අද ඉන්නේ අවුරුදු දොළහකට කලින් හිටපු පියුමි බොතේජු නෙමෙයි | සිළුමිණ

අද ඉන්නේ අවුරුදු දොළහකට කලින් හිටපු පියුමි බොතේජු නෙමෙයි

පුංචි තිරයෙන් හා රිදී තිරයෙන් කරලියට ආ පියුමි බොතේජු ප්‍රහසනයට ද උපන් හපන්කම් ඇත්තියකි. මේ පිළිසඳර ඈ සමඟය.

අතීතයේ ඉහළ ගුණාත්මයෙන් යුතු ප්‍රහසනාත්මක නිර්මාණ බිහි වුණා. ඒ තුළ දැවැන්ත කලාකරුවනුත් සිටියා. ඒ නිර්මාණ තුළට ආ ඔබ කවුද?

මම කලාකාරිනියක්. ප්‍රහසනය හැම කෙනාටම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පබා සහ හිමාලි හරහා මම මගේ රංගනය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මටත් ආනන්ද වික්‍රමගේ මහත්මයාටත් විදේශයන්වලදී රංගන ඇරැයුම් ලැබුණා. අපි පිටපතක් හදාගෙන හිමාලි සහ මර්වින් විදිහට විදෙස් ගත වෙලා රංගනය ඉදිරිපත් කළා. ඒ වේදිකා රංගනය ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයා දකිනවා. එතැන ඉදලා අවුරුදු 12ක් ගිරිරාජ් කෞෂල්‍ය සහ ප්‍රියන්ත සෙනවිරත්න කියන කලාකරුවන් දෙදෙනා එක්ක මම නිර්මාණවලට දායක වුණා.

කුසලතා වර්ධනය කරගන්න ඔවුන් ඇසුරේ ඉඩක් ලැබුණා කියන එක ද කියන්නේ?

ඒ අයගෙන් හැමදාම මොනවා හරි දෙයක් මට ඉගෙන ගන්න තිබුණා. රියහෂල් එකක් කළත් මම කළේ මොනවා හරි දෙයක් ඒ දෙන්නගෙන් හොරකම් කරපු එක. ප්‍රහසනය කියන දේ ඇතුළේ තියෙන්නේ කාලයත් එක්ක උච්චාරණ, ස්වරූප යනාදි සියල්ල ඇතුළත් රංගනයක්.

ප්‍රහසන නිර්මාණයකට පිටපත් රචනය වැදගත් ද?

පිටපත් රචනයෙන් 50%ක් නිර්මාණයට ඇතුළත් වෙත්දී ඉතිරි 50% රංගනයට දායක වන කලාකරුවා තුළින් එළියට එන්නට ඕනෑ. ප්‍රහසනයේ දැවැන්තයෝ දෙන්නෙක් එක්ක මම අවුරුදු 12ක් වැඩ කළා කියලා කිව්වේ ඒ නිසයි. ඒ කාලය තුළ මම ග්‍රහණය කරගත්තු දේ තුළින් යමෙකුට හිනාවක් දෙන්න පුළුවන් මට්ටමට මම අවා. අද ඉන්නේ අවුරුදු 12කට කලින් හිටපු පියුමි බොතේජු නෙමෙයි.

ඔබ අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක් කිව්වොත්?

නැහැ. මට ඉගෙන ගන්න බොහෝ දෑ තියෙනවා. මේ ක්ෂේත්‍රයට මම ඇවිත් අවුරුදු 20යි. අදටත් අපේ ප්‍රවීණයෝ රංගනයේ යෙදෙන ආකාරය මම අධ්‍යයනය කරනවා. අපිට රංගනය පිළිබඳ පාසල් නැහැ. පසුගිය කාලයේ රම්‍යා වනිගසේකර, ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුළු අපි ප්‍රහසනයක් ඉදිරිපත් කළා. ඒ අතර තුරත් ඒ අය ඇවිදින විශ්වවිද්‍යාල වගේ මට පේනවා. මම හැමදාම කළේ ඒ අයගෙන් ඉගෙන ගත්ත එක.

ගිරිරාජ් කෞෂල්‍ය කියන්නේ ගුණාත්මකබවෙන් ඉහළ නිර්මාණ කළ නිර්මාණකරුවෝ නමුත් එවැනි නිර්මාණ අද නැහැ කියලා මම කිව්වොත්?

ඔහු අවශ්‍ය පුද්ගලයා අවශ්‍ය තැනට යොදා ගන්නවා. ඔහුගේ කතුරු මිතුරු ළඟඳීම එන්න තියෙනවා. ඒකෙ මම ඉන්නෙ එක දර්ශනයක විතරයි. ඒ විදිහට එක දර්ශනයකට ගත්තු ප්‍රවීණයෝ 13 දෙනෙක් ඉන්නවා. ඔහුගේ චිත්‍රපටයක එක දර්ශනයක් හෝ රඟපාන්නෙ ඉතා කැමැත්තෙන්. ඒකට හේතුව ඔහුගේ නිර්මාණ මොන වගේ ද කියලා මම හොඳින්ම දන්නවා.

දීර්ඝ කාලයක් ආපු මඟ දිහා ආපස්සට හැරිලා බැලුවම කලාවට සම්බන්ධ ළමා කාලයේ මතකයක් තියෙනව ද?

