සිංහල සිනමාවට වසන්තය රැගෙන එන රූපවාහිනියේ සි‍නේ ඡායා | Page 3 | සිළුමිණ

සිංහල සිනමාවට වසන්තය රැගෙන එන රූපවාහිනියේ සි‍නේ ඡායා

සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමේ පියවරක් වශයෙන් ජාතික රූපවාහිනිය පෙබරවාරි මස 17 වැනිදා සිට ‘සි‍නෙ ඡායා’ වැඩසටහන හරහා ජාතික මෙහෙරවකට උර දුන්නේය. ඒ අනුව මෙරට සිනමාවේ විශේෂ සන්ධිස්ථානයන් සලකුණු කළ පැරණි ජනප්‍රිය චිත්‍රපට නැවත පෙන්වීම ආරම්භ කළ අතර, මෙහි විශේෂත්වය වන්නේ නූතන තරුණ පරපුරට මගහැරුණු මෙරට සිනමාවේ සන්ධිස්ථානයන් සලකුණු කළ සුවිශේෂී චිත්‍රපටවල සංරක්ෂිත පිටපත් බොහෝමයක් රස විඳිමට අවකාශ සැලසා දීමය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ අදහසක් අනුව සිංහල සිනමාව නැවත ඔසවා තැබීමට ගත් පියවරක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය. ඒ අනුව සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9.30ට එදින විකාශනය වන සිනමා පටය පිළිබඳ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාරගේ මෙහෙය වීමෙන් ප්‍රවීණ සිනමා විචාරකයකු හා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමඟ ඒ පිළිබඳ අදහස් දැක්වීම සිදු කළ අතර අවසානයේ රාත්‍රී 10.00 ට සිනමාපටය විකාශනය කෙරිණ.

මෙමඟින් මෙතෙක් පැවත ආ සිනමාව පිළිබඳව යම් දළ අදහසක් වත්මන් ප්‍රේක්ෂක පරපුරට මෙන්ම සිනමාව පිළිබඳව උනන්දු වන තරුණ ප්‍රජාවට ලබා දීමය. එසේම සිංහල සිනමාව තව තවත් ඔවුන් වෙත සමීප කරවීම මඟින් නව අදහස් උකහා ගෙන උසස් නිර්මාණ කිරීමට ඔවුන් පෙලඹවීම ද මෙම ප්‍රයත්නයේ අරමුණ වී තිබුණි. එම ප්‍රයත්නය සාර්ථකව ඇති බව හැඟෙන්නේ ඒ පිළිබඳ සමාජ මාධ්‍යය ඔස්සේ ඔවුන් ගොඩනඟන කතිකාවන් දකින විටය.

මෙහිදී චිත්‍රපට පිළිබඳ හා පොදුවේ සිනමාව 
පිළිබඳ සහ සිනමා කර්මාන්ත නඟා සිටු වීම

පිළිබඳ පුළුල් කතිකාවක් නිර්මාණය වීම අවශ්‍යම දෙයකි. වර්තමානය වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රජාවක් සිංහල සිනමාවෙන් ඈත් වී සිටිති. ඔවුන් ඒ වෙනුවට ඉන්දියානු, කොරියානු හා බටහිර සිනමාව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති. එය කිසි ලෙසකින් අපට බැහැර කළ නොහැකි අභියෝගාත්මක තත්ත්වයකි. එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට නම් අප රටේ සිනමාව වඩ වඩා නූතනයේ තැනෙන එවැනි සිනමාපට සමඟ කරට කර සිටිය යුතුය.

1960-70 දශකයේ මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය උදා වූයේ මේ අභියෝග මධ්‍යයේ බව අප කාටත් නොරහසකි. මුල් යුගයේ සිනමාපට නිර්මාණය වූයේ ඒවායේ ගීත නිර්මාණය වූයේ ඉන්දියානු සිනමාපටවල ආභාසයෙනි. එහෙත් 1956දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව සිනමාපටයත් සමඟ මේ තත්ත්වය වෙනස් මඟක් ගත්තේය. ඒ පිළිබඳ වත්මන් පරපුරට කියවා ගැනීමට රූපවාහිනිය ගත් මේ ප්‍රයත්නය ඉතා පැසසුම් කටයුතුය.

