පවුලකට දුක කඳුළ උරුම කළ චුටි මැණිකගේ අහිමි සෙනෙහස | Page 3 | සිළුමිණ

පවුලකට දුක කඳුළ උරුම කළ චුටි මැණිකගේ අහිමි සෙනෙහස

මට වගේම මගේ දුවලා දෙන්නට ඇත්තටම වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමේ දුකක් හිතට දැනෙනවා. චූටි මැණික දුන්න දවසේ ඉඳලා අපි හරියට කාපු බීපූ දවසක් මතක නැහැ. මම එයාට හොඳක් කළා කියලා හිතුවට එදා ඉඳලම ගමම පාළු වුණා වගේ.

වන සතුන් නිදහසේ ඒ අයගේ පරිසරයේ ජීවත් වෙන්න ඕන. අපේ කාර්යාලයේ ඉන්න රෝගී සතුන්ට නිදහසේ සිටීමට අවශ්‍යයි. ඔවුන් නැරඹීමට මිනිසුන් පැමිණීම ඒ සතුන්ට හිරිහැරයක්- අම්පාර වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර

ආදරයෙන් කරුණාවෙන් සහ සෙනෙහසින් හදාගත් චූටි මැණික එකපාරක් බලන්න මම ඉල්ලන්නේ. අපේ පවුලේ අය මේ ගැන හිතමින් විඳවමින් මැරි මැරී ජීවත් වෙනවා. මේ ගැන කල්පනා කරලම ගෙදර ඉන්න සියලුම දෙනා අසනීප වෙලා. පුදුම අසරණකමක් අපිට දැනෙනවා. මට දැනෙන්නේ ගමේ තිබුණ පාළුව ගියේ මගේ චූටි මැණික නිසා.

පරම්පරා ගණනාවක සිටම සමඟිපුර ගමේ මහ පොළොවට අයිතිය කියන ගැමියන්ගේ ජීවිත සරි කෙරුණේ ගොවිතැන් බතෙනි. සමඟිපුර පිහිටා ඇත්තේ අම්පාර නගරයෙන් බොහෝ දුර හිඟුරාණ ආසන්නවය. වියළි කොළයක් බිමට වැටෙන හඬ පවා නොඇසෙන මේ ගමේ නිසල නිහැඬියාව ඉඳහිට හෝ බිඳෙන්නේ කර්කෂ පොළොවට ඇද හැලෙන වර්ෂාවත් වනසතුන්ගේ හඬත් නිසාවෙනි. ගැමි සුන්දරත්වය මිස ගැමියන්ගේ ජිවිතවලට විවිධත්වයක් හෝ අපූර්වත්වයක් ගෙනෙන වෙනත් කිසිවක් නැති තරම්ය. මේ මිනිසුන්ට තම ජීවිතය උහුලාගත නොහැකි බරක් වූවා මිස විඳිය හැකි යමක් නොවේ. මහපොළොවත් සමඟ නිතර ඔට්ටු වන, ගැටෙන මිනිසුන්ට ලැබුණේ දුෂ්කර බව හා දරා ගැනීමේ ශක්තිය උරගා බැලීමේ අරගලයට මුහුණ දීම පමණි. ඉන් එහා ගිය යමක් ගැන තීරණය කිරීමට ඔවුන්ගේ දෛවයට අමතක වූවාක් මෙනි. ඒ නිසාම ඒ ජීවිත ඒකාකාරිය.

 

විටෙක ඇදහැලෙන වර්ෂාව මෙන්ම වනසතුන්ගේ හිරිහැර ගොවියන්ට බාධාවක් වුවත් ඔවුහු සුපුරුදු පරිදි ගොවිතැන් කරති. මේ ගමේ අනෙක් ගැමියන් මෙන්ම ගොවිතැන තම ජීවිකාව කරගත් චානක ප්‍රියරංජන (44) මිනිසුන් අතර වඩාත් ජනප්‍රිය චරිතයකි. ඒ ජනප්‍රියත්වයට හේතුවී ඇත්තේ සමාජ සේවා කටයුතුවල නිරත වන ඔහු අසරණ සතුන්ට ද දයානුකම්පාව දක්වන්නෙක් වූ නිසාය.

