ශ්‍රීලංකන් ගුවන් සේවයේ හවුල්කාරීත්වයෙන් TAAI සමුළුව නැවතත් ශ්‍රී ලංකාවේදී | Page 2 | සිළුමිණ

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හවුල්කාරීත්වයෙන් TAAI සමුළුව නැවතත් ශ්‍රී ලංකාවේදී

වසර 18 කට පසුව නැවතත් සිය වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 67 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සඳහා එම සංගමය ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ අත්වැල් බැඳගෙන සිටී. 2023 ජූලි 06 දින සිට ජූලි 09 දින දක්වා කොළඹදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සාමාන්‍යයෙන් මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් අතරින් 45% ක් පමණම ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරති. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින ගුවන් සේවයක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආකාරයට ඉන්දියාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වාර්ෂික සමුළුව සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කර ඇති අතර, මෙය අභියෝගකාරී වසර කිහිපයකින් අනතුරුව ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම නැවත වර්ධනය කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් වනු නිසැක ය. ගුවන් සේවාවන්, සංචාරක සේවා සමාගම්, හෝටල් සහ ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සාමාජිකත්වය දරන TAAI සංගමය, ඉන්දියාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. මෙම වසරේ සමුළුවට සමාගම් 450ක් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 50ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අතරින් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරනු ඇත. මෙම සමුළුව සත්කාරක රටට දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් එරට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට සමත් වන සමුළුවක් ලෙස සැලකේ.

TAAI 2023 සමුළුවේ ප්‍රධාන තේමාව කලාපීය සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම වන අතර, එය ශ්‍රීලංකන් ගුවන් සේවය කලාපය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමෝපායට සමගාමී වේ. ඉන්දියානු සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවට උතුරින්, නැඟෙනහිරින් සහ බටහිරින් පිහිටි රටවල් යා කරන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීම පහසු ය. මේ නිසාම ආසියාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ මාලදිවයින වෙත ගමන් කරන ඉන්දියානු සංචාරකයන් අතර ජනප්‍රියම අතරමැදි ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි අතර සතිපතා ගමන් වාර 85ක් ක්‍රියාත්මක කරයි.

 

Comments