විශේෂ අවශ්‍යතා ඇති තරුණ ව්‍යවසායකයන්ට අත දුන් කාගිල්ස් ‘ගමෙන් ගෙදරට’ | සිළුමිණ

විශේෂ අවශ්‍යතා ඇති තරුණ ව්‍යවසායකයන්ට අත දුන් කාගිල්ස් ‘ගමෙන් ගෙදරට’

තරුණ දිනෙන් ඇතුළු විශේෂ අව­ශ්‍යතා ඇති කණ්ඩා­යමේ අලෙවි කුටි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) අත්වැලක් සපයන 'කාගිල්ස් ගමෙන් ගෙදරට ' 19 වැනි වැඩසටහන, පසුගිය ජූනි 24, 25 වැනි දෙදින පුරා ටොරින්ටන් චතුරස්‍රයේ පිහිටි කාගිල්ස් ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

Covid - 19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ සහ වෙළෙඳපොළ අහිමි වූ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs), යළි ගොඩනැඟෙනු සඳහා සහයෝගයක් ලබා දීම අරමුණු කොට ගෙන, මෙම ගමෙන් ගෙදරට වැඩසටහන කාගිල්ස් සමාගම විසින් 2020 වසරේ ආරම්භ කළේය.

වසංගතය පහවෙමින් පැවතිය ද, එවැනි කුඩා කර්මාන්ත හරහා ජීවිතය ජය ගන්නට වෙර දරන කිසිවකුත් අත් නොහැර සමාජයේ විවිධ පාර්ශ්වයන් වෙත අත දෙමින්, කාගිල්ස් සමාගම එය තවත් පුළුල් පරාසයක විහිදෙන නොනිම් මෙහෙවරක් බවට පත් කර ගෙන තිබේ.

ඒ අනුව, මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 24 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවති 19වැනි 'ගමෙන් ගෙදරට' වැඩසටහනට තවත් විශේෂත්වයක් එක්ව තිබිණි.එනම්, සමාජයෙන් හුදෙකලා දිවියක් ගෙවන විශේෂ අවශ්‍යතා ඇති තරුණ තරුණියන් සඳහා ද ව්‍යාපාරික කුටි වෙන්කර දී තිබේ. දිනෙන් ඕෂිත යනු, ගමෙන් ගෙදරට වෙළෙඳ ප්‍රදර්ශනයේ දී හමු වූ එවැනි විශේෂ අවශ්‍යතා සහිත තරුණ ව්‍යවසායකයෙකි.

හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ඔහු, E.A.S.E පදනම වෙතින් අධ්‍යාපනය ලබා ගත් ආබාධිත තරුණයෙකි. ජීවිතය රෝද පුටුවක ය. දෙපා මෙන්ම දෙඅත් ද සාමාන්‍ය තත්ත්වයේ නැත. එහෙත්, සිතිවිලි අතින් දැවැන්තයෙකි. විසිතුරු පතොක් වගාව ඔහුගේ කුඩා ව්‍යාපාරය යි. දිනෙන් මෙන්ම, මෙවර ගමෙන් ගෙදරට වෙළෙඳ අලෙවිසලේ දී ආබාධිත සහ ඔටිසම් සහිත තරුණ වැඩිහිටියන් ද ආහාර නිෂ්පාදන, අත්කම්, සබන්, සුබපැතුම් පත්, විසිතුරු මැහුම් ආදිය ඇතුළත් ඔවුන් විසින් ම කරන නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබිණි. Cocoon පදනම විසින් ඉදිරිපත් කර තිබූ ආබාධ සහිත පුද්ගලයින් සහිත එම කණ්ඩායමේ නිර්මාණශිලි නිර්මාණකරුවන් රැසක් සිටින බව, එම වෙළෙඳ කුටියේ දී දැකගන්නට ලැබුණි. කාගිල්ස් සිලෝන් පී.එල්.සී. නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ් මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, මෙවැනි තරුණ තරුණියන් කුඩා ව්‍යවසායකයින් බවට පත්ව සිටිනු දැකීම ඉමහත් සතුටට කරුණක් බවයි.

මෙම වැඩසටහන ආරම්භයේ සිටම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 800 කට අධික සංඛ්‍යාවකට ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ඍජුව ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් වී තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන දුෂ්කරතා විසඳීම සඳහා එක් පියවරක් ලෙස, අමතර ආදායමක් උපයා ගැනීමට වේදිකාවක් සපයන අතර ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒම සඳහා තාක්ෂණික සහාය ද ලබා දීම විශේෂත්වයකි. Cargills බැංකුව ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙමින්, ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කර ගැනීමට ද අවශ්‍ය උපදෙස් ලබා දෙයි.

Comments