එදින වැසි දිනයකි. වර්ෂාව තුරල් වන තෙක් බලා සිටි චානක ද අනෙක් ගොවියෝ මෙන්ම ගොවි බිමේ වැඩ අරඹන විට උදෑසන 08.00 පසු වී තිබිණි. ඔහුගේ වගා බිමට ඔබ්බෙන් පිහිටා තිබුණේ වන බූටෑවකි. පෙරදා රාත්‍රියේ වර්ෂාවෙන් වනය ප්‍රබෝධවත් වී තිබිණි. වනය දෙසින් හීන් කෙඳිරිලි හඩක් ඇසෙයි. ඔහු හිස ඔසවා විපරම් කර බැලූවද ඒ හඬ කොයි ඉසව්වකින් ද යන්න නිනව්වක් නොවිණි. හේ අඩිය ඉක්මන් කර උක් වගාව අතරින් කෙඳිරිලි හඬ ඇසෙන වන ලැහැබ දෙසට ගියේය. වන අතුරිකිලි අතරින් ඒ හඬ ඇසෙන මානයටම ඔහු ළං විය.

වඳුරු මවක් බිම වැටී සිටිනු ඔහු දුටුවේය. ඇගේ ළය පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් මතු වී තිබිණි. කුඩා පැටියෙක් ඒ අසල විය. දරු සෙනෙහසින් උණුසුම්ව තිබූ ළය සීතල වී ගල්ගැසී ගොස්ය. එහෙත් ඒ බවක් නොදැනදෝ කෙඳිරිලි හඬ නඟමින් සීතලෙන් ගැහෙමින් මවගේ ඇකයට තුරුලු වී සිටින පැටියා ඇයගේ ළයෙන් ගලා එන රුධිරයෙන් නැහැවී තිබිණි. චානක වහා වඳුරු මව අසලට ළංවද්දී බියෙන් තැති ගත් පැටවා මවගේ ඇකයට තව තවත් තුරුලු විය. චානක දින තුන හතරක් පමණ වයසැති කුඩා පැටවා සියතට ගත්තේය. චූටි මැණික ඔහුට කියැවුණේ නිරායාසයෙනි.

චානකට චූටි මැණික මුණ ගැසුණ කතාව ඇරඹෙන්නෙ එතැන් සිටය.

ඔහු චූටි මැණිකේ ගැන බොහෝ දේ අප සමඟ පැවසුවේය.

“ඒ දවස මට අද වගේ මතකයි. මගේ චූටි මැණික හම්බ වුණේ ජුනි 10 දා. එදා වැසි දවසක්. මම ගොවිපොළේ වැඩ කරමින් හිටියේ. අපේ ගම හරි නිහඬයි. පුංචි සද්දයක් වුණත් හොඳින් ඇහෙනවා. එදත් කැලෙන් ඇහුණු ඒ කෙඳිරිලි හඬ මට ඇහුණේ ඒ නිහැඬියාව නිසා.

මේ සද්දය මොකක්ද කියලා මම විපරම් කරලා බලද්දි මම දැක්කෙ අදහා ගන්නට බැරි දෙයක්. චූටි වඳුරු පැටියෙක්ගේ අම්මාට කවුරුන් හෝ රෑ වෙඩි තියලා චූටි මැණිකගේ ඔළුවත් තුවාල වෙලා, චූටි මැණික බයෙන්, වෙවුලමින්, සීතලෙන් ගැහෙමින් අම්මාගේ තුරුළට වෙලා කෙඳිරි ගානවා. මම චූටි මැණික මගේ ෂර්ට් එකේ අගින් ගැටයක් ගහලා ඇතුළට දාගෙන මගේ ගෙදරට ගෙනිච්චා. එදා ඉඳන් චූටි මැණික දරුවෙක් වගේ. මුලින් අපි එයා හදාගත්තේ හුඟාක් අමාරුවෙන් රෙදි පහන් කඩවලින් කිරි පෙව්වා. එයාට දවසට තුන් හතර පාරක් හැමදාම එළකිරි දුන්නා. පස්සේ ටිකක් ලොකු වුණාමත් එළකිරි දුන්නෙ නැත්නම් දවසෙම ගෙදර අයත් එක්ක තරහා වෙලා ඇඟිල්ල කටේ ගහගෙන අහක බලාගෙන ඉන්නවා. කන්න කැමැති කෑම කවනවා, පොවනවා, චූටි මැණික ටික ටික ලොකු වුණාම මම චූටි මැණිකට කිව්වා චුටි පුතේ ඔයා දැන් ලොකුයි. දැන් ගස්වල පැනලා දලු කඩාගෙන කන්න ටිකක් පුරුදු වෙමු කියලා. දැන් ගස්වල පැනලා දලු කඩාගෙන කන්න ටිකක් පුරුදු වෙමු කියලා. එහෙම කියලා මම එයාව ගහක් උඩින් තියනවා. එහෙම තිබ්බම එයා අත්තෙන් අත්තට පනින්නෙ මම දිහා බල බලා. මම ටිකක් ගහ යටින් ගියොත් චූටි මැණික බැහැලා දුවන් ඇවිත් මගෙ ඇගේ එල්ලෙනවා. එයාගේ වයස අවුරුදු 01 යි දවස් 13 ක් වෙන කල් මගේ ළඟ හිටියා. කාලයත් එක්කම එයා එන්න එන්නම උස්මහත් වෙනවා ලොකු වෙනවා. එයාගේ ලෝකයේ එයාට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන කියලා හිතලා මම අකමැත්තෙන් වුණත් තීරණයක් ගත්තා. එයාව වනජීවී එකට බාර දෙන්න. එයා අම්මා කෙනෙක් වෙන්න ඕන, අනික් අය සමඟ රැළකට එකතු වෙලා ගස්වලින් පැන පැන යන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා ජුනි 23 වැනිදා සවස 06.30 පමණ අම්පාර වනජීවී කාර්යාලයට චූටි මැණිකව මම බාරදුන්නා. ඒ මොහොත මම මතක් කරන්නවත් කැමැති නැහැ. පවුලේ අපි හැමෝම ඇඬුවා, ගෙදර දරුවෙක් වෙන තැනකට හදාගන්න දෙනවා වගේ දුකක් අපිට දැනුණේ. එය මහ පුදුම දුකක් වේදනාවක්. වචනවලින් කියන්න බැහැ"