මෙහිදී සිනමාව කර්මාන්තයක් ලෙස ඔසවා තැබීම සඳහා ඔවුන්ගේ වැඩි අවධානය යොමුව ඇත්තේ වාණිජ සිනමාව නැවත සිහි කැඳවීම තුළින් බව මේ සිනමාපට තෝරාගෙන ඇති ආකාරය දකින විට පෙනේ. විශේෂයෙන්ම 60-70-80 දශකවල නිර්මාණය වූ ජනප්‍රිය හා කලාත්මක සිනමාපට තෝරා බේරාගෙන පෙන්වීමෙන් අවබෝධ වේ. එමඟින් මෙම සිනමාවේ විභේධනයන් පිළිබඳ අදහසක් ඇති කර ගැනීමට ඉඩ හසර සැලසේ. එසේම වාණිජ සිනමාවත් කලාත්මක සිනමාවත් එක්කළ මැද මාවතේ සිනමා නිර්මාණ ද මේ අතර දිගහැරේ. මෙමඟින් මෙම චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයා තුළ සිනමාව පිළිබඳ පුළුල් සිතීමකට මඟ හසර විවර කරදී තිබේ. මේ වන විට පෙන්වා තිබෙන 20කට පමණ ආසන්න චිත්‍රපට පිළිබඳ විමසා බලන විට ඉහත කාරණය වඩාත් ප්‍රත්‍යක්ෂ වේ.

මෙහිදී මුලින්ම තිරගත වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් විසින් අධ්‍යක්ෂණය කළ ‘සංදේශය’සිනමාපටයයි. එය මුලින්ම තිරගත වූයේ 1960 මාර්තු 30 වැනිදාය. කේ. ගුණරත්නම් සිනමාස් නිෂ්පාදනයක් වූ අතර කතාව, තිර රචනය ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම සහ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා යන තිදෙනාගේම දායකත්වයෙන් සිදු වූවකි. දෙබස් කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ ය. කැමරාකරණය විලී බ්ලේක් ගේය. සංස්කරණය ටයිටස් තොටවත්ත සහ සුමිත්‍රා පීරිස්ගේ ය. කලා අධ්‍යක්ෂණය ආරියවංශ වීරක්කොඩිගෙනි. මෙම සිනමා පටයේ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, ෂේන් ගුණරත්න, අයිරාංගනී සේරසිංහ, හියුගෝ ප්‍රනාන්දු, ඩේවිඩ් ධර්මකීර්ති, ඇන්තනි සී. පෙරේරා, ශාන්ති ලේඛා, වින්සන්ට් වාස්, තිලකසිරි ප්‍රනාන්දු, තිස්ස උඩංගමුව මෙන්ම පෘතුගීසි බළකොටුවේ කපිතාන් ආතර් වැන්ලැන්ගම් බර්ග් හා ලයිතාන් රෙග් වැන්ක්‍යුලන් බර්ග් ආදීන් රංගනයෙන් දායක විය. අහුබුදුවන්ගේ මධුර මනෝහර ගේය පද රචනාවන් සුනිල් සාන්තයන්ගේ සුමිහිරි තනුවෙන් හැඩ වූ අතර, පසුබිම් සංගීතය කේ.ඒ. දයාරත්නගේය. වාද්‍ය මණ්ඩලය මෙහෙයවීම ආර්. මුත්තුසාමිය. ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්, එච්.ආර්.ජෝතිපාල, සිඩ්නි ආටිගල ආදීන්ගේ සුමධුර ගායනයෙන් සංදේශය ප්‍රභාමත් විය.

මෙම සිනමා නිර්මාණය සිනමානුරූපී බවින් ද, ගීත ඉදිරිපත් කිරීමේ නැවුම් සිනමානුරූපී ස්වභාවයෙන් ද ප්‍රශස්ථ ලකුණක් වූයේ එතෙක් අප දුටු ඉන්දියානු කොවෙන් මුළුමනින්ම නිදහස් වූ පළමු සිනමාපටය මෙය වූ නිසාය.

