W අකුර හිමියෝ සැම විටම නීතිගරුකයි | Page 2 | සිළුමිණ

W අකුර හිමියෝ සැම විටම නීතිගරුකයි

ජීවිතය සාර්ථක කරගන්න වෙහෙස නොබලා වැඩ කරන අය

ස්වාධීන සහ නිදහස් පුද්ගලයෝ

පහසු කෙටි මාර්ගවලින්  දියුණු වීමට සිතයි

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ W අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට V අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදි. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ W අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.

ඔබට W අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ W අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක් නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කෙතරම් සමීපද කියා.

W අකුර මුලට යෙදී නම පටන් ගන්න බොහෝ අය ජීවිතයේ සාර්ථකත්වයට පත්කර ගැනීම සඳහා වෙහෙස මහන්සිය නොබලා වැඩ කරන අය බව කියන්න පුළුවනි. ජීවිතේ සාර්ථක වීමට තිබෙන සෑම පැත්තක් පිළිබඳවම මොවුන් නිරන්තර සෝදිසියෙන් කටයුතු කරයි. තම ඉලක්ක ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඕනෑම කාලයක් බලා සිටීමට මොවුන්ට හැකියාව ඇත. මොවුන් එකම කාර්යක් තුළ පමණක් නිරත වන්නට හිතන්නේ නැත. එක දෙයක් කරන ගමන් තවත් දෙයක් කිරීමට සිතීම මොවුන්ගේ ස්වභාවයයි.

තරමක් කාර්යබහුල ජීවිතයක් මොවුන්ට ගෙවීමට සිදු වෙයි. වැඩ කිරීමට සිතූ විට වෙහෙස මහන්සිය නොබලා එක දිගටම වැඩ කරයි. මොවුන් සමහර විට පහසු කෙටි මාර්ගවලින් දියුණු වීමට සිතයි.

ජීවිතයේ අවදානම් ගැනීමට W අකුර හිමියන් කිසිදු බියක් දක්වන්නේ නැත. ඕනෑම දෙයකට නොබියව මුහුණ දීමේ හැකියාවක් මොවුන් සතුව පවතී. එසේම හොඳ දරා ගැනීමේ හැකියාවක් ද තිබේ. අමාරු අසීරූ අවස්ථාවන්වලදී වුවද නොපැකිළව ඒවාට ඉදිරිපත් වීමේ හැකියාව ඇත. මොවුන් සැම විටම තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් සිතයි. නීතිගරුක පුද්ගලයින් වන අතර තම ආත්ම ගරුත්වය ගැන ද වැඩිපුර සිතයි. තමාට තර්ජනයක් වේ යැයි සිතන තැන්වලින් W අකුර හිමියන් වහා ඉවත් වෙයි.

ඒකාකාරී ජීවිතයක් මොවුන් කිසි විට ප්‍රිය නොකරයි. වෙනස් ආකාරයේ අත්දැකීම් ලැබීමට ප්‍රිය කරයි. සෑම දෙයකම විවිධත්වයක් අපේක්ෂා කරයි. ස්වාධීන බව සහ නිදහස් බවට ඇලුම් කරයි. සමාජශීලි ගතිය ද මොවුන් තුළ ප්‍රකටව පෙනේ. ඕනෑම තැනකට ආගන්තුක බවක් නොමැතිව ඉක්මනින් හැඩ ගැසෙයි. තම හිතමිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට ඉතා ප්‍රිය කරයි. එමෙන්ම මොවුන් හට අලුත් මිතුරන් ද හඳුනා ගැනීමට අවස්ථා නිතර යෙදේ. එසේම ජීවිතයේ ඉතා හොඳ සාර්ථකත්වයක් ලබන්නේ මැදි වයසේදීය. බොහෝ විට කුඩා අවධිය විවිධ අසීරුතා සහ ගැහැටවලින් යුක්ත වෙයි.

එමෙන්ම ජීවිතයේ අවසාන කාලය ද බොහෝ විට කනස්සලු ස්වභාවයෙන් ගත කිරීමට සිද්ධ වීමට වැඩි අවදානමක් ද පවතී.

තමන් ලබා ගන්නා සාර්ථකත්වය ස්ථාවරව පවත්වාගෙන යෑමට උත්සාහ කළ යුතු අතර, අවසාන කාලය වන විට යම් තැන්පත් ධනයක් පවත්වා ගැනීම ද ඉතා වැදගත් වෙයි. W අකුර හිමියන්ට මොන තරම් දේවල් තිබුණත් අවසානයේ තමාට තමා පමණක් බව නිරන්තරයෙන් සිහි තබාගෙන කටයුතු කිරීම වැදගත් වෙයි.

X අකුර පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 ඒ. ජේ. දීපාලෝක

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය)

Comments