Silk Route Ventures වෙතින් අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක් | සිළුමිණ

Silk Route Ventures වෙතින් අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක්

පවතින දැඩි තරගකාරී වටපිටාව මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරු ආර්ථික අභියෝගතා හමුවේ, ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම යනු දැවැන්ත ආයෝජනයකි. එවන් පසුබිමක, මෙරට කෘෂි, ආහාරපාන සහ පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන Silk Route Ventures සමාගම සූපවේද ව්‍යවසායකයන් සහ ඇල්මක් දක්වන්නන්ට සිය නිර්මාණශීලී සූපවේදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නව ආහාර නිෂ්පාදනාගාරයක් පසුගියදා ආරම්භ කළේය.

plug-and-play ප්‍රවේශයක් ලෙස ස්ථාපිත කෙරුණු මෙම නිෂ්පාදනාගාරය මගින් කැමැති ඕනෑම අයෙකුට ප්‍රාග්ධන අවශ්‍යතාවකින් තොරව තම ආහාරපාන සන්නාමයක් බිහිකරගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ජාත්‍යන්තර මට්ටමේ වාණිජ මුළුතැන්ගෙයකින් සමන්විත මෙම ආහාර නිෂ්පාදනාගාරය මාතලේ හපුගස්යායේ පිහිටි Silk AgTech Park හි පිහිටා ඇත. ඒ තුළ, ආහාර සේදීම, පොතු ඉවත් කිරීම, කැපීම, ඇඹරීම, මිශ්‍ර කිරීම, පිරවුම් කිරීම, තාප පිරියම් මලු (retorting), ඉසිරුම් වියළනය (spray drying), ඇසුරුම්කරණය ඇතුළු බොහෝ පහසුකම් අන්තර්ගත වේ.

එහි නම්‍යශීලී නිෂ්පාදන ධාරිතාව නිසා අවම ඇණවුම් ප්‍රමාණයකින් නිෂ්පාදන ආරම්භ කිරීමටත්, අනතුරුව සන්නාමයේ සහ නිෂ්පාදනයේ වර්ධනයත් සමඟ ඇණවුම් වැඩි කිරීමේ හැකියාවත් පවතියි. තවත් විශේෂත්වයක් වන්නේ, ආහාර සම්බන්ධව පුළුල් පරීක්ෂණ සිදුකරන පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායමක සේවය ද මෙම නිෂ්පාදනාගාරය මඟින් ලබාගැනීමට හැකිවීම ය.

කර්මාන්තශාලාවේ තවත් විශේෂත්වයක් වන්නේ, GMP, HACCP, ISO 22000, FSSC22000, USDA Organic සහ EU Organic වැනි ජාත්‍යන්තර සහතික රැසක් හිමිකරගෙන තිබීමයි.

Comments