මම රංගනයට එන්න හිටිය කෙනෙක් නෙවෙයි. මම පාසල් තුනක ඉගෙන ගත්තා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය සහ ගෝතමි බාලිකාව. කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයට මම ගියේ අවුරුදු තුනයි. ඒ පාසලේම මගේ අම්මත් එදා ගුරුවරියක් වෙලා හිටියා. ඒ කාලයේ පන්ති වැඩසටහන කියලා එකක් තිබුණා. එදා අපේ විදුහල්පතිතුමා ආනන්දවර්ධන මහත්තයා තමයි ඒක කළේ. එදා එතුමා දරුවන්ගේ සහජ හැකියාවන් එළියට ගන්නත්, දක්ෂතා, කුසලතා වර්ධනය කරන්නත් ඒ වැඩසටහන කළා. පන්ති වැඩසටහනේ දී අදාළ පන්තියට ලකුණු ලැබුණා.. පන්තියට ලකුණු ගන්න අපි තරග කළා. ඒකට රංගනය, නර්තනය, ගීතය, නිවේදනය මේ සියල්ල තිබුණා. මට ලැබුණේ නිවේදනය, රංගනය, නර්තනයයි. ඒ තමයි මම රංගනයට දායක වුණ පාසල් මතකය.

ඔබ නැවත විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවද?

දැනට එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් හොඳයි කියලා හිතෙන කෙනෙක් මුණගැහුණොත් විවාහ වෙන්න පුළුවන්. හැමදාම තනියෙන් ඉන්නත් බැහැ.

ආදරයේ දී එකිනෙකාට ඇති ගරුත්වය දකින්නෙ කොහොම ද?

මුලින්ම අපි නියෝජනය කරන ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් අනෙකාට තිබිය යුතුයි. රංගන ශිල්පිනියක් කියන්නේ ඔෆිස් එකකට ගිහින් කරන වැඩක් නෙවෙයි. රංගනයේදී විවිධ පුද්ගලයන් සමඟ වැඩ කරන්න ඕනෑ. මේ කාරණය තේරුම් ගන්නවා නම් කවදාවත් පවුල් ජීවිතය අසාර්ථක වෙන්නෙ නෑ. ඒ නිසා එකිනෙකා අතර තියෙන අන්‍යෝනය බැඳීම ආදරයේ දී සාර්ථක පවුල් ජීවිතයකට ඉතා වැදගත්.

හෙළ සංස්කෘතිය ගැන අභිමානයෙන් කතා කරනවා. ඔබෙන් අහන්නෙ සමාජ මාධ්‍ය පුද්ගලික ජීවිතයට හානියක්ද?

සමහර වෙලාවට මගේ ඉදිරිපත් කිරීමක් දැකලා සතුටින් හිනා වෙලා මනස සුවපත් කරගන්න උදවිය, මගේ මුහුණට මුණ ගැසුණාම අහක බලාගෙන යනවා. අපේ රටේ මිනිස්සු මෙහෙම කුහක වුණේ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. අනෙක් පැත්තෙන් පිරිමි කෙනෙකුට මාත් එක්ක සම්බන්ධයක් ගොඩනඟා ගන්න හිතිලා ඒක බැරි වුණාම, කියන්න පුළුවන් කතා හැම එකක්ම කියන්න පෙලඹෙනවා. මට කියලා ගෙයක් තියෙනකොට, වාහනයක් තියෙනකොට ඒ අය කියනවා මම ඒවා හදා ගත්තේ අනාචාරයේ ගිහින් කියලා. නළු නිළියොන්ට සමාජ විසින්ම ගොඩනඟන අවලාද තමයි පේන්න තියෙන්නෙ. නමුත් කලාකරුවෙක් කලා කෘතියකට පණ පොවන්න දරන වෙහෙස මහන්සිය කවුරුත් දන්නෙ නැහැ. අවලාද නඟන කිසිවකුට කලාකරුවා කියන්නේ සත්‍යවාදී හදවතක් තියෙන කෙනෙක් කියලා තේරුම් ගන්නේ නැහැ.‍

මේ දිනවල නිර්මාණ දායකත්වය සිදුවෙන්නෙ කොහොම ද?

හිරු නාළිකාවේ තිරගත වෙන, “අකුරට යන වෙලාවේ“ ටෙලි නාට්‍ය සහ “හවුස් ෆුල්“ වැඩසටහනට දායකත්වය දෙනවා. “කියා දෙන්න ආදරේ තරම්“ නාට්‍යයේ වින්ද්‍යාගේ චරිතයට පණ පොවනවා. ඒ වගේම “කවීතා“ ටෙලිනාට්‍යයේ බැණුම් අහලා ආදරේ කරන චරිතයක් මම කරනවා.

ඔබේ කනිෂ්ඨ පරපුරට දෙන පණිවුඩය මොකක් ද?

තමන් කරන රැකියාවට වංචා කරන්න එපා කියලා මම ඉල්ලනවා. රස්සාව දේවත්වයෙන් කරනවා නම් කවදාවත් කිසි කෙනෙකුට වරදින්නෙ නැහැ. මම කවදාවත් මගේ රැකියාවට වංචා කරන්නෙ නැහැ. ඒ වගේම මගේ රැකියාව මම දේවත්වයෙන් කරනවා.

 

 

Comments