චානක කුඩා දරුවෙක් මෙන් ඉකිබිඳිමින් හඬන්නට විය.

“මට වගේම මගේ දුවලා දෙන්නට ඇත්තටම වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමේ දුකක් හිතට දැනෙනවා. චූටි මැණික දුන්න දවසේ ඉඳලා අපි හරියට කාපු බීපූ දවසක් මතක නැහැ. මම එයාට හොඳක් කළා කියලා හිතුවට එදා ඉඳලම ගමම පාළු වුණා වගේ. “මට වගේම මගේ දුවලා දෙන්නට ඇත්තටම වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමේ දුකක් හිතට දැනෙනවා. චූටි මැණික දුන්න දවසේ ඉඳලා අපි හරියට කාපු බීපූ දවසක් මතක නැහැ. මම එයාට හොඳක් කළා කියලා හිතුවට එදා ඉඳලම ගමම පාළු වුණා වගේ. මගෙ චූටි මැණිකට ගමේ මිනිස්සුත් හරි ආදරෙයි. එයා දුන්නට අපිට වාවන්නෙ නෑ. එයා දීලා දවස් කිහිපයකින් ගෙදර සියලුම දෙනා චූටි මැණික බලන්න ගියා. වනජීවී කාර්යාලයේ ගේට්ටුව ගාවට යනකොටම එයා අපිව දුර තියාම අඳුර ගත්තා. අපි එයා ළඟට ගියාම ඇයි මාව දුන්නේ වගේ දුකින් බලනවා, කෑ ගහලා කූඩූවේ එහාට මෙහාට දුවනවා. ගෙදර ඉන්න කොට වගේ එයාගේ අත් කකුල් අතගාන්න කියලා කූඩුවේ දැල් අතරින් අත් කකුල් දෙනවා.

හරිහමන් කෑමක් බීමක්, නිසි පෝෂණයක් නැතිකමයි සාංකාවයි නිසා දවස් දෙක තුනට චූටි මැණිකගෙ ඇඟ දුර්වල වෙලා. එයාට අපි ගෙනියන කෑම බීම කන්න බොන්න දෙන්නෙ නැහැ. එයා බලන්න උදේ, දවල්, සවස ගියා. නමුත් පස්සේ අපිට බලන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අපි අම්පාර වනජීවී කාර්යාලය වෙත ගොස් මේ පැටියව නැවත බලන්න දෙන්න කියලා ඉල්ලීමක් කළා. එහෙත් ඔවුන් එය කනකටවත් ගත්තේ නැහැ. එයාලා නැවත අපට එන්න එපා කියලත් කිව්වා. එදා චූටි මැණිකගේ පණ බේරගෙන ආවේ මම. ඉන්පස්සේ එයාව ලොකු මහත් කළේ මම. සතුන්ට ආදරය කරන අයට ඒ වේදනාව දැනෙනවා. අපි එයාව ජීවත් කරවන්න එයාට පිහිටක් වෙලා එයාව හැදුවා. මිනිසුන්ට වගේම සතුන්ටත් මානුෂීය විදිහට සලකලා නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕන."

