දීඝවාපිය ප්‍රතිසංස්කරණ කටයුතුවල දෙවන අදියර ඇරඹෙයි | Page 3 | සිළුමිණ

දීඝවාපිය ප්‍රතිසංස්කරණ කටයුතුවල දෙවන අදියර ඇරඹෙයි

දීඝවාපිය අරුණ භාරයේ භාරකාර කතෘ සහ පළමුවන භාරකරු ජෙනරල් කමල් ගුණරත්න විසින් සංකේතාත්මක ස්තූප ගඩොලක් තැන්පත් කරමින් දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ(10) දීඝවාපිය පරිශ්‍රයේ දී ආරම්භ විය.
 
සමස්ත ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම එහි පුරෝගාමියා වූ ජෙනරල් ගුණරත්න දීඝවාපිය රජ මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර අනතුරුව ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.
 
දෙවන අදියර සඳහා දින තුනක් පුරා පැවති පෙර සුදානම් කටයුතුවලදී පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ඇතුළුව පූජනීය ඉදිකිරීමට සම්බන්ධ විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඊයේ අලුයම අවසන් වූ අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය වෙත දානය පිරිනැමීම සිදුවිය.
 
ජෙනරල් ගුණරත්න ප්‍රමුඛ දූත පිරිස සිය සංචාරයේදී එම ස්ථානයේ පරිවාර ඉදිකිරීම් සමාලෝචනය කළ අතර, ශීඝ්‍රයෙන් ඉදිකරමින් පවතින බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරය කෙරෙහි අවධානය යොමු කළහ.
 
සමස්ත ක්‍රියාවලියට අරමුදල් සපයනු ලබන්නේ දානපතියන්ගේ නොමසුරු සහය ඇති ‘දීඝවාපිය අරුණ භාරය’ අරමුදල මගිනි. දීඝවාපි සෑයේ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් දැක බලා ගැනීමටත්, නොමසුරුව ආධාර ලබාදීමටත් සැදැහැවතුන්ට දීඝවාපිය වෙබ් අඩවිය වන www.deegawapiya.lk, deegawapiyaaruna@gmail.com හරහා හෝ 011 2430860-78 අංකයෙන් විස්තර ලබා ගත හැකිය.
 
දීඝවාපිය වැඩසටහන අවසන් කිරීමෙන් අනතුරුව, අද වන විට බිම් මට්ටමේ සිට අඩි 41ක් දක්වා උසට ඉදිකර ඇති ‘නීලගිරි මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද නියෝජිත පිරිස සොයා බලන ලදි.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ අදාළ රාජ්‍ය ආයතනවල අධීක්‍ෂණය යටතේ අදාළ පුදබිම්වල පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරමින් මෙම ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

Comments