ජාතික රූපවාහිනියේ තිරගත වූ ‘සාගරයක් මැද’සිනමාපටය ද එවැනිම වූ සුවිශේෂී සිනමාපටයකි. එය මෙරට සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් අග්‍රගණ්‍ය නළු ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ අතර ඔහුගේම තේමාවක් ආශ්‍රයෙන් ධර්මශ්‍රී මුණසිංහ ලියු තිර රචනයකි. 1980 ජූලි 24 වැනිදා තිරගත කෙරුණු මෙම චිත්‍රපටය ආනන්ද අබේනායකගේ නිෂ්පාදනයක් විය. වී. වාමදේවන් කැමරාකරණයෙන්ද, ඩී.බී. නිහාල්සිංහ සංස්කරණයෙන්ද , එරල් කෙලි කලා අධ්‍යක්ෂණයෙන්ද, ශේෂා පලිහක්කාර අංග රචනයෙන්ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද මීට දායක විය. මෙයට මුලින් ලබා දී තිබූ නම වූයේ ‘සිතම්බ් බරපට’ය. මේ සඳහා දක්ෂ නළු නිළියන් පිරිසකට ඉව ඇල්ලූ ගාමිණි ෆොන්සේකා එහි එය ප්‍රධාන චරිත ද්විත්වයේ වගකීම තමන් වෙතම පවරා ගත්තේය. සෙසු චරිත සඳහා වීණා ජයකොඩි, කමල් අද්දරආරච්චි, ටෝනි රණසිංහ, අනුෂ්කා මැදිවක, අයිරාංගනී සේරසිංහ, ඉයන් වික්‍රමනායක, සෝමසිරි දෙහිපිටිය, අමරසිරි කලන්සූරිය, මර්වින් ජයතුංග, ශාන්ති ලේඛා, කරුණාරත්න හගවත්ත, ෂෙල්ටන් කැකුනාවෙල, ධර්ම ශ්‍රී මුණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, සොමි රත්නායක, මහේන්ද්‍ර පෙරේරා ආදී දක්ෂ නළු නිළියන් කැලක් තෝරා ගැන තිබුණි.

මෙම සිනමාපටයේ ඇමැති ෆෙඩ්රික් රාමනායකගේ චරිතය වෙස් ගැන්වීමේදී එවකට සිටි ප්‍රබල අමාත්‍යවරයකුගේ රූපයට සමාන ලෙස වෙස් ගැන්වී තිබුණා යැයි යන සැකය නිසා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක චිත්‍රපටයට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළ හෙයින් ‘සාගරයක් මැද’ විශාල ප්‍රේක්ෂක අවධානයකට ලක් විය.

ජාතික රූපවාහිනියේ විකාශනය වූ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයද ඒ ආකාරයේම සුවිශේෂී සිනමා පටයකි. මෙය දේශපාලනික සිනමාව කෙරෙහි ඉව ඇල්ලූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් අතින් නිමැවුණු ප්‍රශස්ත සිනමා නිර්මාණයකි. 1978 අගෝස්තු මස 11 වැනිදා තිරගත වූ මෙහි කතාව, දෙබස්, රචනය සහ අධ්‍යක්ෂණය ආචාර්ය පතිරාජගේ වූ අතර ධර්මසේන පතිරාජ හා තිලක් ගොඩමාන්නගේ සම නිෂ්පාදනයක් විය.

මෙහි තිර රචනයට මාලිනී පතිරාජ ද දායක වූවාය. සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ වූ අතර කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්නගේ ය. සංස්කරණය සෙක්ස්ටස් අපොන්සුගෙනි. මෙය විජය චිත්‍රාගාරයෙදී නිර්මාණය කෙරිණි. මෙහි රඟපෑ නළු නිළියන් වූයේ විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය, විමල් කුමාර් ද කොස්තා, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, රූබි ද මෙල්, සෝමසිරි දෙහිපිටිය, එස්. එච්. ජෝතිපාල, දයා තෙන්නකෝන්, පියසේන අහංගම, දයා අල්විස්, ඩබ්ලිව්. ජයසිරි, වින්සන්ට් වාස්, ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර, නීලවතුර විජේවර්ධන, එස්. ඒ. ජේමිස් ය.

‘සි‍නේ ඡායා’ තුළින් මෙතෙක් විකාශනය වූ සිනමාපට 20 අතරින් තෝරාගත් මෙම සිනමා කෘති ත්‍රිත්වයෙන් එහි අරමුණ කුමක්ද යන්න අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඔබත් සිනමාව ගැන උනන්දුවක් දක්වන අයකු නම් නොවරදවාම ඉදිරියට තිරගවීමට නියමිත සිනමාපට නැරඹීමට ජාතික රූපවාහිනිය සමඟ රැඳෙන්න.

Comments