වානක ඔහු සඳහන් කරන ආකාරයට වනජීවි කාර්යාලයේ නිලධාරීන්ගෙන් මේ වඳුරු පැටවාට අසාධාරණයක් සිදු වූයේද යන්න පිළිබඳ අපි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාරගෙන් විමසුවෙමු.

“මේ සත්ත්වයා වනජීවී කාර්යාලයට බාර දුන්නේ මේ පුද්ගලයා විසින්මයි. කෙසේ වෙතත් මෙවැනි සතුන් හදන්න නෛතික අයිතියක් කිසිවකුට නැහැ. මේ සතා අනතුරට ලක්වී තිබුණ පළමු අවස්ථාවේදිම මේ අයට තිබුණා, මේ සතා අපේ අම්පාර වනජීවි කාර්යාලයට බාර දෙන්න. එයයි නිත්‍යානුකූල පියවර. වනජීවි දෙපාර්තමේන්තුව ගැන ඕනෑම කෙනෙක් දන්නවා. ඒ අයට යුතුකමක් තිබුණා ඒ සතාව මුලින්ම බාර දෙන්න. ඒ අය කළේ නීති විරෝධි ක්‍රියාවක්. වන ජිවීයෙක් වන සතෙක් තමන්ගේ සන්තකයේ ඇති කිරීම වරදක්. මේ සතා අපිට දුන්නාම අපි සාමාන්‍යයෙන් කරන්නේ කැලේට මුදා හැරීමට හුරු කිරීම. ඒ අයව හුරතල් කරන්නේ නැහැ. ඒ මිනිස්සු බලාපොරොත්තු වන දේවල් කරන්න බැහැ. කැලෑ සතෙක්ව තමන්ගේ නිදහස තියෙන පරිසරයට නිදහස් කරන්න නම් ඒ සත්තු ජීවත් වන පරිසරයට හුරු කරන්න අවශ්‍යයි. ඒ දේ කරන්නේ පශු වෛද්‍යවරු.අපි කරන්නේ සතාව අදාළ ආකාරයට හුරු කිරීමයි. ගෙදරක සත්තු හදනවා වගේ කරන්න බැහැ. නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකටයි හුරු කරන්නේ. ඒ අය තමන් වරදත් කරලා වනජීවී දෙපාර්තමේන්තුව ගැන වැරදි ප්‍රචාර යවන එක වැරදියි." අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසුවේය.

එහෙත් වඳුරු පැටවා ඔවුන්ට නොපෙන්වා කූඩුවක හිරකර සඟවා ගෙන සිටින බවට චානක චෝදනා නඟයි.

“අපිට ටිකක් බලන්න නොදෙන්නේ ඇයි කියලා මම අහන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට ද නොහැකි වන අයුරින් අම්පාර වනජීවී කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව ද ජුනි 25 ඉඳන් වහලා ඇතුළු වීම තහනම් කියලා බෝඩ් එකක් දාලා. ඒ වගේම අම්පාර වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා විසින්ම පවසා තිබෙනවා, මෙම වඳුරු පැටියා වනයට මුදා හරින්න අපහසු තරමටම නිවසේ හුරතල් වෙලා කියලා. මාගේ නිවසේම පමණක් අවුරුද්දකටත් අධික කාලයක් තිස්සෙ හුරතලේට හැඳි වැඩුණු එම පැටියා ජුනි 23 වැනිදා වනජීවී කාර්යාලය වෙත බාරදුන්නේ. ජුනි 25 වැනිදා රාත්‍රියේ වනයට මුදාහැරියා කියලා කියන්න තරම් කෙටි කාලයක් තුළ කොහොමද මෙම පැටියව වනයට හුරු කළේ ? සතා සිවුපාවට සහ ගස්වල කොළ අතු ගෙඩි කඩාගෙන කන්න හුරු කරන්නේ කියලා මට ප්‍රශ්නයක්. ඒ සඳහා පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සම්පූර්ණයෙන් වගකිව යුතුයි" වානක විසින් කරන ඒ චෝදනාව පිළිබඳ අප අම්පාර වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාරගෙන් විමසුවෙමු.

