ ඔහු තමන්ගේ මයික්‍රෆෝනය අරගෙන සංගීතයත් නැතිව බොහෝම ලයාන්විතව හිමින් හිමින් ගයනවා.
“හුස්මේ සැමදා රැඳුණා
සඳනාරී උපමා මැවුණා
වැස්සේ සිතුසේ තෙමුණා
කිඳුරාවී මනසේ ඇඳුණා...“
ප්‍රේක්ෂකාගාරයම කිසිම හඬක් නොනගා , ඒ හඬට සමවැදී අහගෙන ඉන්නවා.
සඳනාරී ගීතය ගායනා කරන්නේ අපේ රටේ හර්ෂ විතානගේ. ගේය පද ෂෙහාන් ගලහිටියාව ගේ. මේ මිහිරි තනු සංයෝජනය කරන්නේ යසස් මැදගෙදර.
තමන්ගේ රටේ නොවන, තමන්ගේ මවු භාෂාවේ නොවන ගීයක් රසවත්ව, මිහිරිව ගයන්නට හැකිනම් ඒ ගායන කුසලතාවයත් ඉතාම විශිෂ්ටයි.
අන්න ඒ නිසා ගීතය කියන්නේ, ජාති ආගම් කුල වලින් බෙදුණත් කිලෝමීටර් දස දහස් ගණනින් ඈත් වෙලා හිටියත්..
ඕනෑම හදවතක රසය අවුස්සන, හදවත් එකට තියලා සෙනෙහසින් පුරවන ලෝකයේ බලගතුම සංවේදීම ආයුධයයි කියලා කියන්නේ.