“ අම්පාර වනජීවී කාර්යාලය සත්තු නරඹන්න තියෙන තැනක් නොවෙයි. නිසි අධීක්ෂණයකින් පසුව මේ පැටවා අපි වනයට නිදහස් කළා. වන සතුන් නිදහසේ ඒ අයගේ පරිසරයේ ජීවත් වෙන්න ඕන. අපේ කාර්යාලයේ ඉන්න රෝගී සතුන්ට නිදහසේ සිටීමට අවශ්‍යයි. ඔවුන් නැරඹීමට මිනිසුන් පැමිණීම ඒ සතුන්ට හිරිහැරයක්. දිගින් දිගටම මිනිසුන් වනජීවී කලාපයක් ඇතුළට ඇවිල්ලා සතුන් නැරඹීම වරදක්. මේ වඳුරු පැටියා සම්බන්ධයෙන් කතා කළහොත් මෙවැනි සතුන් ඔවුන්ගෙ ලිංගික අවශ්‍යතා මතුවන කාලය වනවිට මිනිසුන් සමඟ තියෙන සම්බන්ධය අතහරිනවා. ඉන් පසුව ඒ අයගේ වරිගයේ අයත් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට උත්සාහ කරනවා. මිනිසුන් සමඟ එවැනි කාලවල ගැටෙන්න ගිහාම ඒ අය දරුණු විදිහට හැසිරෙනවා. ඒ නිසා එය මිනිසුන් අවබෝධ කරගත යුතුයි. අපි කරන්නේ සතාට වඩාත් සුදුසු එයාගේ පරිසරය සොයලා දෙන එක. මෙවැනි සතුන් අල්ල ගන්නත් තහනම් සුරතල් කරලා යෑම ඒ සතුන්ටත් හිරිහැරයක්.”

තමා හදාවඩාගත් වඳුරු පැටවා යළිත් තමන් වෙත ලබා ගැනීමට හෝ එසේ නොමැති නම් නැවත වරක් දැක බලා ගැනීමට අවසර ඉල්ලමින් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ(සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් වෙත ද චානක ජුනි 26 වැනිදා ලිපියක් යොමු කරන ඇත. ඒ පිළිබඳ වෛද්‍ය තාරක ප්‍රසාද්ගෙන් ද අප විමසීමක් කළෙමු.

“ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා ආඥාපනත යටතේ එහි ඇති ප්‍රතිපාදනවලට අනුව වනජීවියෙක් කිසිවකුට අල්ලා ගැනීමේ හැකියාවක් නෑ. 32/ 60 වගන්තිය යටතේ මෙවැනි සතුන් අල්ලා ගැනීමට නොහැකි අතර අල්ලා ගැනුණු සතුන් සම්බන්ධයෙන් අදාළ වනජීවී කාර්යාලය දැනුම්වත් කළ යුතුයි."

එමෙන්ම ආඥාපනතේ 32 වගන්ති යටතේ සන්තකයේ තබාගැනීමට නොහැකි බවද සඳහන් ඔහු පැහැදිලි කළේය. චානක ඇතුළු ඔහුගේ පවුලේ අයට ඇත්තේ මේ සතා ජීවතුන් අතර වේදැයි යන අවිනිශ්චිත බව සහ ඒ සතා අහිමි වීමේ දුක සහ සාංකාවයි. ඔහු දන්නා හඳුනන සියලු දෙනා හමුවී ඔවුන්ට මේ දුක්බර කතාව පැවසීම නිසා ශ්‍රී සුමංගලාරාමය, බණ්ඩරදුව, ගොනාගොල්ල, අම්පාර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලගම්පුර පුණ්‍යරතන ස්වාමීන් වහන්සේ මැදිහත් වී මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසීම් කර ඇත.

"ආදරයෙන් කරුණාවෙන් සහ සෙනෙහසින් හදාගත් චූටි මැණික එකපාරක් බලන්න මම ඉල්ලන්නේ. අපේ පවුලේ අය මේ ගැන හිතමින් විඳවමින් මැරි මැරී ජීවත් වෙනවා. මේ ගැන කල්පනා කරලම ගෙදර ඉන්න සියලුම දෙනා අසනීප වෙලා. පුදුම අසරණකමක් අපිට දැනෙනවා. මට දැනෙන්නේ ගමේ තිබුණ පාළුව ගියේ මගේ චූටි මැණික නිසා. දැන් මුළු ගමේම මහ මූසල පාළු බවක් තියෙනවා. මට පාසල් යන වයසේ දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මේ අය මේ පැටියට හුඟක් ආදරෙයි. ආදරයෙන් හදපු වඩපු පැටිය ගැන කල්පනා කරමින් දවස ගෙවනවා. මම ඉල්ලන්නෙ මගේ දරුවන් දෙදෙනාගේ මානසික මට්ටම දෙස සහ චූටි මැණික දෙස මානුෂීයව බලන්න, මේ දුක අපිට දරා ගන්න අමාරුයි." ඔහු බිඳුණු හඬින් කීවේය

චානකගේ අවසන් ඉල්ලීම වනජීවී අධික්ෂණය යටතේ හෝ මේ පැටවා නැවත ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි.

 

Comments